CID වෙත කැඳවුණු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රටින් පිට යයි

Image copyright Getty Images

ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබු ත්‍රිවිධ හමුදා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න එසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නොගොස් විදේශ ගතවී තිබේ.

2008 වසරේ තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ සැකකරුවකු වන 'නේවි සම්පත්' හෙවත් ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් චන්දන හෙට්ටිආරච්චිට පොලිසිය මගහැර රටින් පිටවී යාමට අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න ආධාර අනුබල දුන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය මස 29 වැනිදා අධිකරණයට වාර්තා කර තිබිණි.

එහිදී කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න නියෝග කළේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ආධාර අනුබල දී හෝ යම් සහනයක් දක්වා ඇති බවට ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් වන්නේ නම් වහාම එම නිලධාරියා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසය.

රටේ ඉහළම හමුදා නිලධාරියා අත්අඩංගුවට ගැනීමට නියෝගය දී දින ගණනාවක් ගතවී තිබුණත් එලෙස අත්අඩංගුවට ගැනීමක් සිදු නොවූ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා සඳුදා දින අද්මිරාල්වරයාව කැඳවා ඇති බවකි.

කෙසේ වෙතත් සඳුදා (සැප්තැම්බර් 10) උදෑසන බීබීසී සිංහල සේවයට මේ පිළිබඳ අදහස් පළකළ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු පැවසුවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න ප්‍රකාශයක් නොදී රටින් පිටව ගොස් ඇති බවය.

මේ අතර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු මාධ්‍ය වෙත පවසා තිබුණේ රාජකාරි අවශ්‍යතාවක් සදහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න විදෙස්ගතව සිටීම හේතුවෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා වෙනත් දිනයක් දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලා තිබෙන බවකි.

මෙම නඩුව ලබන බදාදා දින (12) නැවත කැඳවන අතර එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න සම්බන්ධයෙන් නැවත අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතය.

නඩුවේ සැකකරුවකු වන 'නේවි සම්පත්' හෙවත් ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් චන්දන හෙට්ටිආරච්චි පොලිසිය මගහැර රටින් පිටව ගොස් නැවත ශ්‍රී ලංකාවට පැමිණ සිටියදී පොලිස් අත්අඩංගුවටපත්විණි. ඔහු ද 12 වෙනිදා යළි අධිකරණයට ඉදිර්පත්කිරීමට නියමිතය.

කප්පම් ගැනීම සඳහා තම දරුවන් පැහැරගෙන ගොස් අතුරුදහන්කර ඇති බවට අතුරුදහන්වුවන්ගේ දෙමාපියන් පසුගිය වසරේ බීබීසියට ප්‍රකාශ කළහ.

හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී දසනායකද අත්අඩංගුවට පත්වුයේ මෙම අතුරුදහන්වීම් ගැන කළ පරීක්ෂණයක ප්‍රතිඵලයක් වශයෙනි.