ශ්‍රී ලංකාවේ දරුවන්ට පාසලේදී දඬුවම් දීම සුදුසු ද, නොසුදුසු ද යන්න ගැන විවාදයක්

විවිධ හේතු මත පාසලේදී ශාරීරික දඬුවම් ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිළිබඳ පුවත් විටින් විට අසන්නට ලැබේ. බොහෝ අවස්ථාවල පාසල් දරුවන් ඒ සම්බන්ධයෙන් දෙමාපියන්ට පවා පැවසීමෙන් වැළකෙන්නේ, නිවස තුළදී ද දඬුවමකට ලක්වන්නට සිදුවනු ඇතැයි යන සැකයෙනි.

2018 වසරේ පළමු දෙමස තුළදී පැවැත්වුණු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ළමා හිමිකම් පිළිබඳ කමිටුවේදී, ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය මගින් කෙටුම්පත් කළ, පාසල් තුළ සිදුකරන ශාරීරික දඬුවම් තහනම් කිරීමේ නීති ස්ථාපිත කිරීම ද ඇතුළත් ළමා ආරක්ෂණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය නීතිගත කිරීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් ලිඛිත කරුණු ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකාවට දැනුම්දී තිබේ.

කෙසේ වෙතත්, 2017 වසරේ ජනවාරි සිට මාර්තු දක්වා ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 6 ක තෝරාගත් පාසල් 32 ක් මුල් කරගෙන ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය කරන ලද සංඛ්‍යාත්මක සමීක්ෂණයේ වාර්තාවට අනුව ඊට භාජනය වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් 80.4% ක් ආසන්න පිරිසක් මාස තුනක කාලයක් තුළදී කවර හෝ අන්දමේ කායික දණ්ඩනයකට ලක්වී තිබේ.

පසුගිය ජුලි මාසයේදී පාසල් ශිෂ්‍යයෙකුට පහරදුන් විදුහල්පතිවරයෙකුට කුරුණෑගල මහාධිකරණය වසර 3 ක සිර දඬුවමක් නියම කළේය. ඔහු දීර්ඝ කාලීන පළපුරුද්දක් සහිත පළමු ශ්‍රේණියේ විදුහල්පතිවරයෙකි.

මේ ගැනත් කියවන්න:

දඬුවම් දිය යුතුද? නැත්ද?

කෙසේ වුවද, පාසල් තුළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ශාරීරික දඬුවම් පැමිණවීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික සමාජයේ පවතින්නේ මිශ්‍ර අදහසකි.

මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය පාසල් වයසේ දරුවන් සිටින දෙමාපියන් කීප දෙනෙකුගෙන් කළ විමසීමකදී අපට අසන්නට ලැබුණේ ද මිශ්‍ර ප්‍රතිචාරයකි.

  • "දඬුවම් කරන්න ඕන. එහෙම නොකර හදන්න අමාරුයි නේ?"
  • "දඬුවම් කිව්වහම විවිධ මට්ටමේ දඬුවම් තියෙනවනේ. තුවාල නොවෙන්න වේවැලකින් වගේ පහර දීම ප්‍රශ්නයක් නැහැ."
  • "අපි කුඩා කාලේ විඳපු දඬුවම් නිසා අද අපි නිවැරදි වෙලා තියෙනවා. තිරිසනුන්ට වගේ දරුවන්ට නොසලකා ඒ ඒ අවස්ථාවට අනුව දඬුවම් කිරීමේ වරදක් නැහැ."
  • "මේ රටේ පාසල් දරුවන්ගේ විනය රැක ගැනීමට ගුරුවරුන් දෙන දඬුවම් පිළිබඳව තිබෙන තත්ත්වය ඉතාම නරකයි. අපි කුඩා කාලයේ ගුරුවරුන් දඬුවම් දුන්නේ දරුවා හදා ගැනීමේ චේතනාවෙන්. අද වගේ අතට අහුවෙන එකෙන් නෙවෙයි. අද ගුරුවරු වසර 20 ක් විතර ඈතට ගිහින් කල්පනා කර දඬුවම් කළ යුතුයි. පාසලේ විනය වගේම සාමයත් තියෙන්න ඕන."
  • "තරමක් වැඩුණු දරුවන්ට දඬුවම් කරනවා වෙන්න පුළුවන් නමුත් අවුරුදු 7 ට අඩු දරුවන්ට දඬුවම් නොකළ යුතුයි කියල තමයි මම හිතන්නේ. මොකද සමහර වෙලාවට දරුවට වැරැද්ද තේරෙන්නෙත් නෑ. එයින් වෙන මානසික පීඩනය වැඩියි."
  • "පාසල් ළමයෙක් වරදක් කරනවානම් දඬුවම් දිය යුතුයි. අපේ දෙමව්පියන්ගේ කාලේ ඉඳලා දඬුවම් කළ නිසා තමයි ඒ සමාජය හොඳ වුණේ."
  • "වයස අවුරුදු 15 න් ඉහළ දරුවන්ට ආදරයෙන් කරුණාවෙන් පැහැදිළි කිරීම තුළින් යහ මගට ගන්න පුළුවන් කියන එකයි මම හිතන්නේ."
  • "පාසලෙන් දඬුවම් නොකළොත් එයාල සමාජෙට ගියහමත් වැරදි කරනවා."

කියවන්න:

'හිංසනයට තිත'

කෙසේවුවත් පසුගිය සැප්තැම්බර් 30 වෙනි දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද සහභාගි වූ උත්සවයකදී පාසල් දරුවන්ට සිදුවන ශාරීරික හිංසා අවසන් කිරීමේ ව්‍යාපාරයක අරමුණු එළිදැක්විණි.

මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය එම සංවිධානයේ සභාපතිනිය වූ වෛද්‍ය තුෂ් වික්‍රමනායක වෙතින් කළ විමසීමේදී, "මගේම අවුරුදු 11 ක් වයස දරුවා ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර පාසලකදී දණ්ඩනයට ලක්වුණා. ඊට එරෙහිව කටයුතු කරන්නට යාමේදී ඇතිවූ දුෂ්කරතා හේතුවෙන් සහ එවැනිම දරුවන් පිළිබඳ නිතර දෙවේලේ අහන්නට ලැබෙන නිසා 'ළමා හිංසනයට තිත' සංවිධානය බිහි කළා," යනුවෙන් ඇය ප්‍රකාශ කළාය.

ශ්‍රී ලංකාව තුළ මෙම ගැටලුව "සාමාන්‍යකරණයට" ලක්වී ඇති බැවින් මේ තත්ත්වයෙන් දරුවන් මුදවා ගැනීම පිණිස මෙම සංවිධානය පිහිටුවා ගත් බව ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

දරුවන්ට දඬුවම් කිරීමෙන් සිදුවිය හැකි අනිටු විපාක

Image caption වෛද්‍ය තුෂ් වික්‍රමනායක

ජාතික ළමාරක්ෂණ අධිකාරිය ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 6 ක ඇති පාසල් 32 ක දරුවන් 948 ක් යොදාගෙන කළ සමීක්ෂණයට අනුව ඔවුන්ගෙන් 51% ක් දඬුවම් හේතුවෙන් ශාරීරික දුෂණයට ලක්වී ඇත.

"ශාරීරික දුෂණය කියන්නේ ශාරීරික දඬුවමේ කෙළවර. ඒ කියන්නෙ ශාරීරික දඬුවමෙන් ඒ දරුවාගේ මානසික, කායික සහ අධ්‍යාත්මික වර්ධනයට කරන බලපෑමයි," වෛද්‍ය වික්‍රමනායක ප්‍රකාශ කළාය.

වෛද්‍ය තුෂ් වික්‍රමනායකට අනුව දරුවන්ට දඬුවම් කිරීම හේතුවෙන්;

  1. දරුවාට ශාරීරික තුවාල සිදුවීම,
  2. මානසික පීඩාව - මේ හේතුවෙන් අධ්‍යාපනය හැකියාව අනුව සිදු නොවීම, පෞරුෂ වර්ධනයට හානි වීම, සමාජ ඇසුරෙහි සැලකිය යුතු වෙනස්කම් සිදුවීම වැනි අනිටු ප්‍රතිඵල ඇතිවීම,
  3. ප්‍රචණ්ඩත්වයෙන් ගැටලු විසඳා ගැනීමට නව යොවුන් අවධියේදී පෙළඹීමත් සිදුවිය හැකිය.

"සද්භාවයෙන් වුවද ශාරීරික දඬුවම් නොකළ යුතුය"

ශාරීරික හෝ මානසික දඬුවමකින් තොරව ළමයාගේ ආකල්ප සංවර්ධනය තුළින් යහපත් පුරවැසියෙකු බිහි කිරීමේ අරමුණ සහිතව පාසල් දරුවන්ට සිදුවන ශාරීරික හෝ මානසික දඬුවම් පැනවීම් නවතාලීමට අවශ්‍ය චක්‍රලේඛ බොහෝ කලකට පෙර නිකුත්කර තිබෙන බව මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කළ විමසීමේදී එහි ජාතික පාසල් අධ්‍යක්‍ෂ ජයන්ත වික්‍රමනායක පැවසීය.

අධ්‍යාපන අමාත්‍යාංශය 'පාසල තුළ විනය ආරක්‍ෂා කිරීම' යන මැයෙන් මේ සම්බන්ධයෙන් චක්‍රලේඛනයක් 2005 වසරේ දී නිකුත් කරන ලද අතර 'දරුවා තුළ චර්යාත්මක වෙනසක් සිදුකිරීමේ චේතනාවෙන්, සද්භාවයෙන් වුව ද ශාරීරික දඬුවම් නොකළ යුතු ය,' යනුවෙන් එහි සඳහන් වේ.

එහෙත් තවමත් පාසල් දරුවන්ට සිදුවන ශාරීරික හා මානසික හිංසා පිළිබඳ පැමිණිලි ලැබෙන බව ජාතික පාසල් අධ්‍යක්ෂකවරයා තහවුරු කළේ ය.

"එවැනි ගුරුවරුන්ට එරෙහිව අපි විනයානුකූල පියවර අරගෙන තිබෙනවා. ඊට අමතරව මේ තත්ත්වය අවම කර ගැනීමට සමස්ත පාසල් ප්‍රජාව සහ දෙමාපියන් දැනුවත් කරනවා."

පාසල් පද්ධතියේ විනය අනුව "ස්වයං හැඩගැසීමක්" සිසුන්ගේ පැත්තෙන් සිදුවන්නේ නම් මෙවැනි තත්ත්වයන් වලක්වා ගත හැකිව තිබෙන බව ජාතික පාසල් අධ්‍යක්ෂකවරයා පවසයි.

'ශාරීරික දඬුවම් දීමකින් තොරව විනය පවත්වාගෙන යා නොහැකි නම් එයින් පිළිබිඹු කරන්නේ ගුරුවරයාගේ අදක්ෂ භාවය බව' අධ්‍යාපන අමාත්‍යාංශය 2005 වසරේ නිකුත් කළ 'පාසල තුළ විනය ආරක්‍ෂා කිරීම' චක්‍රලේඛයේ සඳහන් කර තිබේ.

මෙවැනි අවස්ථා වලකා ගැනීම සඳහා පහත දැක්වෙන විකල්ප ක්‍රියා මාර්ග ද එම චක්‍රලේඛය මගින් යෝජනා කරනු ලැබ තිබේ.

  1. විනය විරෝධී ක්‍රියාවන්හි යෙදීමට ඇති ඉඩකඩ අවම කිරීම පිණිස පාසල් ක්‍රියාකාරීත්වය සහ විෂය සමගාමී කටයුතු මනාව සංවිධානය කිරීම.
  2. විනය නීති පිළිබඳ දැනුවත් කිරීම සහ යහපත් ක්‍රියා ප්‍රතිපෝෂණය කිරීම.
  3. වැරදි ක්‍රියාවලට අනුබල නොදීම හෝ අනුමත නොකිරීම.
  4. විනයානුකුලව හැසිරීමේ වැදගත්කම අවබෝධ කර දීම, ආදර්ශමත් වීම සහ නිසි මාර්ගෝපදේශනය ලබාදීම.
  5. කළ වරද අවබෝධ කර දීම.
  6. තදබල විනය විරෝධී කටයුත්තකදී ශාරීරික දඬුවම් දීම වෙනුවට අවවාද කිරීම හා දෙමාපියන්ට හෝ භාරකරුවන්ට දැනුම් දීම.
  7. වරද කළ ශිෂ්‍යයා හෝ ශිෂ්‍යාව භුක්ති විඳින වරප්‍රසාද සීමා කිරීම හෝ අත්හිටුවීම (පංති නායක/ශිෂ්‍ය නායක වැනි)
  8. බරපතළ අවස්ථාවකදී දෙමාපියන්ට දන්වා පංති තහනමකට ලක් කිරීම

සබැඳි පුවත්:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර