පිදුරංගල නොමනා ඡායාරූප පළ කළ තිදෙනා තවදුරටත් රිමාන්ඩ්

Image copyright Sri Lanka Police

පිදුරංගල ගල මතදී නොමනා ඡායාරූප ගෙන සමාජ වෙබ් අඩවිවල පළ කිරීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි තරුණයින් තිදෙනා අද (03) යළිත් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රකාශිකාවක බීබීසී සිංහල සේවයට පැවසුවේ, එම තරුණියන් තිදෙනා ලබන 10 වන දා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට දඹුල්ල මහේස්ත්‍රාත් කෝසල බණ්ඩාර ඉලංගසිංහ මහතා අද නියෝග කළ බවය.

ගලේවෙල පදිංචි එම තරුණයින් තිදෙනා අත්අඩංගුවට ගැනුණේ, සැප්තැම්බර් මස 26 වනදාය.

මෙම තරුණයින් සැප්තැම්බර් මස 27 වන දා දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර එහිදී ඔක්තෝබර් 03 වන දා (අද) තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

සැකකරුවන් සම්බන්ධයෙන් පිදුරංගල සීගිරි රජමහා විහාරස්ථානයේ දායක සභාවේ සාමාජිකයෙකු සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පැමිණිලි දෙකක් ඉදිරිපත් කර ඇති බව සීගිරිය පොලිස් ස්ථානාධිපතිවරයා බීබීසී සිංහල සේවයට පැවසීය.

1983 අංක 22 දරන අසභ්‍ය ප්‍රකාශන වැළැක්වීමේ සංශෝධන පනත හා පොලිස් අඥා පනතට අනුව ඔවුන්ට නඩු පවරා ඇති බව පොලීසිය පවසයි.

කෙසේ වෙතත්, පිදුරංගල පෞරාණික පූජා භූමියට පැමිණ අඩනිරුවතින් ඡායාරූප ගත් තරුණයන්ට බුද්ධ පුත්‍රයෙකු වශයෙන් සමාව දීමට තමන් වහන්සේ සූදානම් බව පිදුරංගල සීගිරි රජමහා විහාරස්ථානයේ භාරකාර ආචාර්ය දානියගම ආනන්ද හිමියෝ බීබීසී සිංහල සේවයට පැවසීය.

මේ තොරතුරුද කියවන්න: