පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ගස් කැපීම: "තොරතුරු හරියට දන්නේ නැහැ"

Image copyright Tharindu Dhananjaya

1942 වසරේ ජුලි මස University of Ceylon ලෙස ආරම්භ කර 1952 දී University of Ceylon Peradeniya වශයෙන් මහවැලි ගං ඉවුරේ භූමි භාගයක පිහිටුවනු ලැබීමත් සමග, ශ්‍රී ලංකාවේ සුන්දරම විශ්වවිද්‍යාලය ලෙස පොදුවේ පිළිගැනීමට ලක්වූ විශ්වවිද්‍යාලය නිර්මාණය විය.

අක්කර 700 ක පමණ විශාල භූමියක් හිමි වුවද අක්කර 130 ක පමණ භූමි ප්‍රමාණයක ගොඩනැගිලි සහ උද්‍යාන සංවර්ධනය කර පරිහරණය කරන එය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය ලෙස 1978 දී නම් කෙරිණි.

"හිත්පිත් නැති නරුමයන්"

විවිධ කාලවලදී කතා බහට ලක්වන පේරාදෙණිය විශ්ව විද්‍යාලය දෙස මෑතදී නැවත අවධානය යොමුවන්නට පටන්ගත්තේ එහි ස්වභාව සෞන්දර්යයට හානිකර අයුරින් එහි ඇති රුක් කපා හෙලන බවට සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු හුවමාරුවීමත් සමගිනි.

ඒ පිළිබඳ ඡායාරූප සහ පණිවුඩ රැසක් පළවිය.

Image copyright FB
Image copyright FB

හරිත බිමක් වන පේරාදෙණිය සරසවියේ අලංකාරයට අත්වෙමින් පවතින්නේ යැයි කියන ඉරණම කුමක්ද ? බීබීසී සිංහල සේවය ඒ ගැන විමසුවේ එම විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය උපුල් දිසානායකගෙන්.

"පේරාදෙණිය විශ්වවිද්‍යාලය කියන්නෙ ගස්වලින්ම ආවරණය වෙච්ච විශ්වවිද්‍යාලයක්, ග්‍රීන් යුනිවර්සිටි එකක්. මොනදේ හදන්න කියත් අපට ගස් අයින් කරන්න වෙනවා. අපට ඉන්නවා උද්‍යාන පාලකවරු දෙදෙනෙක් ඔවුන්ගෙන් නිර්දේශ ලබාගෙන තමයි මේවා කරන්නෙ."

"ගස් 130 ක් 135 ක් පමණ මෙතැන තිබුණත් වටිනා කියන ගස් 5 - 6 ක් වගේ තමයි තියෙන්නෙ, අනෙක් ගස් මුක්කු කණුවකටවත් ගන්න බැරි තරම්. නමුත් ඉංජිනේරු පීඨයේ අනාගත ශිෂ්‍යයන් සඳහාත්, පශ්චාත් උපාධි ආයතනය සඳහාත් මේ ලැබෙන්න යන සම්පත ඉහළම මට්ටමේ පර්යේෂණ පැවැත්වීම සඳහා වැදගත් වෙනවා," උප කුලපතිවරයා ප්‍රකාශ කළේය.

"පසුබිම නොදන්නා පිරිස් මේ ප්‍රචාරය ගෙන යනවා."

'නව පර්යේෂණ ආයතනයක් '

Image copyright Tharindu Dananjaya

ශ්‍රී ලංකා රජයත් චීන රජයත් අතර අත්සන් කරන ලද ගිවිසුමකට අනුව, ජලය පිළිබඳ පර්යේෂණ සඳහා චීන තාක්ෂණ හා විද්‍යා පර්යේෂණ ආයතනය යටතේ පර්යේෂණාගාරයක් පිහිටුවන්නට ආධාර ලැබී ඇත.

"මේ සම්බන්ධ සාකච්ඡාවලදී මෙම පහසුකම් විද්‍යාඥයන් සිටින තැනක පිහිටුවන්නේ නම් වඩාත් ප්‍රයෝජන බවට යෝජනා ඉදිරිපත් වුණා. ඒ අවස්ථාවේ මෙය බාරගන්න පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය ඉදිරිපත් වුණා," මහාචාර්ය උපුල් දිසානායක පැවසිය.

"ඉංජිනේරු පීඨයේ පශ්චාත් උපාධි ගොඩනැගිල්ල සඳහා වෙන්කර තිබූ භූමිය මේ සඳහා ලබා දෙන්නත් යෝජනා වුණා."

"අපට තියෙන වාසිය තමයි අවුරුදු පහකින් මේක අපට අයිති වීම. උදාහරණයක් හැටියට පේරාදෙණිය දන්ත වෛද්‍ය පීඨය මුළුමනින්ම, ජපාන රජයෙන් ඇවිත්, සම්පූර්ණ විශ්වවිද්‍යාලයක් හදල, අවුරුදු දහයකින් අපට බාරදීල ගියා. ඒක තමයි ගිවිසුම, මේකත් ඒ විදියමයි." මහාචාර්යවරයා පවසයි.

"මීට අදාළ රජයේ සියලුම ආයතනවල අනුමැතිය ලැබී තියෙනවා."

මෙය චීන රජයේ සම්පූර්ණ ප්‍රදානයක් වුවත් භූමිය ලබාදීමෙන් සහ වසර පහක් දක්වා ඔවුන්ට පර්යේෂණ කරන්න අවස්ථාව ලබාදීමෙන් විශ්වවිද්‍යාලයත් ඊට දායකවන බව උප කුලපතිවරයා පවසයි.

2004 වසරේ කපා ඉවත් කළ රොබරෝසියා ගස මේ අවස්ථාවේ කළ කටයුත්තක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයක් ගෙන යන බවද උප කුලපතිවරයා පැවසීය.

"විද්‍යාඥයන් ගෙනැල්ල පරීක්ෂාකර බලා නිර්දේශ මත 2004 දී කපා දැමූ රොබරෝසියා ගස ගැනත් බොරු ප්‍රචාර කරනවා."

Image copyright Tharindu Dananjaya
Image caption 2004 වසරේ කපා දමන්නට යෙදුණු රොබරෝසියා ගස පිහිටා තිබුණේ මෙම විවෘත රංග භූමියේය.

"කරුණු නොසොයා සමාජ මාධ්‍ය හැසිරෙන ආකාරය සෝචනීයයි," මහාචාර්යවරයා පැවසීය.

නව වන වගාවක්

විශ්වවිද්‍යාල පරිසරය ආරක්‍ෂා කිරීම සඳහා, මධ්‍යම පරිසර අධිකාරිය සමග එක්වී ශාක 5000 ක් අලුතින් සිටුවීමේ වැඩ පිළිවෙලක් ඉදිරි මාසය තුළ ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බව ද උප කුලපතිවරයා පවසයි.

Image copyright Tharindu Dananjaya
Image caption "අලුතින් ගස් 5000 ක් සිටුවනවා"

"විශේෂයෙන් දැනට විශ්වවිද්‍යාලයට අයත් භූමියේ ඇති පයිනස් ශාක ඉවත්කර ඒ වෙනුවට විටිනා දේශීය ශාක සිටුවීමට බලාපොරොත්තු වෙනවා."

විශ්වවිද්‍යාලය තාවකාලිකව වසා ඇත්තේ, ඉංජිනේරු පීඨයේ දේශනවලට පැමිණීම 80% ක් නොමැති ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විභාගවලට මුහුණදීම සම්බන්ධයෙන් මතුවූ ගැටලුවක් හේතුවෙන් මිස, මෙම කාරණය හා සම්බන්ධ කරුණකට නොවන බව ද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයා වැඩිදුරටත් බීබීසී සිංහල සේවයට පැවසීය.

කියවන්න:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර