"ජනබලය කොළඹට": ඒකාබද්ධ විපක්ෂයත් ආණ්ඩුවත් සැරසෙති

ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන "ජනබලය කොළඹට" විරෝධතා පාගමනට සහභාගිවීම සඳහා දැනටමත් පිරිස් කොළඹ නගරයට පැමිණීමෙන් සිටින බව වාර්තාවේ.

විරෝධතාව බදාදා (සැප්තැම්බර් 05) සවස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සහභාගිත්වයෙන් කොළඹ කොටුව ප්‍රදේශයෙන් ආරම්භ විය.

බදාදා උදෑසන කොළඹ නගරය තරමක් පාළු ස්වභාවයක් ගත් අතර, උදැසන වාහන තදබදය ද අඩු බව ද සමාජ මාධ්‍යවල පළකර තිබු සටහන්වලින් දැක්විණි.

Image caption උදෑසන කොළඹ නගරය තරමක් පාළු ස්වභාවයක් ගත්තේය.

කොළඹ කාර්යාල සහ පාසල්වලට පැමිණීමේ යම් අඩුවීමක් පෙනෙන්නට ඇති බව ද මාධ්‍ය වාර්තා කර තිබුණි.

තම සේවකයන්ට නිවෙස්වල සිට සේවයේ යෙදෙන ලෙස දැන්වූ බව කොළඹ ප්‍රධාන පෙළේ පුද්ගලික සමාගමක නිලධාරියෙක් බීබීසී සිංහල සේවයට පැවසුවේය.

ඊයේ සවස සිට කොළඹ නගරයට 5,000 ක පමණ විශේෂ පොලිස් නිලධාරි පිරිසකගේ ආරක්ෂාවක් යොදා අතර, මහජනතාවට පීඩාකාරී ලෙස විරෝධතාකරුවන් හැසිරුණහොත් නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

මෙම විරෝධතා පාගමනේ ප්‍රධාන සංවිධායකයා වන නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා බීබීසී සිංහල සේවයට ප්‍රකාශයක් කරමින්, තම විරෝධතාව සාමකාමී එකක් බවත්, මහජනතාවට පීඩාව අවම වනසේ මෙම විරෝධතාව පැවැත්වෙනු ඇති බවත් පැවසුවේය.

ආණ්ඩුව මෙම සාමකාමී විරෝධතාවට බාධා කිරීමේ සුදානමක් ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය.

Image copyright ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය

මේ අතර, හාලිඇළ බෝගහමඩිත්ත දී කොළඹ 'ජනබලයට' ජනතාව රැගෙනඒමට නියමිතව තිබූ බස් රථයකට අද අලුයම පහරදීමක් සිදුවී ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

අංක තහඩු වසා ගත් කැබ් එකකින් පැමිණ 'බේස්බොල් පිති වැනි දෙයකින් බසයට පහර දුන් බවත්, පැමිණි පිරිස යම් නිල ඇදුමකින් සැරසී සිටි බව' ත් ප්‍ර‍හාරය එල්ලවන අවස්ථාවේ දී බසයේ සිටි පුද්ගලයෙක් උපුටා දැක්වූ මානව හිමිකම් කේන්ද්‍රය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වුණි.

සාමකාමී උද්ඝෝෂණ පැවැත්වීම පුරවැසියන් සතු අයිතියක් බවත්, එම අයිතියට ගරැ කිරීම ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී සමාජයක වගකීමක් බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය අවධාරණය කරයි.

"නයිට් පාක් කොළඹ"

Image copyright Facebook

කෙසේ වෙතත් ආණ්ඩුවෙන් මෙම විරෝධතාවට කිසිදු බාධාවක් එල්ල නොකරන බව නීතිය සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර අඟහරුවාදා මාධ්‍යයට කියා සිටියේය.

"පෙළපාලි නවත්වන්න උද්ඝෝෂණ නවත්වන්න කිසිම දෙයක් කර නෑ. වැරදි අර්ථකථනයක් දී තිබෙනවා උද්ඝෝෂණයකට වෙඩි තියන්නේ නෑ. සාමකමි උද්ඝෝෂණයකට උදව් කරන්නයි අපි බලන්නේ," ඔහු කියා සිටියේය.

දහවල් කොළඹට පැමිණෙන විරෝධතාකරුවන් රාත්‍රියේ ද කොළඹ නගරයේ විරෝධතාවේ යෙදෙනු ඇති බව ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ මන්ත්‍රී කුමාර් වෙල්ගම මාධ්‍යට ප්‍රකාශ කළේය.

"අපි හෙට නයිට් පාක් කොළඹ," ඔහු පැවසුවේය.

මෙම විරෝධතාව ආණ්ඩුව ගෙදර යන තුරු අවසන් නොකරන බව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පසුගිය සති කීපයේදීම ප්‍රකාශ කර තිබුණි.

පසුගිය මාස කිහිපයේ කොටස් කීපයකට බෙදීමකට ලක්වූ බව කියැවුණු එක්බද්ධ විපක්ෂයට සම්බන්ධ සියලු පාර්ශ්ව මෙම විරෝධතාවට එක්ව සිටීම විශේෂත්වයකී.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ද මෙම විරෝධතාවට එක්වන බව පවසා ඇති අතර, විදේශගතව සිටින නිසා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද ඊට එක් නොවන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මාධ්‍යට ප්‍රකාශ කර තිබුණි.

එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මාධ්‍යයට අදහස් දක්වමින්, මෙම විරෝධතාව ගෝඨාභය රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ අතර බලය පෙන්වීමේ තරගයක් බව ප්‍රකාශ කළේය.

තම නඩු කටයුතු අවහිර කරගැනීමට රට තුළ 'අරාබි වසන්තයක්' නිර්මාණය කිරීම නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ අරමුණ වී ඇති බව පැවසූ හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා එයට යහපාලන ආණ්ඩුව කිසිලෙසකින් ඉඩ නොතබන බව ද ප්‍රකාශ කළේය.