ශ්‍රී ලංකා දුම්රිය වර්ජනය: "විභාගය අවසන් වී ගෙදර යන දරුවෝ ගැන හදවත උණුවෙන්නේ නැද්ද?"

Image caption දුම්රියකට සිදුව තිබු හානිය

දෙවෙනි දිනටත් දුම්රිය සේවක වර්ජනය ක්‍රියාත්මක වෙද්දී බ්‍රහස්පතින්දාත් (අගෝ 09) රට පුරා දුම්රිය ගමන් අඩාල වී තිබිණ.

එසේ වුවද, දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ දුම්රිය තාක්ෂණික නිලධාරීන්ගේ සහය ඇතිව දුම්රිය සේවා 8ක් පමණ අද සවස ක්‍රියාත්මක කළ බවය.

කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව බදාදා (අගෝ 08) සවස 3ට මෙම දුම්රිය වැඩ වර්ජනය ආරම්භ කෙරිණි.

ආසන්න වශයෙන් සතියේ සාමාන්‍ය වැඩකරන දිනක දුම්රිය ගමන් වාර 396 ක් හරහා මගීන් මිලියන 3.72ක් පමණ ප්‍රවාහනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ඇස්තමේන්තුව වී තිබේ.

ඒ අනුව මෙම හදිසි වර්ජනය හේතුවෙන් දෛනිකව දුම්රිය මගීන් මිලියන 3කට අධික පිරිස දැඩි ලෙස පිඩාවට පත්ව සිටිති.

දුම්රිය සේවකයින්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීමට රජය විසින් මින් පෙර ගනු ලැබූ තීරණයක් වෙනස් කළ බවට චෝදනා කළ දුම්රිය සේවකයෝ කිසිදු පුර්ව දැනුම්දීමකින් තොරව බදාදා පස්වරු 3.00 සිට වැඩවර්ජනය ආරම්භ කළහ.

Image caption දුම්රියක නිදා සිටින මගියෙක්

මේ හේතුවෙන් බදාදා රැකියා නිමවා නිවෙස් බලා යෑමට කොටුව සහ මරදාන ප්‍රධාන දුම්රිය ස්ථානයන්ට පැමිණි දුම්රිය මගීන් ලක්වුයේ දැඩි අපහසුතාවයකටය.

වර්ජනයේ නිරත දුම්රිය සේවකයන්ට හා රජයට සිය අප්‍රසාදය පළකරමින් ඔවුන් එහිදී දැඩි විරෝධතාවක නියැළුණු අතර වර්ජනයේ යෙදෙන වෘත්තීය සමිති නායකයන් කිහිප දෙනෙකු මගීන් ගේ පහර දීමට ලක්වූ බවද වාර්තා විය.

මගීන්ගෙන් ඇතැමෙකු පැවසුවේ දුම්රිය දෙපාර්තමේන්තුව පෞද්ගලීකරණය කළ යුතු බවය. එම නොසන්සුන් තත්ත්වය හමුවේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයට දැඩි හමුදා හා පොලිස් ආරක්ෂාව යෙදවිණි.

ඇතැම් දේපළවලට හානිවී තිබුණු ආකාරය අද උදෑසන එහි ගිය මාධ්‍යවේදීන්ට දක්නට ලැබුණි. ඊට අමතරව ඊයේ රාත්‍රියේ තමන්ගේ නිවෙස්වලට යාමට නොහැකිවූ ඇතැම් මගීන් දුම්රිය මැදිරිවලම රාත්‍රියේ පහන් කර තිබේ.

දුම්රිය මගීන් නිවෙස්කරා ගෙනයාමට විශේෂ බස්රථ සේවා යොදවා තිබු අතර ශ්‍රී ලංකා යුද හමුදාව හා නාවික හමුදාව විශේෂ බස්රථ සේවාවක්ද යොදවා තිබුණි. මාර්ග අවසරපත් (Route Permit) නොතකා ඕනෑම මාර්ගයක බස් රථ ධාවනය කිරීමට පෞද්ගලික බස් රථවලට අවසර දීමට ද රජය පියවර ගෙන තිබිණි.

Image caption මහ බැංකු වාර්තාව 2018

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සියලුම නිලධාරින්ගේ නිවාඩු අවලංගු කර තිබෙන අතර පාසල් නොපැවැත්වෙන කාලයක් බැවින් පාසල් බස් සේවාව සඳහා යෙදවූ බස් රථ 500ක් පමණ ධාවනයේ යෙදවීමට කටයුතු යොදා තිබේ.

දුම්රිය වර්ජනය ගැන රජය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කළ මුදල් අමාත්‍ය මංගල සමරවීර, පිළිගත් සම්ප්‍රදාය නොතකා හැර, කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව හදිසියේම දුම්රිය වැඩවර්ජනයක් දියත් කිරීම නිසා දැඩි අපහසුතාවකට පත්ව ඇති දුම්රිය මගීන් සියලු දෙනාටම රජය වෙනුවෙන් බලවත් කනගාටුව ප්‍රකාශ කළේය.

අඟහරුවාදා (අගෝ07) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී දුම්රිය සේවකයන් ඇතුළු සමස්ත රජයේ සේවකයන්ගේ වැටුප් සංශෝධනය කිරීම සඳහා වැටුප් පිළිබඳ විශේෂ කොමිසමක් පත්කිරීමට තීරණය කර ලබන සතියේ එම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමට තීරණය කර තිබු බව ද අමාත්‍ය මංගල සමරවීර බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් පැවසීය.

"දුම්රිය රියදුරන්ට, දුම්රිය සේවකයන්ට මෙලෙස පඩි වැඩි කළා නම් විශාල අර්බුදයකට රට තල්ලු වෙනවා. මේ ඉල්ලන ලද පඩි වැඩි කිරීම ක්‍රියාත්මක කළා නම්, දුම්රිය රියදුරන්ගේ පඩිය ගොඩාක් දුරට ගුරුවරු, විදුහල්පතිවරු හා වෛද්‍යවරුන්ගේ වැටුපට වඩා වැඩි වෙනවා. රාජ්‍ය සේවයේ විශාල අර්බුදයක් ඇති වෙනවා,"ඇමතිවරයා පැවසුවේය.

මේ අතර මෙම වර්ජනය ගැන බ්‍රහස්පතින්දා කොළඹ පැවති උත්සවයකදී අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසුවේ තම වරප‍්‍රසාද පිළිබඳ සේම රටේ අහිංසක පොදු මහජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳව ද වැඩ වර්ජනවල නිරත පිරිස් මනුෂ්‍යත්වයෙන් සිතා බැලිය යුතු බවය.

Image copyright Getty Images
Image caption පසුගිය මැයි මාසයේ දුම්රිය වර්ජනය අවස්ථාවේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ කොටු වී සිටි මගීන්

''විභාගය අවසන් වී ගෙදර යන දරුවෝ ගැන හදවත උණුවෙන්නේ නැද්ද? මනුෂ්‍යයත්වයේ සැබෑ යථාර්ථය විවෘත වන්නේ නැද්ද? නිතර වැඩවර්ජනය කරන දුම්රිය සේවක මණ්ඩලය වේවා, දොස්තර මහත්වරු වේවා මේ කවුරු හරි සිතනවා නම් මේ වැඩවර්ජනවලින් ආණ්ඩුවට රිදෙනවා කියලා එය මිථ්‍යාවක්. වැඩවර්ජනවලින් අපිට රිදෙන්නේ නැහැ. මේ වැඩවර්ජනවලින් රිදෙන්නේ අහිංසක දුප්පත් පොදු මහජනතාවටයි," ජනාධිපතිවරයා කියා සිටියේය.

ගැටලු විසඳා ගැනීමට ඕනෑම අයෙකුට, ඕනෑම අවස්ථාවක රජය සමග සාකච්ඡා කිරීමට අවස්ථාව පවතින බව පැවසූ ජනාධිපතිවරයා පසුගිය රජය මෙන් විරෝධතාකරුවන්ට එරෙහිව වත්මන් රජය කිසිදු අවස්ථාවක තුවක්කු භාවිත නොකළ බව ද කියා සිටියේය.

එබැවින් රටේ අහිංසක පොදු මහජනතාව පීඩාවට පත් නොකර බුද්ධිමත්ව සහ මානුෂීයව සිය ගැටලු විසඳාගැනීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා දුම්රිය, වෛද්‍ය ඇතුළු වැඩවර්ජනවලට සූදානමින් සිටින වෘත්තීය කණ්ඩායම් වෙතින් ඉල්ලා සිටියේය.

මේ අතර දුම්රිය වෘත්තීය සමිති පවසන්නේ මේවන විටත් රජය තමන් කිසිදු සාකච්ඡාවකට කැඳවා නොමැති බවය. අමාත්‍ය මංගල සමරවීර කැබිනට් මණ්ඩලය මින් පෙර ගෙන තිබු තීරණයක් වෙනස් කිරීම මෙම වර්ජනයට හේතුවූ බව දුම්රිය එන්ගින් සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ සඳහන් කළේය.

Image copyright Getty Images
Image caption පසුගිය ඔක්තෝබර් මාසයේ දුම්රිය වර්ජනය අවස්ථාවේ දුම්රියක පා පුවරුවේ එල්ලී ගමන් කරන මගීන්

තම ඉල්ලීම් ලබාදෙන තුරු වර්ජනය අඛණ්ඩව සිදුකරන බවත් ඔහු පැවසීය. උසස් පෙළ විභාගයට මුහුණ දෙන සිසුන්ට සිදුවන අපහසුතාවය සළකා බලා ඔවුන්ට සහනයක් ලෙස දුම්රිය කිහිපයක් හෝ ධාවනය කරනවාදැයි අද රාත්‍රියේ තීරණයක් ගන්නා බවද ඔහු මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණි.

මෙම තත්ත්වයට විසඳුම් ලබාගැනීම පිණිස වැඩවර්ජනය අවසන් කොට සාකච්ඡා සඳහා පැමිණෙන ලෙස වැඩවර්ජනයේ යෙදී සිටින සියලු වෘත්තීය සමිතිවලින් රජය ඉල්ලා සිටියි.

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සේවකයන් 17,000 කට අධික සේවක පිරිසක් සේවය කරන ආයතනයක් වන අතර ශ්‍රී ලංකා මහබැංකුවේ 2017 වර්ෂයේ වාර්තාවට අනුව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව 2016 වසරේ රුපියල් බිලියන 6.8 මෙහෙයුම් අලාභයට සාපේක්ෂව 2017 වසරේ රුපියල් බිලියන 7.6ක අලාභයක් වාර්තා කර තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව 2017 වසරේ ලැබූ අදායම 2016 වසරට වඩා 2.2% අඩුවී තිබෙන බව මහබැංකු වාර්තාව පෙන්වාදෙන අතර එයට හේතුව ලෙස ඔවුන් දක්වා තිබෙන්නේ 2017 වසරේ දුම්රිය සේවකයන් අනපේක්ෂිත ලෙස කැඳවන ලද වැඩ වර්ජන දෙකය.