අතුරුදන්කිරීම්: "වින්දිතයින්ට රාජ්‍ය පාර්ශ්වයෙන් උදව් අවශ්‍යයි."

BBC

අතුරුදහන්වුවන්ගේ පවුල්වලට දීමනාවක් ලබාදීම ඇතුළු ඔවුන්ගේ ආර්ථික ගැටලු හා අතුරුදහන්වුවන් ගැන ක්‍රියාත්මක පරීක්ෂණ කඩිනම් කිරීම පිළිබඳ නිර්දේශ ඇතුළත් අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය විසින් සකස් කරන ලද අතුරු නිර්දේශ වාර්තාවක් ලබන සැප්තැම්බර් 5 වෙනිදා ජනාධිපතිවරයාට බාර දෙනබව අතුරුදහන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පවසයි.

අගෝස්තු 30 දිනට යෙදී තිබෙන 'බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද වින්දිතයන්ගේ ජාත්‍යන්තර දිනය' සැමරීමට කොළඹ ජේ ආර් ජයවර්ධන කේන්ද්‍රයේදි පැවැත්වුණු සැමරුම් උත්සවයට එක්වෙමින් අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මේ බව පැවසුවේය.

'අතුරුදහන් කිරීම්වලට ඉඩ නොතබමු' යන තේමාව යටතේ සැමරුම් උත්සවය සංවිධානය කර තිබු අතර, අතුරුදහන් වූ තැනැත්තන්ගේ ඥාතීන් සහ සිවිල් සමාජ ක්‍රියාකාරීහු ද ඊට එක්ව සිටියහ.

එසේම, සැමරුම් උත්සවයට යුද සමයේ LTTE සංවිධානය විසින් අතුරුදහන් කරන ලද යුද හමුදා සාමාජිකයන්ගේ පවුල්වල සාමාජිකයෝ ද සහභාගීවී සිටියහ.

"මේ කරුණු ගැන පරීක්ෂණ අවසන්වනතුරු අතුරු දීමනාවක් මේ පවුල් වලට ගෙවිය යුතුයි කියලා අපි නිර්දේශ කරලා තියෙනවා, ආර්ථික ප්‍රශ්න විසදන්න යම් අතුරු සහන ලබාදුන්නට කිසිසේත් සත්‍ය සෙවීමට, යුක්තිය ලබාගැනීමට ඒ අයට තියෙන අයිතිය අහෝසි විය යුතු නැහැ," ජනාධිපති නීතීඥ සාලිය පීරිස් උත්සවයේ අදහස් දක්වමින් කියා සිටියේය.

අතුරුදහන්වුවන්ගේ පවුල්වලට යුක්තිය ලබාදීමට රජය පාර්ශ්වයෙන් සහය දීම පිළිබඳ නිර්දේශ ද එම වාර්තාවේ ඇතුළත් බව ඔහු ප්‍රකාශ කළේය.

"වින්දිතයන්ට හා සාක්ෂිකරුවන්ට කෙරෙන යම් යම් බලපෑම් නවත්වන්න ඕනේ, විශේෂයෙන්ම අපි නිර්දේශ කරනවා, රාජ්‍ය පාර්ශ්වය මේ වින්දිතයන්ට උදව් වෙන්න ඕනේ කියලා, අධිකරණවලදී රාජ්‍ය පාර්ශ්වයන් උදව් කරන්න ඕනේ," ජනාධිපති නීතීඥ සාලිය පීරිස් පැවසුවේය.

විශේෂයෙන්ම සමුහ මිනී වළවල් තුළ ඇති අස්ථි කොටස් සහ මෘත ශරීර හඳුනා ගැනීමට අවශ්‍ය තාක්ෂණික සහය ලබාගැනීමට අදාළ නිර්දේශ එහි ඇතුළත් බව ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

"අපි යෝජනා කරලා තියෙනවා රටක් ලෙස ශ්‍රී ලංකාව සමරන්න ඕනේ මේ අතුරුදහන්වුවන්, ඒ අතුරුදහන් කිරීම කළේ මොන පාර්ශවයද කියල වැදගත් නැහැ, රටක් ලෙස අපි පිළිගන්න ඕනේ මේ පවුල් දශක ගණනාවක් තිස්සේ දුක් විඳින බව."

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයට අනුව තවමත් ශ්‍රී ලංකාවේ අතුරුදහන්වුවන්ගේ ප්‍රමාණය පිළිබඳ කිසිදු නිල දත්ත නැත. පසුගිය රජය සමයේ පිහිටවූ 'පරණගම කොමිසමට' උතුරේ හා දකුණේ අතුරුදහන්වුවන් 21,000 ක් පිළිබඳ පැමිණිලි ලැබී තිබුණි.

'අතුරුදහන් කිරීම්වලට ඉඩ නොතබමු' සැමරුම ආරම්භ වීමට පෙර, අතුරුදහන්වුවන්ගේ පවුල් එකමුතුව සංවිධානය කළ පාගමනක් ද පැවැත්විණි. ඒ සඳහා විශේෂයෙන්ම 88/89 වකවානුවේ අතුරුදහන්වු අයගේ පවුල්වල වැඩි පිරිසක් මෙම පාගමනට එක්ව සිටියහ.

"මගේ සැමියා අතුරුදහන්වෙලා අවුරුදු 28 ක් වෙනවා. හමුදාවෙන් අරන් ගියේ, මේවට යුක්තිය ඉටුවෙන්න ඕනේ. ආර්ථික වශයෙන් අද අපි අසරණ වෙලා," මාතර සිට පැමිණි මවක් බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් කියා සිටියාය.

මඩකලපුවේ සිට පැමිණි පියෙක් පැවසුවේ, පසුගිය යුද සමයේ හමුදා භාරයේ සිට අතුරුදහන්වූ තම පුත්‍රයා ගැන තොරතුරු හමුදාව ලබා නොදෙන බවය.

රජය පිහිටුවා ඇති අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය මගින් තමන්ට සහනයක් ලැබෙනු ඇති බව ඔවූහු සියල්ලන්ම පාහේ බලාපොරොත්තු වෙති.

"අද ඉදිරිපත් කරපු නිර්දේශ ඉදිරිපත් කරලා මදි, ඒවා ලබා දෙන්න ඕනේ. තාවකාලික දීමනාව, නිවාස හා රැකියා ප්‍රශ්නවලට විසඳුමක්. මොකද, මේවා පරණ කොමිසම්වලත් කියපු දේවල්," අතුරුදහන්වුවන්ගේ පවුල් එකමුතුවේ කැඳවුම්කරු බ්‍රිටෝ ප්‍රනාන්දු බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් කියා සිටියේය.