"සිසුන්ට පහරදුන් පොලිස් නිලධාරීන්ට විරුද්ධව වහාම විනයානුකූල ක්‍රියාමාර්ග ගතයුතුයි" - මන්ත්‍රී ශිවශක්ති

පාසල් ළමුන්ට පහරදීමේ චෝදනා එල්ල වී තිබෙන පොලිස් නිලධාරීන්ට විරුද්ධව වහාම විනයානුකූල ක්‍රියාමාර්ග ගත යුතු බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් පවසයි.

වවුනියාව කනගරායන්කුලම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට පහරදීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ගිය කනගරායන්කුලම පොලිස් නිළධාරීන් කණ්ඩායමක්, අදාළ සැකකරුවන්ට හා ඔවුන්ගේ දරුවන් යැයි පැවසෙන පාසල් සිසුන් දෙදෙනෙකුට පහරදී ඇති බව වන්නි මන්ත්‍රීවරයා චෝදනා කරයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමේදී කනගරායන්කුලම පොලිස් නිළධාරීන් කියා සිටියේ ගැටුමක් සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති නමුත්, එහිදි පාසල් සිසුන් වෙත හෝ සැකකරුවන් වෙත හෝ කිසිදු පහරදීමක් සිදුවී නොමැති බවය.

කිසියම් කණ්ඩායමක් අදාළ සිදුවීම පදනම් කර ගනිමින් වාසි ලබාගැනීමේ අරමුණින් ජනතාව අතර වැරදි මතයක් පැතිරවීමට උත්සහ කරමින් සිටින බව ද පොලිසිය පැවසීය.

පොලීසිය එසේ ප්‍රකාශ කළ ද, දරුවන්ට පහර දුන් පොලිස් නිළධාරීන්ට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගත යුතු බවට ඉල්ලමින්, දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින්, කනගරායන්කුලම පාසල් දරුවන් සහ ප්‍රදේශවාසීන් අඟහරුවාදා (සැප්. 11) දහවල් කනගරායන්කුලම පොලිසිය ඉදිරිපිට විරෝධතාවයක නිරත වූහ.

මේ වන වට එම පාසල් ළමුන් රෝහල්ගත කර ඇති හෙයින් අදාළ ස්ථානාධිපති වරයා ඇතුළු පිරිසට එරෙහි නීතිය ක්‍රියාත්මක කර වහාම එම නිලධාරීන් ස්ථාන මාරු කරන ලෙස ද විරෝධතාකරුවෝ ඉල්ලා සිටියහ.

සිද්ධිය සම්බන්ධයෙන් ටෙලෝ පක්ෂ නායක හා දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසූවේ, සැකකරුවන්ට හෝ පාසල් දරුවන්ට පහරදීමේ අයිතියක් පොලිස් නිලධාරීන්ට කවුරුන් විසින් ලබා දී ඇතිද යන්න සම්බන්ධයෙන් පොලිසිය පිළිතුරු දිය යුතු බවය.

විරෝධතාවට පාසල් කාලය තුළ දරුවන් සම්බන්ධකර ගැනීම නීත්‍යනුකූල නොවන බව මේ අතර පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව උසස් පොලිස් නිලධාරියෙකුගෙන් කළ විමසීමකදී නම හෙළි නොකරන්නැයි ඉල්ලා සිටි ඔහු කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් දෙපාර්තමේන්තු මට්ටමෙන් පරීක්ෂණයක් ආරම්භ කොට තිබෙන බවය.

පොලිස් පහරදීම් හේතුවෙන් රෝහල්ගත කළ අයගේ සුවදුක් බැලීමට උතුරු පළාත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය පී සත්‍යලිංගම්, පළාත් සභා මන්ත්‍රී ජී ටී ලිංගනාදන් ඇතුළු පිරිසක් රෝහල වෙත ගොස් තිබිණි.

විරෝධතාවට සහයෝගය පළ කරමින් කනගරායන්කුලම ප්‍රදේශයේ වෙළෙඳසල් ද වසා ‍දමා තිබිණ.

මේ අතර, යාපනය,කොඩිකාමම් පොලිසියට අයත්ව තිබු ජීප් රථයක් පැහැරගත් සැකකරුවන් පිරිසක් අදාළ ජීප් රථය සමඟින් අඟහරුවාදා (11) රාත්‍රි‍යේදී ම අත්අඩංගුවට ගත් බව යාපනය කොඩිකාමම් පොලිසිය පවසයි.

කොඩිකාමම්, කච්චායි, පාලවි ප්‍රදේශයේ වැලි ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට ගොස් නවතා තිබියදී කණ්ඩායමක් ජීප් රථය පැහැරගෙන ඇති බව කොඩිකාමම් පොලිසිය පැවසූවේය.

එහිදී ක්‍රියාත්මක වු පොලිස් නිලධාරීන් ජීප් රථය හඹා ගොස් සැකකරුවෙකු හා ජීප් රථය අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.

ඉන් අනතුරුව තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන් යාපනය කොඩිකාමම් ප්‍රදේශයේ පදිංචි පිරිසක් වන බවද පොලිසිය සඳහන් කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර