හදිසි කැබිනට් හමුව: "මාධ්‍යට කරුණු හෙළි නොකිරීමේ එකඟතාවක්"

Image copyright Getty Images

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් කැඳවන ලද විශේෂ කැබිනට් රැස්වීම බ්‍රහස්පතින්දා (සැප් 13) දහවල් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

සතිපතා පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීම මෙවර ද සාමාන්‍ය පරිදි අඟහරුවාදා පැවැත්වුණු අතර එසේ තිබියදී හදිසියේ ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩල හමුවක් කැඳවීම විශේෂත්වයක් විය.

අගමැති රනිල් වික්‍රමසිංහ නිල සංචාරයක් සඳහා රටින් බැහැරව සිටින මොහතක මෙවැනි හදිසි හමුවක් කැඳවීම ඇමැතිවරුන්ට ද ප්‍රහේලිකාවක් වී තිබිණි.

දහවල් 12 ට පමණ ආරම්භ වූ සාකච්ඡාව පැයකට වැඩි කාලයක් තිබී ඇති අතර එහිදී කරුණු ගණනාවක්ම සාකච්ඡාවට ලක්වූ බව වාර්තා වේ.

කෙසේ වෙතත්, කැබිනට් හමුවේ කරුණු මාධ්‍යට හෙළි නොකිරීමට ද අද පැවති සාකච්ඡාවේදී එකඟත්වයක් ඇතිවී තිබේ.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීමට ඇතැයි කියන සුදානමක් ගැන අද පැවති හමුවේදී දීර්ඝ ලෙස සාකච්ඡා වූ බව බීබීසී සිංහල සේවයට වාර්තාවේ.

පොලිසිය කටයුතු කරන ආකාරය පිළිබඳ එහිදී විවිධ අදහස් පළවූ බව, නම හෙළිකිරීමට කිරීමට අකමැතිවූ අමාත්‍යවරයෙක් බීබීසී සිංහල සේවයට පැවසීය.

කෙසේ නමුත් මෙම සාකච්ඡාවේ නිශ්චිත තීන්දු කිසිවක් නොගත් බව ද ඔහු සඳහන් කළේය.

හෙට දිනයේ ජනාධිපතිවරයා මාධ්‍ය ප්‍රධානින් හමුවීමට නියමිත අතර, එහිදී අද පැවති හමුව සම්බන්ධයෙන් බොහෝ දුරට අදහස් පළ කරනු ඇති බවට විශ්වාස කෙරේ.

මේ අතර අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු අමාත්‍ය එස් බි දිසානායක, රටේ ආරක්ෂක ප්‍රධානීන් දුර්වල කර ජනාධිපතිවරයා දුර්වල කිරීමේ කුමන්ත්‍රණයක් ආණ්ඩුව තුළින්ම ක්‍රියාත්මක වන බව පැවසුවේය.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න අත්අඩංගුවට ගැනීමේ සුදානම මෙන්ම හමුදාව හා හමුදාපතිවරයා ඉලක්ක කරගත්, අමාත්‍ය සරත් ෆොන්සේකාගේ ප්‍රකාශ ඊට උදාහරණ ලෙස එම මාධ්‍ය හමුවේ ගෙනහැර දැක්විණි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර