ශිෂ්‍යත්ව විභාගය අනිවාර්ය නොකිරීමට අධ්‍යාපන ඇමති ගත් තීරණය හරි ද? වැරදි ද?

Image copyright Www.doenets.gov.lk

පහ වසරේ ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටීම සියලු දරුවන්ට අනිවාර්ය කරමින් නිකුත් කර තිබූ චක්‍රලේඛය ඉවත් කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයාට උපදෙස් දී තිබේ.

බීබීසී සිංහල සේවය කළ විමසුමකදී අධ්‍යාපන අමාත්‍යංශයේ පාසල් කටයුතු අංශයේ අධ්‍යක්ෂ කමණි පෙරේරා සඳහන් කළේ, ඒ පිළිබඳව තමන්ට ද දැනුම් දී ඇති බවය.

අධ්‍යාපන අමාත්‍යවරයා මෙම තීරණය ගෙන ඇත්තේ, ශිෂ්‍යත්ව විභාගය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් පත්කරනු ලැබ ඇති සමාලෝචන කමිටුවේ නිර්දේශයන් සැලකිල්ලට ගනිමිනි.

එම කමිටුව අධ්‍යාපනඥයින්, ළමා මනෝවිද්‍යාඥයින්, ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු විද්වතුන් රැසකගෙන් සමන්විත වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

ශිෂ්‍යත්ව විභාගයේ ආරම්භක අරමුණු සහ වර්තමානයේ එය දරුවන් පීඩාවට පත් කරන තරග විභාගයක් බවට පත්වීම පිළිබඳව එම කමිටුව විසින් සාකච්ඡා කරනු ලැබ තිබිණි.

ආරම්භක අරමුණු

පහ වසරේ ශිෂ්‍යත්ව විභාගයේ ආරම්භක අරමුණු අතර ප්‍රමුඛස්ථානය හිමි වූයේ, මූල්‍ය දුෂ්කරතා සහිත දෙමාපියන්ගේ (හෝ භාරකරුවන්ගේ) දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගෙන යාම සඳහා සහනයක් සැලසීමය.

ඊට අමතරව, අඩු පහසුකම් සහිත පාසල්වල ඉගෙනුම ලබන දරුවන්ගේ ද්විතීක අධ්‍යාපන කටයුතු වෙනුවෙන් පහසුකම් සහිත පාසලක් ලබා දීම ද මෙහි අරමුණක් විය.

එහෙත්, ශිෂ්‍යත්ව විභාගය මේ වන විට අතිශය තරගකාරී මට්ටමකට පරිවර්තනය වී ඇති අතර 2018 වසරේ කොළඹ, ගම්පහ සහ කළුතර ඇතුළු දිස්ත්‍රික්ක රැසක කඩඉම් ලකුණු සංඛ්‍යාව වූයේ, 168කි.

Image copyright Www.doenets.gov.lk

ඒ අනුව, කඩඉම් ලකුණු මට්ටමට පැමිණීම සඳහා එක් විෂයයකට ලකුණු 84%ක සාමාන්‍යයක් ලබා ගත යුතුය. එසේ නම්, විෂයයකට ලකුණු 83.5%ක් ලබා ගන්නා දක්ෂ සිසුන්ට ද එම ඉලක්කයට ළඟා විය නොහැකි තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

මෙම තත්ත්වය අනුව පහ වසර ශිෂ්‍යත්ව විභාගය දරුවන්ගේ මනසට අතිශය පීඩනයක් ඇති කරන විභාගයක් බවට විවිධ පාර්ශවවලින් චෝදනා එල්ල වෙයි.

මෙම කරුණු සැලකිල්ලට ගෙන ශිෂ්‍යත්ව විභාගය අනිවාර්ය කරමින් නිකුත් කර තිබූ චක්‍රලේඛය අහෝසි කිරීමට අධ්‍යාපන අමාත්‍යවරයා ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය පැතිකඩ කිහිපයක් ආශ්‍රයෙන් සකස් කළ වාර්තාවකි, මේ.

ජෙෆ් බෙසෝස්ට ගණිතය ඉගැන්වූ යසන්තගේ අත්දැකීම

යසන්ත රාජකරුණානායක යනු ලෝකයේ අංක එකේ ධනවතා වන ඇමසෝන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් බෙසෝස්ට විසඳීමට නොහැකි වූ ගණනක් විසඳූ දක්ෂ ශ්‍රී ලාංකිකයාය.

Image copyright yasantha rajakarunanayake/Facebook
Image caption යසන්ත රාජකරුණානායක

ඔහු ශිෂ්‍යත්ව විභාගය සමත් වූයේ කුමන අරමුණ නිසා ද යන්න බීබීසී සිංහල සේවයට පැහැදිලි කළේ මෙසේය.

"මම මුලින් ම පාසල් ගියේ බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයට. ඒක පෞද්ගලික පාසලක් නිසා මාසෙකට රුපියල් 35ක් පාසල් ගාස්තු ගෙවන්න වුණා. අම්මගේ වැටුප වුණේ රුපියල් 400යි. ඒ නිසා අම්මා කිව්ව මට ශිෂ්‍යත්වය පාස් වෙන්න උත්සහ කරන්න කියල. ඒ, කොළඹ රාජකීය විද්‍යාලයට යන්න පුළුවන් වෙන නිසා. රාජකීය විද්‍යාලය රජයේ පාසලක්. ඒ නිසා මම කොහොම හරි ශිෂ්‍යත්වය සමත් වෙලා රාජකීය විද්‍යාලයට ඇතුළත් වුණා. අම්මා ගොඩක් සතුටු වුණා රුපියල් 35ක් ඉතුරු වුණ එක ගැන."

එහෙත්, ශිෂ්‍යත්ව විභාගයේ වත්මන් තත්ත්වය ගැන යසන්ත දරන්නේ මෙවැනි අදහසකි,

"දැන් ශිෂ්‍යත්ව විභාගය නිසා ළමයින්ට එල්ල වෙන පීඩනය ගොඩක් වැඩියි. මේකෙ තියෙන තරගකාරීබව අඩු කරන්න ඕන."

ළමා මනසට වන හානි මොනවා ද?

ශිෂ්‍යත්ව විභාගය ළමා මනසට දැරිය නොහැකි පීඩනයක් එල්ල කරන බව ළමා මනෝ වෛද්‍යවරුන්ගේ අදහස වී තිබේ.

කිරිබත්ගොඩ මූලික රෝහලේ ළමා මනෝ වෛද්‍ය විශේෂඥ එන්. කුමානායක බීබීසී සිංහල සේවයට පැවසුවේ, ශිෂ්‍යත්ව විභාගය ළමුන්ගේ මානසික මෙන් ම ශාරීරික සෞඛ්‍යයට ද බලපෑම් එල්ල වන බවය.

"ගොඩක් දරුවො උදේ ම පාසල් ගියාට පස්සෙ උපකාරක පන්ති කිහිපයකට ගිහින් ගෙදරට එන්නෙ රූ වෙලා. ඒ ළමයින්ට සෙල්ලම් කරන්න, හොඳින් ආහාර ගන්න කාලයක් නැහැ. ඒ වගේ ම මනසට විවේකයක් නැහැ."

මෙවැනි පීඩනයක් සහිත පරිසරයක ගොඩ නැගෙන දරුවන් පෞරුෂ ගැටලු රැසකට මුහුණ දෙන බව වෛද්‍ය එන්. කුමානායක පැවසීය.

"මේ ළමයි සෙල්ලම් කරන්න ඕන ම කාලෙ සෙල්ලම් කරන්නෙ නැහැ. වෙනත් අය සමග සමාජානුයෝජනය වෙන්නෙ නැහැ. අවසානයේ පෞරුෂත්ව හීන වූ හෝ ප්‍රචණ්ඩකාරී පෞරුෂත්වයක් හිමි පුද්ගලයින් බවට පත් වෙනවා. ඒ නිසා මම කැමතියි මේ භයානක විභාගය අනිවාර්ය නොකිරීමට ගත් තීන්දුව ගැන."

Image copyright N. Kumanayake
Image caption මනෝ වෛද්‍ය විශේෂඥ එන්. කුමානායක

කෙසේ වෙතත්, ඇතැම් දෙමාපියන් මැසිවිලි නගන්නේ සිය දරුවන්ට සංවර්ධිත පාසලකට ඇතුළු වීම සඳහා අවස්ථාව හිමි වන ශිෂ්‍යත්ව විභාගය නතර කිරීම නොකළ යුතු බවය.

එම ගැටලුවට සුදුසු විසඳුමක් උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය මොහාන් ලාල් ග්‍රේරු යෝජනා කරයි.

'හොඳ පාසල්' තේරීම අවම කරන්නේ කෙසේ ද?

ශිෂ්‍යත්ව විභාගයට ඇති තරගකාරීත්වය අවම කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ඉලක්ක කර පාසල් සංවර්ධනය කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය ආචාර්ය මොහාන් ලාල් ග්‍රේරු බීබීසී සිංහල සේවයට පැවසීය.

ඔහු සඳහන් කළේ, ශ්‍රී ලංකාව තුළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 338ක් ඇති අතර එක් කොට්ඨාසයකට අයත් පාසල් තුනක් අගනුවර පාසල් මට්ටමට ද්විතීක පාසල් ලෙස සංවර්ධනය කළ යුතු බවය. ඒ අනුව අගනුවර පාසල් වෙත දරුවන් ඇතුළත් කිරීමට දෙමාපියන් ගන්නා උත්සහය අඩු වනු ඇතැයි ඔහු පෙන්වා දුන්නේය.

"කොළඹ පාසල්වලට දරුවන් ඇතුළත් කරන එකෙන් ඒ දරුවන්ගේ ළමා කාලය තවත් සීමා වෙනවා. එක්කෝ ඒ ළමයි බෝඩිම්වල නතර කරනවා, එහෙම නැත්නම් කිලෝමීටර් 30ක් 40ක් දුර පාසල්වලට යන්න පැය ගණනක් ගත කරනවා. ළමයි අවදි වෙන්නේ, පාන්දර 4ට විතර. ඒකෙන් ළමයින් කොපමණ දුක් විඳිනව ද කියල දෙමාපියන්ට තේරෙන්නෙ නැහැ."

Image copyright Dr. MOhan Lal Grero/Facebook
Image caption උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු

ශිෂ්‍යත්වය සමත් දරුවන්ගේ උසස් අධ්‍යාපනය

මේ වන විට උසස් අධ්‍යාපන අමාත්‍යංශය සිදු කළ සමීක්ෂණ අනුව හෙළි වී ඇති කරුණු අනුව විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමට සුදුසුකම් ලබන්නේ, ශිෂ්‍යත්වය සමත් සිසුන්ගෙන් 30%ක පමණ අඩු ප්‍රතිශතයකි. ඇතැම් වසරවල එය 12%ක් වැනි අවම අගයක් ගෙන තිබේ.

උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු සඳහන් කළේ, "මේ සමීක්ෂණ වාර්තාවලින් තේරුම් ගන්න පුළුවන් ශිෂ්‍යත්වය නිසා දරුවන්ගේ ඉදිරි අධ්‍යාපනයට සැලකිය යුතු රුකුලක් නොලැබෙන බව," යනුවෙනි.

"ඒ තත්ත්වය අනුව ශිෂ්‍යත්වය අනිවාර්ය නොකිරීමට ගෙන ඇති තීරණය ඉතා ම හොඳ එකක් බව මම පිළිගන්නවා," රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Image copyright Www.doenets.gov.lk

මේ අතර අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ, ජනප්‍රිය පාසල් වෙත පවතින ඉල්ලුම අවම කිරීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවය.

ඒ අනුව, එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ඇති පාසල් සංවර්ධනය කර පහසුකම් වැඩි කිරීමට අපේක්ෂිත බව ද අමාත්‍යාංශය සඳහන් කරයි.