ශ්‍රී ලංකාවේ දර ලිප් සහ ගෘහස්ථ වායු දූෂණය: නොකළ යුතු දේ මොනවාද?

Image caption "දර ලිපක් නිසා දිනකට ආඝ්‍රාණය කරනු ලබන දුම් ප්‍රමාණය සිගරට් පැකට් දෙකක් බිව්වට වඩා වැඩියි"

මීට දශක කීපයකට පෙර ආහාර පිසීම සඳහා ශ්‍රී ලංකාවේ බහුලව භාවිත කෙරුණේ දර ලිප්ය.

මුළුතැන්ගෙයි විවෘත කොටසක දර, වලං, වියලි ඖෂධ ආදිය අසුරා තැබුණු ලිපට ඉහළින් පිහිටි මැස්ස ගැමියන් විසින් හඳුන්වනු ලැබුවේ 'දුම' යනුවෙනි.

එකල, දර ලිප අසල ආහාර පිසින මව හෝ ආච්චිඅම්මා අසල දැවටීමට කුඩා දරුවෝ ද කැමැත්තක් දැක්වූහ. දුම් දමමින් පිසෙන ව්‍යංජනයක හෝ රසකැවිල්ලක රස බැලීමට අවස්ථාව හිමිවීම ඊට හේතුවක් විය හැක.

එවැනි දර ලිප් සහිත මුළුතැන් ගෙවල් එකල වැඩි වශයෙන් පිහිටා තිබුණේ නිවසින් පිටත වාතය හොඳින් සංසරණය වන ආකාරයෙනි.

ළමා වියේ එවැනි සුන්දර මතකයන් තබා ගිය දර ලිප, අද රකුසෙකු බවට පත්ව ඇති බව පර්යේෂණ මගින් සොයා ගනු ලැබ ඇත.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
දර ලිප සහ ගෘහස්ථ වායු දූෂණය

ශ්‍රී ලංකාවේ පවතින ගෘහස්ථ වායු දූෂණය හේතුවෙන්, දුම්වැටි පානය නිසා ඇතිවන රෝගී තත්ත්වයන් හා සමාන රෝග සහ පෙනහළු පිළිකා ඇතිවීමේ අවදානම ඉහළ ගොස් ඇති බව මහනුවර මහ රෝහලේ ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දුෂාන්ත මැදගෙදර පවසයි.

ඔහු පෙන්වාදෙන පරිදි, ඉහත කී අවදානමට වැඩිවශයෙන්ම මුහුණ දෙනු ලබන්නේ මව්වරුන් ඇතුළු ගෘහණියන්ය.

දර ලිප නිසා ඇතිවන රෝගී තත්ත්වයන්, ශ්‍රී ලංකාව තුළ පමණක් නොව සෙසු දකුණු ආසියානු රටවල, අප්‍රිකාවේ සහ දකුණු ඇමරිකානු රටවල ද දැකිය හැකි බව විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙයි.

"ඉස්සර අපේ ග්‍රාමීය පරිසරය තුළ කුස්සිය තිබුණේ ගෙදරට පිටින්. මෑත කාලයේ දියුණුවත් සමග ඉඩ ප්‍රමාණය අඩුවීම නිසා මුළුතැන්ගෙය තිබෙන්නේ නිවස තුළමයි," ඔහු පැවසීය.

"දර ලිප පාවිච්චි කිරීමේදී අපි ඊට ප්ලාස්ටික්, පොලිතින්, භූමිතෙල් වගේ දේවල් දානවා. දර ලිපෙන් නිකුත්වන ඒ දුමෙන් ශරීරයට ඉතාමත් අහිතකර කාබන් මොනොක්සයිඩ්, නයිට්‍රස් ඔක්සයිඩ්, සල්ෆර් ඩයොක්සයිඩ් වගේ අංශු පිට වෙනවා."

"දිනපතා සිරට් පැකට් දෙකක්"

Image caption "ආගමික වතාවත් සිදුකිරීම සඳහා සාම්බ්‍රානි සහ හඳුන්කූරු යොදා ගැනීම සිරුරට අහිතකරයි"

එසේ එක් දර ලිපක් දැල්වීමෙන් හටගන්නා දුම, දුම්වැටි 75 - 150 ත් අතර ප්‍රමාණයකින් නිකුත් වන දුමට සමාන බව විශේෂඥ වෛද්‍ය දුෂාන්ත මැදගෙදර කියා සිටියේ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමිනි.

"පොඩ්ඩක් හිතලා බලන්න, කුස්සියක දර ලිපක් තිබෙනවා. ඒක පත්තු කරනවා. එතන මවක් හෝ ගෘහිණියක් බොහෝවිට ඉන්නවා. එතන ළමයි හෝ ගෙදර සාමාජිකයන් වාඩි වී සිටිනවා. මේ අය ඒ දුම දිනපතාම ආඝ්‍රාණය කරනවා," වෛද්‍ය මැදගෙදර විස්තර කළේය.

"එසේ ආඝ්‍රාණය කරන දුම් ප්‍රමාණය දිනපතා සිගරට් පැකට් දෙකක් බිව්වට වඩා වැඩියි."

දුම් පිටවීම සඳහා නිසි ක්‍රමවේදයක් නොමැති වීම සහ පසුදින ලිප දල්වා ගැනීම පහසු කර ගැනීම සඳහා "අළුයට ගිනි" තබා ගැනීම හේතුවෙන්, එකී විෂ සහිත වායු රාත්‍රිය පුරා නිවස ඇතුළත සංසරණය වන බව ද විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙයි.

දර ලිප නිසා ඇතිවන සෞඛ්‍ය ගැටලුවලට කාන්තාවන් වැඩිවශයෙන් ගොදුරුවන බව කී ඔහු, "ඔවුන්ට දුම්වැටි පානයෙන් ඇතිවන COPD රෝගය හැදෙනවා, පෙනහළු පිළිකා ඇති වෙනවා, ඇදුම රෝග තත්ත්වය වැඩි වෙනවා සහ පටක හානි සිදුවෙනවා," යනුවෙන් සඳහන් කළේය.

ඒ හේතුවෙන් දුම්බීම හෝ ඊටත් වැඩි හානියක් සිදුවිය බව විශේෂඥ වෛද්‍ය දුෂාන්ත මැදගෙදර කියා සිටී.

Image caption "මදුරු දඟර දැල්වීම ද ගෘහස්ථ වායු දුෂණයට බලපානවා"

ඉහත කී අවදානම පිළිබඳ අවධානය යොමු කර, දර ලිප නිවසෙන් පිටත ස්ථානයක තබා ගන්නා ලෙස නිර්දේශ කරන විශේෂඥ වෛද්‍යවරයා, නිවස තුළ ලිපක් ඇත්නම්, වාතාශ්‍රය හොඳින් පිටවන සේ මුළුතැන්ගෙයට විශාල ජනෙල් යොදා, ඉහත කී තත්ත්වය තරමක් දුරට පාලනය කළ හැකි බව සඳහන් කළේය.

දර ලිපෙන් සිදුවන හානියට අමතරව ගෘහස්ථ වායු දූෂණය සඳහා බලපාන තවත් හේතු තිබේද?

ආගමික වතාවත් සිදුකිරීම සඳහා සාම්බ්‍රානි සහ හඳුන්කූරු යොදා ගැනීම ද සිරුරට අහිතකර බව විශේෂඥ වෛද්‍ය දුෂාන්ත මැදගෙදර පෙන්වා දෙයි.

"මේක විශේෂයෙන් සිදුවෙනවා දේවාල සහ පන්සල්වල. ඒ අය ඔක්කොම වගේ ලෙඩ වෙනවා. මගේ රෝගීන් ගොඩක් ඉන්නවා එහෙම වුණු. සාස්තර කියන ලෙඩෙක් ඉන්නවා මගෙන් ප්‍රතිකාර ලබා ගන්න. එයාගේ පණ බේරගත්තේ ගොඩක් අමාරුවෙන්."

මදුරු දඟර දැල්වීම ද ගෘහස්ථ වායු දුෂණයට බලපාන බව පවසන වෛද්‍යවරයා එම තත්ත්වය පාලනය කිරීම සඳහා ජනෙල් විවෘතව තබන ලෙස නිර්දේශ කරයි.

Image caption "මේක විශේෂයෙන් සිදුවෙනවා දේවාල සහ පන්සල්වල. ඒ අය ඔක්කොම වගේ ලෙඩ වෙනවා"
Image caption "සුරතල් සතුන්ගේ ලොම් සහ ඔවුන්ගේ ශරීරයේ සිටින පරපෝෂිතයන් ද සෞඛ්‍යට හානි කරයි"

එසේම, කාමරයටම අළලා ඉදිකර ඇති නාන කාමර (Attached Bathroom) නිතර වසා තැබීම හේතුවෙන් ඒවායේ බිත්ති මත වර්ධනය වන දිලීර, පෙනහළුවලට හානිකර බව ද වෛද්‍යවරයා පෙන්වා දෙයි.

එවැනි නාන කාමර තුළ තබා ඇති ෂැම්පු, සුවඳ විලවුන් වැනි දෑ වෙතින් වාෂ්ප වන රසායනික අංශු දීර්ඝ කාලයක් ආඝ්‍රහණය කිරීම හේතුවෙන් ද සෞඛ්‍ය ගැටළු ඇතිවිය හැකි බව කී වෛද්‍යවරයා "දොර ජනෙල් විවෘත කර තැබීම ඉතා වැදගත්," යනුවෙන් සඳහන් කළේය.

එසේම නිවස තුළ ව්‍යාපාරයක් වශයෙන් රෙදි මැසීම ඉතාමත් අනතුරුදායක බව ද ඔහු පෙන්වා දෙයි.

"රෙදිවල තිබෙන දූවිලි අංශු පෙනහළුවලට ගිහින් දරුණු රෝග තත්ත්වයක් ඇති වෙනවා. මුල් අවස්ථාවේ සොයා ගැනීමට නොහැකි වුණොත් ජීවිතක්ෂයට පවා පත්වෙනවා."

එසේම, වී වැනි ධාන්‍ය වර්ගවල 'කාටුව', සුරතල් සතුන්ගේ ලොම් සහ ඔවුන්ගේ ශරීරයේ සිටින පරපෝෂිතයන් ද සෞඛ්‍යයට හානි කර බව පවසන ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දුෂාන්ත මැදගෙදර අඩක් නිම කළ නිවාසවල පවතින අධික දූවිල්ල හේතුවෙන් ද පෙනහළු ආශ්‍රිත රෝග ඇතිවිය හැකි බවට අනතුරු අඟවයි.

තවත් කියවන්න:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර