ගාල්ල නගරය සඳහා යෝජිත නව මුහුණුවර කුමක් ද?

ගාල්ල නගරයේ තැනින් තැන පිහිටුවා තිබෙන රාජ්‍ය ආයතන 40 ක් පමණ කරාපිටිය ප්‍රදේශයේ ඉදිකිරීමට අපේක්ෂිත මිශ්‍ර ව්‍යාපෘති භූමියට ගෙනයාමට සැලසුම් කර තිබේ.

මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය 'ගාල්ල මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියේ' අධ්‍යක්ෂ එම් කේ ලෙස්ටි ඇමතූ විට ඔහු පැවසුවේ මෙය දීර්ඝ කාලයක සිට සාකච්ඡාවට බඳුන්වී තිබුණු නමුත් විවිධ කරුණු හේතුවෙන් ක්‍රියාත්මක නොවූ ව්‍යාපෘතියක් බවය.

"නව ව්‍යාපෘතිය පැරණි යෝජනා වර්තමානයට ගැලපෙන අයුරින් සකස් කිරීමක්," ඔහු කීය.

අගෝස්තු 27 වෙනි දින දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජය ලාල් ද සිල්වාගේ සම සභාපතිත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදි පැවති ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්විමේදි ද මෙම කරුණු සාකච්ඡාවට ලක්විණි.

"දකුණු ලකේ අක්‍රමවත්අගනගරය"

"දකුණු ලකේ අග නගරය කිව්වට ගාල්ල කියන්නේ ඉතා අක්‍රමවත් නගරයක්. මාතර නගරය ඒ අතින් ඉතා හොඳ තත්ත්වයක පවතිනවා. ගාල්ලේ රජයේ කාර්යාල නගරයේ තැනින් තැන සහ ගාල්ල කොටුව ඇතුළේත් පිහිටුවා තිබෙනවා. මේ බොහෝ තැන්වල වාහන නැවැත්වීමේ පහසුකම් නැහැ. ඒ නිසා මහජනයා දුෂ්කරතාවලට මුහුණ දෙනවා," යනුවෙන් ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා පැහැදිළි කළේය.

මේ ගැනත් දැනගන්න:

ගාල්ල ක්‍රමවත් නගරයක් ලෙස සැකසීමේ සැලැස්මට අනුව, තැනින් තැන සහ කුලී ගොඩනැගිලිවල තිබෙන රාජ්‍ය ආයතන පහසුකම් සහිත එක් භූමියකට ගෙනයාම අරමුණු කෙරේ.

මීට අමතරව ගාල්ල කොටුවේ තිබෙන කිසිදු කාර්යාලයක වර්තමානයට ගැලපෙන අයුරින් වෙනස්කම් කිරීමට අවසර නොමැති වීම ගැටලුවක් වී ඇතැයි කී ව්‍යාපෘති අධ්‍යක්‍ෂවරයා, "මේ නිසා එම කාර්යාල වෙනත් තැනකට රැගෙනයාමේ දැඩි අවශ්‍යතාවක් මතුව තිබෙනවා." යැයි සඳහන් කළේය.

ඒ අනුව ඉදිරි වසර 20 - 35 අතර ඉදිරි කාලයක් සඳහා තමන්ට අවශ්‍ය පහසුකම් පිළිබඳ වාර්තා සපයන ලෙස ගාල්ල නගරය ආශ්‍රිත සියලුම රාජ්‍ය ආයතන වෙත දැනුම්දී තිබේ.

මේ සඳහා කරාපිටිය ප්‍රදේශයේ භූමියක් තෝරාගෙන තිබෙන බවත් මූලික ඉඩම් අත්පත් කරගැනීම් අවසන් අදියරේ පවතින බවත් නිලධාරීන් පවසන අතර ව්‍යාපෘතිය අවසන් කිරීමට සැලසුම් කරන කාලය වසර දෙකකි.

යෝජිත කාර්යාල සංකීර්ණයට වෙළෙඳ සංකීර්ණයක් මෙන්ම වාහන ගාල් කිරීමේ පහසුකම් ද අයත්ය.

"චීන උපදේශන සේවා"

චීන MCC සමාගම මේ සඳහා නොමිලයේ උපදේශන සැපයීමට ඉදිරිපත්වී තිබෙන බවත්, එම කටයුතු මාස දෙකක් පමණ ඇතුළත අවසන් කිරීමට නියමිත බව කී ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා, "ඉදිකිරීම් කරන ආයතනය ගැන හෝ ඊට මුදල් ලැබෙන ආකාරය පිළිබඳ තීරණය කරන්නේ රජයයි," යැයි සඳහන් කළේය.

"සංචාරක පුරවරයක්"

Image copyright Getty Images

මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ආචාර්ය ජගත් මුණසිංහ ඇමතූ විට ඔහු පැවසුවේ ගාල්ල නගර සභාව මෙන්ම බෝපේ පොද්දල, අක්මීමන ආදී ප්‍රාදේශීය සභා 4 ක් හෝ 5 ක් ද ඇතුළත්වන වන පරිදි සකස් කළ 'මහා ගාලු ප්‍රදේශය' වැඩ පිළිවෙල යටතේ දීර්ඝ කාලීන සැලසුම් රැසක් සකස්කර ඇති අතර මෙය ඉන් එක් අදියරක් බවය.

ඔහු සඳහන් කළ පරිදි, මේ ව්‍යාපෘතිය තුළ නාගරික සංවර්ධන අධිකාරිය ඉටුකරනු ලබන්නේ "පහසුකම් සපයන කටයුත්ත" කි.

ගාල්ල නගරය සංචාරක පුරවරයක් ලෙස සංවර්ධනය කරන අතරම මහජනයාගේ අවශ්‍යතා එකම ප්‍රදේශයකදී ඉටුකර දීම මෙහි අරමුණ බව ද නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

එසේ වුවද, ගාල්ල මහ නගර සභාව කරාපිටියට ගෙන යන්නනේ නම් ඊට නාගරික මන්ත්‍රීවරුන් විරුද්ධ බව නගරාධිපති ප්‍රියන්ත සහබන්දු කියා සිටි අතර එයට කිසිසේත් ඉඩ නොදෙන බව ද ප්‍රකාශ කළේය.

මහ නගර සභාව හා ගොඩනැගිලි සමුහය කරාපිටිය ප්‍රදේශයට රැගෙන යාමට තමා ද විරුද්ධ බව දකුණු පළාත් මහ ඇමතිවරයා ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්විමේදී පවසන්නට යෙදිණි.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමේදී ගාල්ල මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ එම් කේ ලෙස්ටි පැවසුවේ, මෙය කිසිවිටක බලහත්කාරයක් නොවන අතර මහජනයාට එකම තැනකදි සියලු සේවා සැපයීමේ අරමුණ ඇතිව ක්‍රියාත්මක කිරිමට සැලසුම් කළ වැඩපිළිවෙලක් බවය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර