හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගැනීම ගැන ජනපති මෛත්‍රීපාල ගේ ස්ථාවරය

Image copyright fACEBOOK/ mAITHRIPALA SIRISENA

නඩු පැවරීමකින් තොරව හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගැනීම සහ රක්ෂිත බන්ධනාගාරගතකිරීම ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කැඳවා දැඩි ලෙස දෝෂාරෝපණය කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ සිකුරාදා (සැප්තැම්බර් 14) දින කොළඹ ජනාධිපති මන්දිරයේදී මාධ්‍ය ප්‍රධානීන් අමතමිනි.

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ප්‍රගීත් එක්නැළිගොඩගේ අතුරුදහන්වීම හා තරුණයන් 11 දෙනෙකු අතුරුදහන්වීමේ සිද්ධීන් සම්බන්ධයෙන් තවමත් නඩු ගොනු කිරීමට අපොහොසත්වීම ගැන ජනාධිපතිවරයා එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා නීතිපතිවරයාට සිය අප්‍රසාදය පළකළේය.

ආරක්ෂක හමුදා ප්‍රධානීන්ට එරෙහිව චෝදනා තිබෙන්නේ නම් ඔවුන්ට එරෙහිව නඩු පවරනු මිස අත්අඩංගුවට ගෙන ඔවුන් පීඩාවට පත් නොකළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බ්‍රහස්පතින්දා (සැප්තැම්බර් 13) කැඳවූ විශේෂ කැබිනට් රැස්වීමේදී ද ප්‍රකාශ කර තිබුණි.

ජනාධිපතිවරයා සිකුරාදා මාධ්‍ය ප්‍රධානීන් හමුවූයේ එම විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමෙන් අනතුරුවය.

විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීම උණුසුම් එකක් වූ බවට පළවන වාර්තා ගැන මාධ්‍ය ප්‍රධානියෙක් ජනාධිපතිවරයාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ එය විවිධ අදහස්වලින් සමන්විත ප්‍රජාතන්ත්‍රවාදී සාකච්ඡාවක් වූ බවය.

Image copyright Getty Images
Image caption ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න අත්අඩංගුවට ගැනීමේ සූදානම ජනාධිපතිවරයාගේ අවධානයට

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාගෙන් ප්‍රකාශයක් හෝ ලබානොගෙන ඔහු අත්අඩංගුවට ගන්නා බවට මතයක් ඇතිකර තිබෙන බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එහිදී සඳහන් කොට තිබේ.

මේ අතර නිවේදනයක් නිකුත් කරන ජනාධිපති මාධ්‍ය ලේකම් කාර්යාලය පවසන්නේ, "2015 අගෝස්තු මාසයේ සිට ති‍්‍රවිධ හමුදා නිලධාරීන් යම් යම් පරීක්ෂණ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන, රිමාන්ඞ් භාරයට පත්කර තිබුණ ද ඔවුන් කිසිවෙකුට එරෙහිව නඩු පවරා නොමැති අතර, ප‍්‍රමාණවත් හේතු සාධක තිබේ නම් නඩු පැවරීමට කටයුතු කිරීම මිස, අනවශ්‍ය ලෙස ඔවුන් රිමාන්ඞ් භාරයේ රඳවා තබා ගැනීම හේතුවෙන් රජය අපකීර්තියට පත්වන බව පෙන්වා දුන් ජනාධිපතිතුමා මේ පිළිබඳ තමා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට සහ පොලිස්පතිවරයා වෙත තදින් උපදෙස් ලබා දුන් බව ද කියා සිටියේය," යනුවෙන් සඳහන් කර තිබේ.

වත්මන් රජය යටතේ කිසිසේත් රටේ ජාතික ආරක්ෂාව දුර්වල වී නොමැති බව එහිදී සඳහන් කළ ජනාධිපතිවරයා, "යුද්ධයක් නැති රටක හමුදාව පවත්වාගෙන යාමේදී ප‍්‍රතිසංවිධාන කිරීමක් සිදු වුව ද දුර්වල වීමක් සිදුව නොමැති අතර, අද ද ජාතික අය වැයෙන් වැඩිම මුදලක් වෙන් කෙරෙන්නේ ආරක්ෂක අමාත්‍යාංශයට බව" මාධ්‍ය ප්‍රධානීන් හමුවේ පෙන්වා දුන් බවත් නිවේදනයේ දැක්වේ.

