ශ්‍රී ලංකාවේ හින්දු කෝවිල්වල සත්ත්ව බිලි පූජා නතර කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය

Image copyright NAVESH CHITRAKAR/REUTERS

ශ්‍රී ලංකාවේ හින්දු කෝවිල්වල සත්ත්ව හා පක්ෂි බිලි පූජා නැවැත්විය යුතු බවට හින්දු කටයුතු අමාත්‍යාංශය ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවිය.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න බීබීසි සිංහල සේවයට මේ බව තහවුරු කළේය.

හින්දු කටයුතු අමාත්‍ය ඩී එම් ස්වාමිනාදන් විසින් මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණි.

හින්දු කෝවිල්වල සත්ත්ව බිලි පූජා නැවැත්වීම සඳහා නීති ගෙන එන බව අමාත්‍ය ඩී එම් ස්වාමිනාදන් 2016 වසරේ ජුනි මාසයේදී බීබීසී සිංහල සේවයට ප්‍රකාශ කර තිබුණි.

"මේ නීතිය හින්දු කෝවිල්වලට පමණයි, වෙනත් ආගම් සඳහා බලාත්මක නැහැ," බීබීසී සිංහල සේවය සමග සාකච්ඡාවකට එක් වෙමින් අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේය.

සතුන්ගේ දිවි තොර නොකොට පූජා පැවැත්වීමේ වෙනත් විකල්ප ක්‍රමවේදයන් තිබෙන බව හින්දු කටයුතු පිළිබඳ අමාත්‍ය ඩී එම් ස්වාමිනාදන් වැඩිදුරටත් කියා සිටියේය.

කෝවිල් පරිශ්‍රය තුළ සිදු කරන සත්ත්ව සහ පක්ෂි බිලි පූජා තහනම් කිරීම් සඳහා නෛතික විධිවිධාන ස්ථාපිත කළ යුතු බවට අමාත්‍ය ස්වාමිනාදන් කළ යෝජනාවක් ප්‍රකාර මෙම තහනම පැනවීමට තීරණය කළ බව, ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇති යෝජනාවට අනුකූල වන පරිදි නීති කෙටුම්පත් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකයන් වෙත නියම කිරීම ඉදිරියේ සිදුවනු ඇති බව ඔහු ප්‍රකාශ කරයි.

සත්ත්ව බිලි පූජාව හින්දු ආගමේ පුරාතන ක්‍රමයක් වුවද, බහුතර හින්දු ආගමිකයන් මෙම ක්‍රමය පිලි නොගන්නා අතර බිලි පූජා පැවැත්වීම තහනම් කිරීම සහ දඬුවම් පැමිණවිය හැකි වරදක් ලෙස නීතිගත කිරීම සිදු කළ යුතු බව හින්දු ජනතාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ ශ්‍රී ලංකාවේ හින්දු සංගම් වල මතය වී ඇති බව ද රාජ්‍ය අමත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ සිට යාපනය දිස්ත්‍රික්කයේ සත්ත්ව බිලි පූජා තහනම් කරමින් යාපනය හිටපු මහාධිකරණ විනිසුරු ඉල්ලන්චෙලියන් ද නියෝගයක් පනවා තිබුණි.

ශ්‍රී ලංකාවේ සිදුවන සත්ත්ව බිලි පූජා වහා තහනම් කළ යුතු බවට ඉල්ලමින් විවිධ සංවිධාන පසුගිය කාලයේ විරෝධතාවල නිරත වූහ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර