"ජනබලය කොළඹට" විරෝධතාව අසාර්ථක ද ?

ඒකාබද්ධ විපක්ෂය විසින් බදාදා (සැප්. 05) සංවිධානය කරන ලද "ජනබලය කොළඹට" විරෝධතා පාගමන සම්පුර්ණයෙන්ම අසාර්ථක විරෝධතාවක් බව ආණ්ඩුව පවසද්දී විරෝධතාවේ අරමුණු ඉටු වූ බව සංවිධායකයෝ පවසති.

බදාදා දහවල් 2 ට පමණ ඇරඹුණු විරෝධතාව බ්‍රහස්පතින්දා අළුයම දක්වා පවත්වාගෙන යාමට සංවිධායකයින් අපේක්ෂා කළ ද එය ඊයේ මධ්‍යම රාත්‍රියේ ම අවසන් කර තිබුණි.

සවස 3 ට පමණ කොළඹ කොටුව ප්‍රදේශයේ සිට පාගමනකින් ලේක්හවුස් වටරවුම දක්වා පැමිණි පිරිස් පසුව එම ස්ථානයේ නිහඬ විරෝධතාවක යෙදී සිටිහ.

"අපිට මහින්ද මහත්තයා බලන්න ඕනේ"

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පිටකොටුව බෝගහ අසළදී පාගමනේ මද දුරක් ගමන් කළ අතර ඔහුව දැක බලාගැනීම සඳහා ජනතාව දැඩි උත්සාහයක නිරත විය.

"අපිට මහින්ද මහත්තයා බලන්න ඕනේ" යැයි පවසමින් ජනතාව හිටපු ජනාධිපතිවරයා සිටින ස්ථානයට ළඟාවීමට දැරූ උත්සාහයේදී ඇතිවූයේ දැඩි තෙරපුමකි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු පක්ෂ නායකයන් රැළිය ආරම්භයේදී පාගමනේ දක්නට සිටියත් ලේක්හවුස් වටරවුමේ ඔවුන් රැඳී සිටියේ නැත. ඒකාබද්ධ විපක්ෂයේ තරුණ මන්ත්‍රීවරුන් පිරිසක් පමණක් එහිදී විරෝධතාකරුවන් සමග රැඳී සිටිනු දක්නට ලැබුණි.

මෙම පාගමන අවසානයේ ජන රැළියක් සංවිධානය කර නොතිබූ අතර විරෝධතාවට පැමිණ සිටි ජනයා ගීත ගායනා කරමින්, සතුටු සාමිචියේ යෙදෙමින් එම ස්ථානයට වී ඉන්පසු කුමක් සිදුවන්නේ දැයි බලා සිටියහ.

නිසි ශබ්ද විකාශන ක්‍රමවේදයක් නොමැතිවීම නිසා ජනතාව ඇමතීමට ද මන්ත්‍රීවරුන්ට අවස්ථාව හිමි නොවූ අතර සංවිධායකයන් පැවසූ පරිදි රාත්‍රිය ගතකරන්නේද යන්නත් බොහෝ දෙනාට තිබු ගැටලුවකි.

"අපිට මහින්ද මහත්තයා දකින්නවත් ලැබුණේ නැහැ" යනුවෙන් චෝදනා කරමින් ග්‍රාමීය ප්‍රදේශවල සිට මෙම විරෝධතාවට පැමිණි ඇතැම් පිරිස් සංවිධායකයන්ට විරෝධය පළ කළේය.

සවස 6 පමණ විට පැමිණ සිටි පිරිසෙන් කොටසක් පිටත්වී ගොස් තිබුණු අතර, ඇතැම් අය හිල්ටන් වටරවුම අවට මාර්ගවල රැදී සිටියහ.

මෙළෙස රැඳී සිටින පිරිසට අවශ්‍ය පානීය ජලය, බීම වර්ග සහ ආහාර වැනිදෑ අලෙවි කිරීමෙන් ආදායමක් ලබාගැනීමට තිබූ අවස්ථාව මගහැර යාමට අන්නාසි, කඩල වැනි දෑ අලෙවියේ යෙදෙන සුළු වෙළෙඳුන් උනන්දු නොවූහ.

'නොනිදන රාත්‍රියක්'

සවස 7 ට පමණ ලොරියක් මත තාවකාලික වේදිකාවක් සකස්කර ගනිමින් ශබ්ද විකාශන යන්ත්‍ර ද යොදාගෙන සත්‍යක්‍රියාවක් ආරම්භ කිරීමට සංවිධායකයෝ කටයුතු කළහ.

රාත්‍රී 8 ට පමණ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එම ස්ථානයට පැමිණි අතර රැස්ව සිටි පිරිස අමතමින් ඔහු ආණ්ඩුව පලවා හැරීමේ පළමු පියවර මෙම පාගමන බව ප්‍රකාශ කළේය.

එම රාත්‍රිය 'නොනිදන රාත්‍රියක්' ලෙස හිටපු ජනාධිපතිවරයා ද නම් කළ අතර ඔහුගේ පිටවයාමෙන් පසු අංගම්පොර ශිල්පින් සම්බන්ධ වූ සංස්කෘතික අංග කීපයක් පැවැත්විණි.

රාත්‍රී 11 ට පමණ පිරිස ක්‍රම ක්‍රමයෙන් අඩු වී ගියෙන් විශාල ජනකායකගේ පැමිණීම නිසා අපිරිසිදුව තිබු ප්‍රදේශය ඉතිරිව සිටි පිරිසගේ ද සහාය ඇතිව පිරිසිදු කිරීමට සංවිධායකයෝ කටයුතු කළහ.

සුව සැරිය

විරෝධතාව පැවැත්වෙමින් තිබෙන අවස්ථාවේ ඇතැම් පුද්ගලයන් තැනින් තැන වැටී සිටියහ.

ඒකාබද්ධ විපක්ෂය විරෝධය පෑ, ඉන්දියානු ආධාර මත ලැබුණු සුව සැරිය ගිලන් රථ මගින් බිමත්ව බිම වැටීසිටි පුද්ගලයන් 81 දෙනෙකු රෝහල්ගත කළ බව රාජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා ඊයේ මාධ්‍යට ප්‍රකාශ කළ ද එය අසත්‍ය තොරතුරක් බව සංවිධායකයෝ පැවසූහ.

තෙහෙට්ටුව සහ දැඩි තෙරපුම නිසා ඇතිවූ අයහපත් සෞඛ්‍ය තත්ත්වය මත පුද්ගලයන් කීපදෙනෙකු පමණක් රෝහල්ගත කළ බව ඔවුහු කියා සිටියහ.

කෙසේවෙතත්, අද සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තැබූ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා පෙන්වා දුන්නේ ඊයේ පැවති විරෝධතාව අතරේදී සුව සැරිය ගිලන් රිය සේවාවෙන් ගෙන ගිය පුද්ගලයින් පිළිබඳ විවිධ සංඛ්‍යා ප්‍රකාශ වුව ද සැබවින් ම එසේ ගෙන යනු ලැබුවේ එක් පුද්ගලයෙකු පමණක් බව ය.

Image copyright facebook

පාගමනට හැටන් ප්‍රදේශයෙන් පැමිණි 39 හැවිරිදි පුද්ගලයකු පාගමන අතරතුර හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් ඇති බව පොලිසිය නිවේදනය කළේය. ඊට අමතරව ආහාර විෂවීමක් හේතුවෙන් ද පුද්ගලයන් පිරිසක් රෝහලගත කෙරුණු බව පොලිසිය පවසයි.

පාගමනේ ප්‍රධාන සංවිධායකවරයා වූ නාමල් රාජපක්ෂ, අද උදෑසන ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්, විරෝධතාව හේතුවෙන් මහජනතාවට පිඩාවක් වූවානම් ඊට සමාව අයදින බව කියා සිටියේය.

"අපි ලංකාවෙ ලොකුම, දීර්ඝ, සාමකාමී, ආණ්ඩු විරෝධය සංවිධානය කළා, ලෝකෙම ඒ ගැන කතා වෙනවා. ආවෙ 'මිනිස්සු' නිසා අඩුපාඩු තියෙන්න ඇති. එක පියවරකින් තමා හැම දිගු ගමනක්ම ඇරඹෙන්නේ," පාගමනේ සංවිධායකයෙක් වූ කොළඹ නාගරික මන්ත්‍රී මිලින්ද රාජපක්ෂ කියා සිටියේය.

මේ අතර, අද උදැසන පැවැත්වුණු එක්සත් ජාතික පක්ෂයේ සංවත්සර උත්සවයේදී ආණ්ඩුවේ නායකයෝ විරෝධතාව අසාර්ථක එකක් බව ප්‍රකාශ කළහ.

"කොළඹ අල්ලනවා කිව්වා, ඊට පස්සේ ආණ්ඩුව ගන්නවා කිව්වා, අන්තිමට නිකම්ම ගෙදර ගියා, අන්තරේ විශ්ව විද්‍යාල සිසුන් මීට වඩා හොඳට විරෝධතා කරනවා," අමාත්‍ය කබීර් හෂීම් සංවත්සර උත්සවය අමතමින් කියා සිටියේය.

මේ අතර ඝණ පූර්ණය නොමැති වීම හේතුවෙන් බ්‍රහස්පතින්දා දිනයට (06) නියමිතව තිබු පාර්ලිමේන්තු සැසිය සිකුරාදා දිනට කල් තැබීමට සිදුවිය.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඊයේ රැළිය නිසා ද, එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් තම පක්ෂ සංවත්සරය නිසා ද, අද පාර්ලිමේන්තුවට පැමිණ නොසිටියහ.

පාර්ලිමේන්තුව පැවැත්වීමට දිනකට රුපියල් ලක්ෂ 50 ට ආසන්න පමණ මහජන මුදලක් වැයවන බව වරක් කතානායක කරු ජයසුරිය ප්‍රකාශ කර තිබුණි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර