ඕලන්ද පාලම: යටත් විජිත සමයේ ඉදිකිරීම් නිසා පුවත් මවන ගාල්ල

ගාල්ල නගරයේ පිහිටි පැරණි ඕලන්ද පාලම පුළුල් කිරීම සම්බන්ධයෙන් පසුගියදා වාර්තා පළ වුණි. මේ සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය කළ ටෙන්ඩර් කැඳවීමකින් පසු අදාළ ඉදිකිරීම් කටයුතු කොන්ත්‍රාත් සමාගමකට බාරදී ඇති අතර, එහි වැඩ ආරම්භ කර මාස දෙකක පමණ කාලයකට පසු පාලමට සිදු වූ හානි සම්බන්ධයෙන් කතා බහක් ඇති විය.

මේ පිළිබඳ මාධ්‍ය මගින් පුවත් වාර්තා කිරීමත් සමග පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ නිරික්ෂණ කණ්ඩායමක් කොළඹ සිට එම ස්ථානය නිරීක්ෂණය කිරීමට පැමිණ ඇත.

පාලමේ සංවර්ධන කටයුතු තාවකාලිව නැවැත්වීමට තමාට උපදෙස් ලැබී ඇති බව සහ පාලම නිරික්ෂණය කිරිම සඳහා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පැමිණිමෙන් පසු මේ පිළිබඳ තීරණයක් ගැනිමට නියමිත බව එම කණ්ඩායමට අයත් එක් නිලධාරියෙක් පැවසීය.

එහි ප්‍රතිඵලයක් ලෙස ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවෙන් පාලම පිළිබඳ වාර්තාවක් කැඳවන ලදී.

ඒ අනුව බදාදා (08) පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ කණ්ඩායමක් පැමිණ පාලමේ ඉදිකිරිම් නිරික්ෂණය කළ අතර, මෙම අවස්ථාවට දකුණු පළාත් පුරාවිද්‍යා කොමසාරිස්වරිය සහ ගාල්ල දිස්ත්‍රික් මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධාන ඉංජිනේරුවරිය ඇතුළු පිරිසක් සහභාගීවී සිටියහ.

ඉතා ශක්තිමත් අඩිතාලමක් මත වසර 250ක් තිස්සේම ගමනා ගමනය සිදුකරන මේ පාලම, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස හඳුනාගෙන තිබේ. පාලම ආරම්භ කරන ලද වර්ෂය 1768 යනුවෙන් ගල් පුවරුවක කොටා ඕලන්ද අකුරු සහිතව එහි ආරුක්කුවක සවිකර ඇත. ඉංග්‍රීසි පාලන සමයේ පාලම ප්‍රතිසංස්කරණයකට ලක්කර තිබේ.

ගාල්ල නගරයේ රථවාහන තදබදයට පිළියමක් ලෙස මංතීරු හතරකින් යුත් මාර්ගයක් ලෙස සංවර්ධනය කිරිමට 2006 වසරේදි සැලසුම් සකස් කළ බව මාර්ග සංවර්ධන අධිකාරියේ ගාල්ල දිස්ත්‍රික් ඉංජිනේරුවරිය පැවසුවාය.

ඒ අනුව 2011 වසරේ පාලමේ දකුණු කොටස මිලියන 38.6 ක වියදමින් සංවර්ධනය කිරිම ආරම්භ කළ බවත්, පාලමේ වම් කොටස හරහා දුරකථන සම්ප්‍රේෂණ කේබල් මාර්ග තිබු බැවින් එය ඉවත් කර වෙනත් ස්ථානයක ස්ථාපිත කිරිමට ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම රුපියල් මිලියන 42 ක මුදලක් ඉල්ලා සිටිම නිසා එය අතහැර දැමිමට සිදුවු බවත් පැවසුවාය.

පසුව ටෙලිකොම් සමාගම් සමග සාකච්ඡා කර එම මුදල මිලියන 9 දක්වා අඩු කර යලිත් පාලමේ වම් කොටස සංවර්ධනය කිරිමට ආරම්භ කළ බවත් ඇය ප්‍රකාශ කළාය.

මෙම පාලමේ සංවර්ධන කටයුතු සිදු කිරිමට පෙර පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව දැනුවත් කර ඉදිකිරිම් ආරම්භ කල බවත් ඇය පැවසුවාය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර