කැබිනට් මණ්ඩලය විසුරුවයි: රනිල් තානාපතිවරුන් හමුවෙයි

Image caption එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාධ්‍ය හමුව

පාර්ලිමේන්තු සැසිය අත්හිටුවා ඇති ඉදිරි සති දෙකක කාලය තුළ එක්සත් ජනතා නිදහස් සන්ධානය පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි කර ගැනීමට ක්‍රියා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, ඉරිදා (ඔක් 27) කොළඹ පදනම් ආයතනයේදී පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාධ්‍ය හමුවකදීය.

මෙම මාධ්‍ය හමුවට මහාචාර්ය ජී.එල්. පීරිස්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, විමල් වීරවංශ, ඩලස් අලහප්පෙරුම, ආරුමුගම් තොණ්ඩමන් මෙන් ම එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ‍ ද සහභාගී වූහ.

එහිදී මහාචාර්ය ජී.එල්. පීරිස් පැවසුවේ, ජනාධිපතිවරයා සිදු කළ පත් කිරීම ව්‍යවස්ථා විරෝධී බවට චෝදනා කළ ද, 42/4 වගන්තිය යටතේ එය ව්‍යවස්ථානුකූලව සිදු කර ඇති බවය.

එක්සත් ජනතා නිදහස් සන්ධානය සම්මුති ආණ්ඩුවෙන් ඉවත් වීමත් සමග කැබිනට් මණ්ඩලයේ සංයුතිය නොමැති වීමෙන් කැබිනට් මණ්ඩලය අහෝසි වන අතර ඒ හේතුවෙන් අගමැති ධූරය ද අහෝසි වන බව ජී.එල්. පීරිස් සඳහන් කළේය.

අයවැය කල් යයි

මෙම අර්බුදකාරී තත්ත්වය හමුවේ නොවැම්බර් 5 වෙනිදා අංග සම්පූර්ණ අයවැයක් ඉදිරිපත් කළ නොහැකි හෙයින් අතුරු සම්මත ගිණුමක් සම්මත කොට මාස 3කට ආණ්ඩුව පවත්වාගෙන යාම සඳහා එමගින් අවශ්‍ය මුදල් ලබා ගැනීමට බලාපොරොත්තු වන බව මහාචාර්ය ජී.එල්. පීරිස් එහිදී පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙකු වන ආනන්ද අලුත්ගමගේ මේ වන විට එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක්ව සිටින අතර ඔහු පැවසුවේ, එක්සත් ජාතික පක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් 20 දෙනෙකු පමණ සන්ධානය සමග එක්වීමට සූදානමින් සිටින බවය.

පාර්ලිමේන්තුව

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නියමය අනුව සෙනසුරාදා (27) පාර්ලිමේන්තු සැසිය අත්හිටවනු ලැබීය.

මේ අතර, නොවැම්බර් 16 වෙනිදා නැවත පාර්ලිමේන්තුව ආරම්භ වන බව කථානායක කාර්යාලය ප්‍රකාශ කළේය.

කොළඹ, පදනම් ආයතනයේදී පැවති මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන පැවසුවේ, "පාර්ලිමේන්තුවේ බහුතර බලය තහවුරු කර ගන්නා තෙක් සති දෙකක කාලයක් සඳහා සැසිය අත්හිටුවීමට ක්‍රියා කළ" බවය.

රනිල් වික්‍රමසිංහ

කෙසේ වෙතත්, විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් රනිල් වික්‍රමසිංහ පැවසුවේ, අග්‍රාමාත්‍යවරයා ලෙස ක්‍රියා කිරීමේ පූර්ණ බලය හා හැකියාව තමා සතුව පවතින බවය.

ව්‍යාවස්ථාවට අනුව පාර්ලිමේන්තුවේ බහුතරය ඇති පුද්ගලයාට අග්‍රාමාත්‍යවරයා ලෙස ක්‍රියා කළ හැකි බව කී ඔහු සඳහන් කළේ, ප්‍රජාතන්ත්‍රවාදයට අනුව පාර්ලිමේන්තුවේ බහුතර බලය එක්සත් ජාතික පෙරමුණ සතු බවය.

තනතුරු කිහිපයක වෙනසක්

මේ වන විට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නියමය පරිදි රජයේ තනතුරු කිහිපයක වෙනසක් සිදු කර තිබේ.

ඒ අනුව, රනිල් වික්‍රමසිංහ යටතේ සේවය කළ අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කළ සමන් ඒකනායක අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් ඉවත් කර තිබේ.

ඒ වෙනුවට නව අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස සිරිසේන අමරසේකර පත් කෙරිණි.

මේ අතර, වැඩබලන රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ධුරයට ජනාධිපති අතිරේක ලේකම් නාලක කළුවැව පත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

Image copyright Www.news.lk
Image caption වැඩබලන රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව

රනිල් වික්‍රමසිංහට දැනුම් දීමක්

පස්වරු 4ට පෙර අරලිය ගහ මන්දිරය භාර දී පිටව යන ලෙස රනිල් වික්‍රමසිංහට දැනුම් දී ඇතැයි මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසයි.

මේ අතර, කොළඹදී පැවති මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පැවසුවේ, අරලිය ගහ මන්දිරය භාර දී පිටව නොගියහොත් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවය.

Image caption එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවන් පිරිසක් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සමග

සහය කාට ද?

ශ්‍රී ලංකාවේ සුළුතර පක්ෂවල නායකයින් කිහිප දෙනෙකු මේ වන විට තමන් මෙම දේශපාලනික තත්ත්වය හමුවේ සහය දෙන්නේ කුමන පාර්ශවයට ද යන්න දැනුම් දී තිබේ.

ඒ අනුව, ලංකා කම්කරු කොන්ග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනාගේ සහය මහින්ද රාජපක්ෂට දෙන බව මන්ත්‍රී මුත්තු සිවලිංගම් පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් සඳහන් කළේ, ද්‍රවිඩ ප්‍රගතිශීලී සන්ධානයේ සහය රනිල් වික්‍රමසිංහට ලබා දෙන බවය.

මේ අතර, ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (EPDP) සහය හිමි වන්නේ, මහින්ද රාජපක්ෂටය.

ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ මන්ත්‍රීවරුන් 7 දෙනෙකු පාර්ලිමේන්තුවේ සිටින අතර ඔවුන් රනිල් වික්‍රමසිංහට සහය දෙන බව එම පක්ෂයේ නියෝජ්‍ය ජාතික සංවිධායක ෆයිසාල් කාසිම් පවසයි.

"අපක්ෂපාතීව කටයුතු කරනවා" - කථානායක

Image copyright Www.parliament.lk

මේ අතර, කතානායක කරු ජයසූරිය ද නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ, උද්ගත වී ඇති දේශපාලන ව්‍යාකූලභාවය ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් ව්‍යවස්ථානුකූලව විසඳා ගත හැකි බවය.

තමන් ඒ සම්බන්ධයෙන් අපක්ෂපාතීව සහ නීතියට අනුව කටයුතු කරන බව කථානායකවරයා සිය නිවේදනයෙන් දක්වා තිබේ.

‍රාජ්‍ය ආයතන තුළ ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය කිරීම ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය ඉදිරියේ අපකීර්තියට පත් වීමට හේතු වනු ඇති බව ද එම නිවේදනයේ සඳහන් වේ.

"බල සූදුවට අපි නැහැ" - ජනතා විමුක්ති පෙරමුණ

මේ අතර, ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පැවසුවේ, සිය පක්ෂය පවතින "බල සූදුවට" කිසිසේත් සහය නොදෙන බවය.

ඔහු සඳහන් කළේ, බහුතරය සකසා ගැනීම සඳහා මේ වන විට "නිර්ලජ්ජිත උත්සහයන්" ක්‍රියාත්මක වන බවය.

"පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අද වෙන්දේසියට ඇවිත්. කුණු මාළු විකිණෙන විදියට වෙන්දේසියට දාල තියෙනවා මන්ත්‍රීවරුන්ව"

මේ අතර, පාර්ලිමේන්තුව කල් තැබීම සම්බන්ධයෙන් ද ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක අදහස් දැක්වීය.

"පාර්ලිමේන්තුව කල් තැබීම මොනතරම් මුග්ධ කුමන්ත්‍රණකාරී ක්‍රියාවක් ද කියල මේ රටේ ජනතාව තේරුම් ගත යුතුව තිබෙනවා"

විදෙස් නිවේදන

ශ්‍රී ලංකාවේ උද්ගත වී ඇති තත්ත්වය සම්බන්ධයෙන් අමෙරිකාව සහ යුරෝපා සංගමය නිවේදන නිකුත් කර තිබේ.

අමෙරිකාව පවසා ඇත්තේ, ශ්‍රී ලංකාවේ සිදුවෙමින් පවතින තත්ත්වය පිළිබඳව අවධානයෙන් සිටින බවය.

රටේ ව්‍යවස්ථාවට අනුව මානව හිමිකම් ආරක්ෂා වන පරිදි ක්‍රියා කරන ලෙස සියලු පාර්ශවවලින් ඉල්ලා සිටින බව ද එහි දැක්වේ.

Image copyright STATE_SCA

මේ අතර, යුරෝපා සංගමය පවසන්නේ, සිය සංගමයට අයත් සියලු රටවල ශ්‍රී ලංකාවේ සිටින තානාපතිවරුන් පවතින තත්ත්වය පිළිබඳව සමීපව අවධානයෙන් සිටින බවය.

ප්‍රචණ්ඩත්වයෙන් මිදී ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කරන ලෙස ද යුරෝපා සංගමය ඉල්ලීමක් කර ඇත.

මේ අතර, රනිල් වික්‍රමසිංහ සෙනසුරාදා (27) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී ශ්‍රී ලංකාවේ සිටින විදෙස් තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීය.

මේ අතර, නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ පෙර පැවති අමාත්‍ය මණ්ඩලය විසුරුවා හැරිය බවය.

Image copyright PMD News
Image caption මහින්ද රාජපක්ෂ අගමැති වශයෙන් දිවුරුම් දුන් අවස්ථාව