රටේ ආරක්ෂක කටයුතු සිදුවන අන්දම පිළිබඳ තමන්ගේ කිසිම පැහැදීමක් නැතැයි පවසමින් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා අමාත්‍යවරයා, වත්මන් හමුදාපතිවරයා විවේචනය කරමින් පසුගිය සතියේ අදහස් දක්වා තිබිණ.

"ජාතික ආරක්ෂාව සහ ආරක්ෂක හමුදාව පිළිබඳව ඇතැමුන් සිදුකරන විවිධ ප‍්‍රකාශ පෞද්ගලික කරුණු මුල් කර ගනිමින් සිදු කරන ප‍්‍රකාශ," බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ස්ථාවරය වී තිබේ.

මෙම මස 25 වෙනි දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ වාර්ෂික සැසිවාරය හමුවේ ශ‍්‍රී ලංකාවට අදාළ නව යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා එහිදී සඳහන් කොට තිබේ.

Image copyright Getty Images
Image caption ෆීල්ඩ් මාෂල් සහ හමුදපාති අතර මතභේදයක්

"එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසන් සභාව ශ‍්‍රී ලංකාවට ඉදිරිපත් කර ඇති යෝජනා කි‍්‍රයාත්මක කිරීමේ දී සහන ලබා ගැනීම මෙන්ම රටේ ස්වාධීනත්වයට, ජාතික ආරක්ෂාවට සහ ති‍්‍රවිධ හමුදාවේ ගෞරවයට හානියක් නොවන අයුරින් කටයුතු කිරීම පිළිබඳව එම යෝජනාවලියේ කරුණු ඇතුළත් වනු ඇති බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය," යනුවෙන්ද ජනාධිපති ලේකම් කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස්වරිය වෙත මෙන්ම එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහලේකම්වරයා වෙත ද සිය යෝජනාවලිය ලිඛිතව භාරදීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

මේ අතර ජනාධිපතිවරයා ඝාතනය කිරීමට පොලිස් ප්‍රධානියෙකුගේ සැලසුමක් තිබෙන බවට කර ඇති අනාවරණයක් පිළිබඳ මාධ්‍ය ප්‍රධානියෙක් විමසු විට ජනාධිපතිවරයා කියා සිටියේ ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ක්‍රියාත්මකවන බවය.

"ශ‍්‍රී ලංකා - සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති චෝදනා ගැන අදහස් දැක්වූ ජනාධිපතිතුමා ඒ පිළිබඳ විශේෂ විමර්ශනයක් සිදුකිරීමට තමා විශේෂඥ කමිටුවක් පත්කර තිබෙන අතර එම පරික්ෂණ කටයුතු අද ඉතා සාර්ථකව සිදුවන බවත් ඒ සඳහා තම අදහස් ඉදිරිපත් කිරීමට ඕනෑම අයෙකුට අවස්ථාව පවතින බවත් කියා සිටියේය."

ශ‍්‍රී ලංකා - සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම මගින් රටට අහිතකර තත්ත්වයක් ඇතිකරවන බවට කමිටුව නිර්දේශ ඉදිරිපත් කළහොත් එම අහිතකර තත්ත්වයන් ඉවත් කිරීමේ වගකීම තමා භාරගන්නා බව පැවසූ ජනාධිපතිවරයා, සීමානිර්ණ ගැටලු නිරවුල් වූ වහා පළාත් සභා මැතිවරණය පවත්වන බවට ප්‍රතිඥාවක් ද දුන්නේය.

පළාත් සභාවල මෙන්ම පාර්ලිමේන්තුවෙන් ද මනාප ජන්ද ක්‍රමය ඉවත්කිරීම සිය අරමුණ බවත් ජනාධිපතිවරයා මෙහිදී පවසා තිබේ.

තවත් කියවන්න: