අතුරුදහන් වූ "මගේ ස්වාමිපුරුෂයාට යුක්තිය ඉටුකරන්න" කාන්තාවක් ඉල්ලයි

"සමාජයෙන් වුණත් බලන්නේ අපිව වැරදි විදියට පාවිච්චි කරන්න, පොලිසියත් උත්සාහ කරනවා මම එහෙමයි කියන්න, මොකද මේ දේවල් යට ගැසීමේ උවමනාවට, නමුත් එහෙම අම්ම කෙනෙක් නෙවෙයි මම."
දෙදරු මවක් වන මයුරි ඉනෝකා ජයසිංහ දැනට අතුරුදහන්ව සිටින තම සැමියා සොයා ගැනීමට ගත් උත්සාහය නිසා තමන් විවිධ තාඩන පිඩාවට ලක්වූ බව පවසන්නීය.
2018 සැප්තැම්බර් 2 වෙනි දිනට මයුරිගේ සැමියා වූ මධුෂ්ක ද සිල්වා අතුරුදහන්වී අවුරුදු 5 ක් ගතවිය.
තම සැමියාට සිදුවූ දේ පිළිබඳ නිසි පරීක්ෂණයක් ඉල්ලා ඇය අඟහරුවාදා (සැප්තැම්බර් 4) තම කුඩා දරු දෙදෙනා සමග ගාලු මුවදොර පිටිය ඉදිරියේ පැය 24 ක නිහඬ විරෝධතාවක් ඇරඹුවාය.
"මගේ මහත්තයව, අයිඩෙන්ටි කාඩ් පෙන්නලා අනුරාධපුර ටවුන් එක මැද්දේ පැහැර ගෙන ගිහින් මේ සැප්තැම්බර් 2කට අවුරුදු 5 ක් වෙනවා. පොලිසියට සම්බන්ධ අය තමයි අරන් ගියේ, මට තවම සාධාරණයක් ඉෂ්ට වෙලා නැහැ," ඇය බීබීසී සිංහල සේවයට පැවසුවාය.
සැමියා අතුරුදහන්වන විට සත්මස් ගැබිනියක්ව සිටි මයුරි සිය විරෝධතාවට, ලබන නොවැම්බර් මාසයේ 5 වෙනි උපන්දිනය සමරන තම නිවුන් දරුවන් දෙදෙනා ද එක් කරගෙන සිටියාය.
"මේ දෙන්නා මගෙන් අහනවා තාත්තා කෝ කියල මට කියන්න උත්තරයක් නැහැ, චිත්‍රයක් ඇන්දත් අම්මයි තාත්තයි අපි තුන්දෙනාව තමයි අදින්නේ, ළමයින්ට යන්න පාසලක් වත් නැහැ," ඇය සිය දරුවන් පෙන්වමින් කියා සිටියාය.
තම සැමියා පැහැරගෙන අතුරුදහන් කරවීමට පොලිසිය සම්බන්ධ බැවින් ඒ පිළිබඳ නිසි පරීක්ෂණයක් සිදු නොවන බව පවසන මයුරි, තම සැමියා සමග පැහැරගෙන යාමෙන් අනතුරුව නිදහස් කළ තවත් දෙදෙනෙකුගෙන් පොලිසිය මේ පිළිබඳ ප්‍රශ්න කිරීමක් පවා නොකළ බවට චෝදනා කරන්නීය.
පොලීසියේ ඉහළ නිලධාරීන්ගේ අනුදැනුම මත පොලිස් විශේෂ කාර්ය බලකායට සම්බන්ධ නිලධාරීන් මෙම පැහැරගැනීම කළ බවට තමන්ට තොරතුරු ඇති බව ඇය කියා සිටියාය.
"පැහැර ගැනීම" යන චෝදනාව පොලිසිය ප්‍රතික්ෂේප කරන බව කී පොලිසියේ උසස් නිලධාරියෙක් බීබීසී සිංහල සේවය වෙත ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ මේ සම්බන්ධයෙන් දැනටත් පරීක්ෂණයක් ක්‍රියාත්මක වන බවකි.
තම සැමියාට යුක්තිය ලබාගැනීමේ අරගලය කුමන බාධක පැමිණියත් අත්නොහරින බව පවසන ඉනෝකා මේ හේතුවෙන් තමන් ද 2014 වසරේ පැහැරගෙන යාමට ලක්වූ බව පැවසුවාය.
නාඳුනන පිරිසක් විසින් පැහැර ගනු ලැබීමෙන් අනතුරුව පොලිසියට ගිය අවස්ථාවේ ගණිකාවක ලෙසින් හඟවා අපහාස කරමින් පොලිස් නිලධාරීන් තමන් තවදුරටත් අපහසුතාවට ලක් කළ බව එම පැහැරගැනීම සම්බන්ධයෙන් 2014 වසරේදී ඇය බීබීසී සිංහල සේවයට ප්‍රකාශ කළාය.
ගාලු මුවදොර පිටියේ නිහඬ විරෝධතාව පැවැත්වෙද්දී පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණ ළමුන් දෙදෙනා විරෝධතාවට යොදාගැනීම සම්බන්ධයෙන් ප්‍රශ්න කරනු දක්නට ලැබිණි.
දරුවන් යොදවා ගෙන සිඟමනේ යෙදෙන දෙමාපියන් සිටියදී දරුවන් සමග සිටීම ගැන තමාගෙන් ප්‍රශ්න කරන්නේ මන්දැයි එහිදී ඇය පොලිසියෙන් විමසුවාය.
"විරෝධතා ගැන ප්‍රශ්න කරන්නනම් එනවා හැබැයි, සැමියා ගැන පරීක්ෂණ කරන්නේ නැහැ," පොලිස් නිලධාරීන් පිටව යාමෙන් පසු ඇය ප්‍රකාශ කළාය.
"මගේ මහත්තයා වුනත් අපරාධයක් කරලා තියෙනවනම්, නීති මාර්ගයට ගෙන්න ඕනේ, මරල, වලල දාන්න කාටවත් අයිතියක් නැහැ," ඇය අවසන් වශයෙන් කියා සිටියාය.
මධුෂ්ක ද සිල්වා සොයාගැනීම වෙනුවෙන් ගාලු මුවදොර පිටිය අසළ ජනතාව අතර බෙදා දුන් පත්‍රිකාවක, "මදුෂ්ක පැහැර ගෙන ගිය සුදු වෑන් අපරාධකාරයන් මධුෂ්ක අතුරුදහන් කරවීය, නමුත් ඔවුන්ට මධුෂ්ක වෙනුවෙන් වූ මයුරිගේ සහ දරු දෙදෙනාගේ ආදරය අතුරුදහන් කරන්න බැරිවිය," යනුවෙන් සටහන් කර තිබුණි.