'බලධරයන් නොබැලූ' නව නිපැයුම කඩා ඉනිමගක් සෑදු ශ්‍රී ලංකාවේ නිපැයුම්කරුවා

Image caption "මේක පරීක්ෂණ මට්ටමින් හෝ භාර ගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කළේ නැහැ. මම ගේට්ටුවේ බැරියර් දෙක කපාගෙන ඇවිත් ඒකෙන් ගෙදරට ඉනි මගක් හදා ගත්තා. මොකද ඒක ඊට වඩා ප්‍රයෝජනවත්නේ. වැහිපීල්ල හරි සුද්ද කර ගන්න පුළුවන්,"

"ශ්‍රී ලංකාවේ දේශපාලනඥයෝ සහ නිලධාරීන් නව නිපැයුම්කරුවන් දකින්නේ තර්ජනයක් විදිහට. මොකද නව නිපැයුම් සඳහා ප්‍රමිති සහතික ලබා දී ඒ නව නිපැයුම් ලංකාවේ නිෂ්පාදනය කරන්න පටන් ගත්තොත් පිටරටින් ඒවා ගෙන්වන්න බැරි වෙනවා. පිටරටින් ඒවා ගෙන්න බැරි වුණා ම කොමිස් මුදල් ලැබෙන්නේ නැහැ,"

ඉහත දක්වා ඇත්තේ ලාංකික නව නිපැයුම්කරුවෙකු පළ කළ අදහසකි.

වසර තිස් පහකට ආසන්න කාලයක් රජයේ වෛද්‍යවරයෙකු වශයෙන් සේවය කර ඇති ඔහු ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශ්‍රාමික ලුතිනන් කමාන්ඩර්වරයෙකි.

එල්ටීටීඊ සංවිධානය සමග යුද්ධ ගැටුම් පැවති වකවානුවේදී ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් මිනිසුන් රහිත ස්වයංක්‍රීය බෝට්ටුවක් නිර්මාණය කරනු ලැබුවේ ද මේ නව නිපැයුම්කරු විසිනි.

ඔහු නමින් සරත් විමලසූරිය.

අලි මිනිස් ජීවිත

Image copyright Getty Images
Image caption දුම්රියේ ගැටී මරණයට පත් අලි පැටවෙක්

පසුගිය මාස කීපය ඇතුළත දුම්රියේ ගැටී වන අලි දස දෙනෙකුට අධික සංඛ්‍යාවක් මරණයට පත්ව ඇති අතර වන අලි දුම්රියේ ගැටීමෙන් වැළක්වීම සඳහා තමන් අලුතින් උපාංගයක් නිපදවා ඇති බව වෛද්‍ය සරත් විමලසූරිය පවසයි.

ශ්‍රී ලංකාවේ පවතින ඇතැම් ගැටලුවලට පිළියම් යෙදීම සඳහා තමා වැනි නිපැයුම්කරුවන් විසින් නව නිර්මාණ බිහි කරනු ලැබුව ද ඒවා ප්‍රයෝගිකව ක්‍රියාත්මක කිරීමට හෝ දේශීය වෙළෙඳපොළට හඳුන්වා දීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් නොමැති බවට ඔහු චෝදනා කරයි.

"මේ දේශපාලනඥයෝ, ඉහළ නිලධාරීන් කැමති ලොකු ප්‍රොජෙක්ට්වලට. දේශපාලනඥයෙක්, නිලධාරියෙක් තමන්ගේ පුටුවේ වාඩි වුණා ම හිතන පළවෙනි ම දේ තමයි මේ ආයතනයට මොනව ද මිලදී ගන්නේ කියලා. ඒ මුදල් එන මාර්ගය ඔවුන් විසින් හදා ගෙන තිබෙන්නේ,"

දේශීය නිපයුම්කරුවන් දිරිමත් කර ඔවුන්ගේ නිපැයුම් මිලදී ගන්නවා වෙනුවට අධික පිරිවැයක් දරා විදේශීය නිපැයුම් මෙරට ආයතන වෙත ඇණවුම් කිරීමට පාලකයන් කටයුතු කරන්නේ එබැවින් යයි වෛද්‍ය සරත් විමලසූරිය කියා සිටියේ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමිනි.

ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම නිසා අහිමි වන අලි මිනිස් ජීවිත ප්‍රමාණය සුළුපටු නොවේ.

එකී ගැටලුවට පිළියමක් වශයෙන් වෛද්‍ය විමලසූරිය විසින් විදුලි වැට එනර්ජයිසරයක් නිර්මාණය කරනු ලැබ ඇත. සුර්යාලෝකයෙන් ආරෝපණය කළ හැකි වන සේ නිර්මාණය කර ඇති එනර්ජයිසරය මගින් ආරක්ෂක වැටට විදුලිය සැපයෙන අතර තමන් එවැනි එනර්ජිසර 480 ක් පමණ රටපුරා වෙසෙන ගොවීන් වෙත සපයා ඇති බව වෛද්‍ය විමලසූරිය පවසයි.

"මේ සඳහා විදුලි සබඳතා අවශ්‍ය වන්නේ නැහැ. වී ටික බොන එක, වගාව පාළු කරන එක, ජීවිත හානි ඉන් වැළකී තිබෙනවා. ගල්ගමුවේ පමණක් එවැනි පුද්ගලික විදුලි වැට 178 ක් මම ලබා දී තිබෙනවා,"

Image copyright Facebook
Image caption ශ්‍රී ලාංකික නව නිපැයුම්කරුවෙකු පිළිබඳ සඳහන් කරමින් සමාජ ජාල තුළ පළ වූ ඡායාරූපයක්

දැනට චීනයෙන් ගෙන්වනු ලබන එනර්ජයිසරයක් සඳහා රජය රුපියල් දෙලක්ෂ අසූදහසක් පමණ වැය කරන බව කී ඔහු, තමන්ට ඒ සඳහා වැය වන්නේ රුපියල් හැත්තෑ දහසකට අඩු මුදලක් බව පෙන්වා දෙයි.

"නමුත් ඉන්ටර්නෙට් එකට ගිහින් ඒ චයිනීස් මොඩ්ල් නම්බර් එක ගහලා බැලුව ම වෙළෙඳපොළ අගය පෙන්වන්නේ, රුපියල් එක් ලක්ෂ විසිදාහක් පමණ. එතකොට හිතාගන්න පුළුවන්නේ මොකක් ද මේ රටේ පවතින ක්‍රමය කියලා,"

ශ්‍රී ලංකාව තුළ විදුලි වැට එනර්ජයිසරයක් නිර්මාණය කළ ද එය වෙළෙඳපොළට හඳුන්වා දීමට අවශ්‍ය ප්‍රමිති සහතිකය ලබා ගැනීමට ආයතනයක් නොමැති බවත් වෛද්‍ය සරත් විමලසූරිය සඳහන් කරයි.

Image caption මේ සඳහා විදුලි සබඳතා අවශ්‍ය වන්නේ නැහැ. වී ටික බොන එක, වගාව පාලු කරන එක, ජීවිත හානි ඉන් වැළකී තිබෙනවා,"

ස්වයංක්‍රීය රේල් ගේට්ටුව ඔහු විසින් නිර්මාණය කරනු ලැබ ඇති තවත් නව නිර්මාණයකි.

2008 වසරේ පමණ නිර්මාණය කළ එම රේල් ගේට්ටුව පරීක්ෂා කර බැලීමටවත් බලධාරීන් උනන්දු නොවූ බව කී වෛද්‍යවරයා, "මම එය වවුනියාවේදී පරීක්ෂා කර බැලුවා. ඒක ඉතා හොඳින් වැඩ කළත් දුම්රිය දෙපාර්තමේන්තුව ඒ සඳහා මැදිහත් වීමක් කළේ නැහැ," යනුවෙන් සඳහන් කළේය.

"මේක පරීක්ෂණ මට්ටමින් හෝ භාර ගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කළේ නැහැ. මම ගේට්ටුවේ බැරියර් දෙක කපාගෙන ඇවිත් ඒකෙන් ගෙදරට ඉනිමගක් හදා ගත්තා. මොකද ඒක ඊට වඩා ප්‍රයෝජනවත්නේ. වැහිපීල්ල හරි සුද්ද කර ගන්න පුළුවන්,"

වෛද්‍ය විමලසූරිය මුවඟට සිනහවක් නගා ගනිමින් එසේ කියා සිටිය ද ඔහු තුළ ඇත්තේ පසුතැවිල්ලකි.

ලෝකයේ ධනවත් ම පුද්ගලයා ලෙස සැලකෙන ජෙෆ් බෙසෝස් ඇමරිකාවේ ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන අවධියේ තමන්ට ගණිත ගැටලු විසඳා ගැනීමට සහය වූ ශ්‍රී ලාංකිකයෙකු පිළිබඳ මෑතකදී මතකය අවධි කළේය.

"අපිට විසඳන්න ගණිත ගැටලුවක් තිබුණා. ඒක හරි ම දුෂ්කර එකක්. පැය තුනක් විතර මම මගේ තවත් යාළුවෙක් එක්ක ඒක විසඳන්න උත්සහ කළා. ඒත් බැරි වුණා. ඊට පස්සෙ අපි තීරණය කළා යසන්ත හම්බ වෙන්න. එයා ශ්‍රී ලාංකිකයෙක්. එයා තමයි ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයේ හිටිය දක්ෂතම ශිෂ්‍යයා," ජෙෆ් බෙසෝස් පැවසීය.

ජෙෆ් බෙසෝස්ට "ගණං ඉගැන්වූ" යසන්ත රාජකරුණානායක අද වන විට පරිගණක ඉන්ජිනේරු සහ දුරකතන සන්නිවේදන ඉංජිනේරු අංශවල පේටන්ට් බලපත්‍ර 54ක හිමිකරුවෙකි. තවත් පේටන්ට් බලපත්‍ර 40ක් සඳහා ඔහු අයැදුම් කර තිබේ. ඔහු ජීවත් වන්නේ ඇමරිකා එක්සත් ජනපදයේය.

බීබීසී සිංහල වෙත අදහස් පළ කළ කරමින් යසන්ත රාජකරුණානායක කියා සිටියේ ශ්‍රී ලංකාවේ නව නිපැයුම් කරන දක්ෂයින් සිටිය ද ඔවුන්ට ආර්ථිකමය ශක්තියක් ලබා දීම සඳහා නිසි වැඩපිළිවෙළක් අවශ්‍ය බවය.

Image caption වෛද්‍ය සරත් විමලසූරිය විසින් නිර්මාණය කරනු ලබන උපාංග සඳහා අවශ්‍ය මෘදුකාංග සම්බන්ධයෙන් කටයුතු කරන්නේ අචල උත්සුක

නව නිපැයුමක් නිර්මාණය වන්නේ සිතුවිල්ලකිනි, නැතිනම් අදහසකිනි. සිතිවිල්ලක් හෝ අදහසක් මෙවලමක් බවට පත් කර ප්‍රයෝගිකව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික පසුබිම නිර්මාණය කරනු ලබන්නේ ඉන් අනතුරුවය.

ලොව දිශානතිය වෙනතකට යොමු කළ ස්ටීව් ජොබ්ස්, මාක් සකර්බර්ග්, ඊලොන් මස්ක් වැනි නිර්මාණකරුවන් ඉතිහාස ගත වන්නේ, ඔවුන්ගේ නව්‍ය සිතුවිලි යථාර්ථයක් බවට පත් වූ නිසාවෙනි.

ශ්‍රී ලංකාවේ නව නිපැයුම් සිදු කළ නිර්මාණකරුවන් පිළිබඳ සමාජ ජාල සහ මාධ්‍ය ඔස්සේ නිතර අසන්නට ලැබේ.

එවැනි නිර්මාණකරුවන් පිළිබඳ තොරතුරු දැක්වෙන සටහන් සහ ඡායාරූප සමාජ ජාල ඔස්සේ දහස් ගණනින් හුවමාරු වෙති.

නමුත් එසේ නිර්මාණය වන නව නිපැයුම් අතරින් කීයක් නම් පරීක්ෂණාගාර මට්ටමින් ඔබ්බට ගොස් ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළට එක් වී තිබේ ද?

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
ශ්‍රී ලංකාවේ දියණියකගෙන් නව නිපැයුම් දාහතක්: 'ලන්ච් ෂීට්'වලටත් විකල්පයක්

නව නිපැයුම්කරුවන් දිරිමත් කර ඔවුන් විසින් නිර්මාණය කරනු ලබන නව නිපැයුම් වෙළෙඳපොළට හඳුන්වා දීම දක්වා වන ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාව වෛද්‍ය සරත් විමලසූරිය අවධාරණය කරනු ලබන්නේ එබැවිනි.

ශ්‍රී ලංකාව තුළ නිර්මාණය කරනු ලබන කවර හෝ ඉලෙක්ට්‍රොනික උපාංගයක් දේශීය වෙළෙඳපොළ වෙත හඳුන්වා දීම සඳහා අවශ්‍ය ප්‍රමිති සහතිකය ලබා ගැනීමට මෙරට තුළ නිසි ආයතනයක් නොමැති බවත් ඔහු සඳහන් කරයි.

විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යංශය යටතේ ආයතන දහයකට වැඩි සංඛ්‍යාවක් ක්‍රියාත්මක වන අතර සේවය ලබා ගැනීම සඳහා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම වෙත ගිය තමන්ට එහි "පුටු හිස්වී ඇති ආකාරය" පමණක් දක්නට ලැබුණු බව වෛද්‍ය විමලසූරිය කියා සිටියේය.

වෛද්‍ය සරත් විමලසූරිය විසින් නිර්මාණය කරනු ලබන උපාංග සඳහා අවශ්‍ය මෘදුකාංග සම්බන්ධයෙන් කටයුතු කරන්නේ අචල උත්සුක.

නව නිර්මාණයක් වෙළෙඳපොළට හඳුන්වා දීමට අවශ්‍ය පේටන්ට් බලපත්‍ර, තත්ත්ව සහතික වැනි නෛතික රාමුව සකසා ගැනීම සඳහා ශ්‍රී ලංකාව තුළ කාර්යක්ෂම වැඩපිළිවෙලක් නොමැති බව අචල උත්සුකගේ අදහසය.

"චීනය, ඇමරිකාව නැතිනම් යුරෝපා රටවල් ගත්විට තමන්ගේ අදහස නිර්මාණයක් හෝ සේවාවක් බවට පෙරලිලා වෙළෙඳපොළට ඒමට ගතවන කාලය අඩුයි. නමුත් ලංකාවේ එහෙම වෙන්නේ නැති තත්ත්වයක් තිබෙන්නේ,"

"පසුගිය වසර පනහක කාලය තුළ නිෂ්පාදනය වූ 'මේඩ් ඉන් ශ්‍රී ලංකා' (ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ලද) උපාංග මොනවද ඔබ දැක තිබෙන්නේ?" යනුවෙන් අචල ප්‍රශ්න කරයි.

"මම දැකලා නැහැ නමුත් අහලා තියෙනවා 'යුනික් රේඩියෝ' කියල එකක් ඇවිත් තියෙනවා කියලා," යනුවෙන් කී මෘදුකාංග ඉංජිනේරු අචල උත්සුක ශ්‍රී ලංකාවේ ඉලෙක්ට්‍රොනික භාණ්ඩ වෙළෙඳපොළ තුළ ඒකාධිකාරිය පවතින්නේ විදෙස් සන්නාමවලට පමණක් බව කියා සිටී.

නමුත් සිය නිර්මාණයක් වෙළෙඳපොළට හඳුන්වා දීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කර ගනුවස් අදාළ ආයතන වෙත ගිය තමන්ට කිසිදු සහයෝගයක් නොලැබෙන තත්ත්වයක් දක්නට ඇති බව ඔහු පවසයි.

"මේඩ් ඉන් ශ්‍රී ලංකා කිව්වොත් මේඩ් ඉන් ජැපෑන්, මේඩ් ඉන් ජර්මන් නැතිනම් මේඩ් ඉන් යුඑස්ඒ කියන තත්ත්වේ නැහැ. හැබැයි 1980 ආපු ටොයෝටා කොරොල්ලා එක ගත්තොත් සෑහෙන්න වැරදි ගොඩක් තිබෙනවා. අද වෙද්දී සෑහෙන දුරක් ඇවිත් අප්ග්‍රේඩ් වෙලා ඒ වැරදි නිවැරදි වෙලා තිබෙනවා,"

"ඒ රටවල අවස්ථාවක් දීලා තිබෙනවා වැරදි, වැරදි, නිවැරදි වීම සඳහා ගමනක් යන්න. අපේ රටේ එහෙම දෙන්නේ නැහැ. පටන් ගන්නකොටම අපිව ඉවර කරන තත්ත්වයක් අපේ ආයතනවල තිබෙනවා,"

"නමුත් ඉන්දියාවේ එහෙම නැහැ," යනුවෙන් කී අචල දේශීය වෙළෙඳපොළට නිර්මාණයක් ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය ප්‍රමිති සහතිකය ලබා දීමට එරට ආයතන කැපවී කටයුතු කරන බව සඳහන් කරයි.

"ඒ රටවල ආයතන කියනවා ඔබ මේ, මේ දේ නිවැරදි කළ යුතුයි කියලා. එතකොට ඉදිරි වසර දහයේදී ඒ උපකරණය ලෝකයත් එක්ක තරග කරන්න පුළුවන් සර්ව සම්පුර්ණ තත්ත්වයට පත් වෙනවා,"

"අපි අර දූපත් මානසිකත්වයේ ඉන්නවා කියන එකේ ප්‍රයෝගික තැනක් මේ. 'මේඩ් ඉන් ශ්‍රී ලංකා' කියලා අපිට දෙයක් දෙන්න බැරි අපි මේ වර්ග කිලෝමීටර හැටපන්දහක පුංචි තැනක ඉන්නවා කියලා සිතන නිසයි. නමුත් මම හිතන්නේ අපේ පරිකල්පනය මේ මහද්වීප ඔක්කොටම වඩා විශාලයි,"

ශ්‍රී ලංකාවේ පවතින "තහංචි සහ තාඩනපීඩන" හේතුවෙන් රටේ සිටින "හොඳම ඔළු" මෙරට හැර තම හැකියාවන්ට තැනක් ලබා දෙන රටවල පදිංචියට ගොස් ඇති බව අචල උත්සුක වැඩිදුරටත් සඳහන් කළේය.

"මේ ආයතනවලට ගිහින් වැඩක් කර ගන්න බැරුව ගෙදර ආපු මගේ ගුරුතුමා සරත් විමලසූරිය සර් ෆේස්බුක් එකේ දානවා 'දරුවනි මේ රටේ ඉන්න එපා උඹලා පලයල්ලා' කියලා,"

නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ ප්‍රතිචාරය

යම් කිසි නව නිපැයුමක් සම්බන්ධයෙන් පේටන්ට් බලපත්‍රය ලබා ගැනීම සඳහා ඕනෑම රටක සාමාන්‍යයෙන් වසර දෙකක පමණ කාලයක් ගත වන බව ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම පවසයි.

ශ්‍රී ලංකාව තුළ පේටන්ට් බලපත්‍ර නිකුත් කරනු ලබන්නේ ජාතික බුද්ධිමය දේපල කාර්යාලය(NIPO) විසිනි.

"ලංකාව පැත්තෙන් බැලුවොත් පේටන්ට් බලපත්‍රයක් සඳහා අයදුම් කර, ඒ කියන්නේ අපේක්ෂිත පේටන්ට් බලපත්‍ර හිමි නව නිපැයුම්කරුවන් ගොඩක් ඉන්නවා. ඊට හේතුව තමයි ජාතික බුද්ධිමය දේපල කාර්යාලය හරහා පේටන්ට් බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කිරීමේදී එහි පවතින ප්‍රමාදය," නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස් ආචාර්ය මහේෂ් එදිරිසිංහ සඳහන් කළේය.

ජාතික බුද්ධිමය දේපල කාර්යාලයේ පේටන්ට් බලපත්‍ර ලබා දෙන අංශයේ පවතින පුරප්පාඩු ඉහත කී ප්‍රමාදයට හේතුවී ඇතැයි යන්න සිය අදහස බව ඔහු කියා සිටියේ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමිනි.

එසේම පේටන්ට් බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කිරීමේදී ඉල්ලුම් පත්‍රයේ පවතින අඩුපාඩු ද ඉහත කී ප්‍රමාදයට හේතුවන බව ආචාර්ය එදිරිසිංහ පෙන්වා දෙයි.

" ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමට ඇවිල්ලා අප සමග එක් වී පේටන්ට් බලපත්‍රය සඳහා වන අයදුම්පත පුරවන්න කියලා අපි ගොඩක් වෙලාවට කියනවා. නමුත් අපේ ආයතනයෙත් පේටන්ට් සම්බන්ධයෙන් කටයුතු කරන්න ඉන්නේ සීමිත පිරිසක්,"

ජාතික බුද්ධිමය දේපල කාර්යාලයේ පේටන්ට් බලපත්‍ර ලබා දෙන අංශයේ පවතින්නේ යයි පැවසෙන ප්‍රමාදය පිළිබඳ බීබීසී සිංහල සේවය ඔක්තෝබර් 25 වෙනිදා විමසීමක් කළ අතර ඒ පිළිබඳ ලිඛිතව විමසා විද්‍යුත් තැපෑලක් යොමු කරන ලෙස එම ආයතනය එහිදී ඉල්ලා සිටියේය.

බීබීසී සිංහල සේවය අදාළ තොරතුරු ලබා දෙන ලෙස ඉල්ලා එදිනම ඒ සම්බන්ධයෙන් ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කළ අතර ඔක්තෝබර් 30 වෙනිදාට පෙර අදාළ තොරතුරු ලබා දීමට කටයුතු කරන බව ජාතික බුද්ධිමය දේපල කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ගීතාංජලී ආර්. රණවක පැවසීය.

ඔක්තෝබර් 30 වෙනිදා අදාළ තොරතුරු අප වෙත නොලැබුණු අතර ඒ සම්බන්ධයෙන් සඳුදා (නොවැ 05) එම කාර්යාලයෙන් කළ විමසීමකදී එහි නිලධාරිනියක් කියා සිටියේ තොරතුරු ලබා දීම සඳහා කර්මාන්ත සහ වාණිජ කටයුතු අමාත්‍යංශයෙන් මෙතෙක් අවසර ලැබී නොමැති බවය.

නව නිපැයුම් 200 අධික සංඛ්‍යාවක් සඳහා පේටන්ට් බලපත්‍ර ලබා ගැනීමට පසුගිය වසර දෙක හමාරක පමණ කාලය තුළ සිය ආයතනයේ සහාය හිමිව ඇති බවත් නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස්වරයා කියා සිටියේය.

"මීට කලින් එහෙම තත්ත්වයක් තිබුනේ නැහැ. නමුත් දැන් යම් ප්‍රගතියක් ලබා තිබෙනවා,"

ඉලෙක්ට්‍රෝනික උපාංග සඳහා ප්‍රමිති සහතික

ඉලෙක්ට්‍රෝනික උපාංග සඳහා ප්‍රමිති සහතික නිකුත් කිරීමේදී නවීන ම තාක්ෂණයට අදාළ කරුණකදී ශ්‍රී ලංකාව තරමක් පිටුපසින් සිටින බව කී නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස්වරයා, "විද්‍යා සහ පර්යේෂණ අමාත්‍යංශයෙන් ඒ සඳහා කඩිනම් වැඩපිළිවෙලක් දියත් කරගෙන යනවා." යනුවෙන් සඳහන් කළේය.

මාධ්‍ය ඔස්සේ දක්නට ලැබෙන නව නිපැයුම් වසර කීපයකට පසු වෙළෙඳපොළේ දක්නට නොලැබෙන්නේ ඇයි?

නව නිපැයුමක් නිර්මාණය කර බුද්ධිමය දේපල අයිතිය තහවුරු කර ගැනීමට පෙර මාධ්‍ය ඔස්සේ ඒ පිළිබඳ ප්‍රචාරය වුවත් සාමාන්‍යයෙන් වෙළෙඳපොළ භාණ්ඩයක් බවට පවත්වෙනේ එවැනි නිර්මාණ අතරින් 20%-25% අතර ප්‍රමාණයක් බව ආචාර්ය මහේෂ් එදිරිසිංහ පවසයි.

"පළමුව බුද්ධිමය අයිතිය තහවුරු කර ගත යුතුයි. ඕනෑම රටක නව නිපැයුමක් කළ නමුත් වෙළෙඳපොළට යාමේදී එය වෙළෙඳ භාණ්ඩයක් බවට පත් විය යුතුයි. වෙළෙඳපොළ ජයග්‍රහණය කිරීම, කුමන වෙළෙඳපොළටද යන්නේ, තත්ත්ව පාලනය, ගුණාත්මක භාවය, ඇසුරුම්කරණය වැනි ගොඩක් දේවල් ඊට බලපානවා,"

ශ්‍රී ලංකාවේ එම තත්ත්වය මේ වනවිට 1% සිට 5% දක්වා වර්ධනය වී ඇති බව ආචාර්ය එදිරිසිංහ කියා සිටියේය.

2017 වසරේ පාසල් මට්ටමින් ජයග්‍රහණ දිනා ගත් නව නිපැයුම් 34 වෙළෙඳපොළට එක් කිරීම සඳහා වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බවත් නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ලාංකීය නව නිපැයුම්කරුවගේ නිර්මාණයක් වෙළෙඳපොළ භාණ්ඩයක් දක්වා වර්ධනය කළ ද රටේ ජනතාවගේ ආකල්ප ද වෙනස් විය යුතු බව ඔහු පෙන්වා දෙයි.

"ශ්‍රී ලංකාවේ ප්‍රඩක්ට් එකක් මිලදී ගැනීම සම්බන්ධයෙන් ජනතාව දක්වන ආකල්පය. ඒ වගේම රටින් ගෙනත් අඩු මිලට අලෙවි කරන ඇතැම් භාණ්ඩත් සමග අපේ නව නිපැයුම්වලට තරගයක් දෙන්න ආමාරු වීම,"

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්