ඛණිජ තෙල් වැඩ වර්ජනය අවසන්: බෙදා හැරීම අරඹයි

ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තිය සමිති කීපයක් ආරම්භ කර තිබූ වැඩ වර්ජනය අවසන් කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ උපසභාපති කේ. ජී. එස්. ප්‍රේමන්ත ගමගේ බීබීසී සිංහල සේවයට පැවසුවේ, පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුණ රණතුංග අත්අඩංගුවට ගැනීම හේතුවෙන් සිය වැඩ වර්ජනය අවසන් කළ බවය.

ඉරිදා (28) පස්වරුවේ ඛණිජ තෙල් සංස්ථාවේ ඇති වූ නොසන්සුන්තාවයෙන් සිය සාමාජිකයෙකු ජීවිතක්ෂයට පත්වීමට විරෝධය පළ කරමින් එම වැඩ වර්ජනය ආරම්භ කර තිබූ අතර ඔවුන් පවසා තිබුණේ, අර්ජුණ රණතුංග අත්අඩංගුවට ගන්නා තුරු වර්ජනය ක්‍රියාත්මක කරන බවය.

වැඩ වර්ජනය අවසන් කිරීම හේතුවෙන් ඉන්ධන නිකුත් කිරීම පස්වරු 4.45 සිට ආරම්භ කළ බව ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ උපසභාපති කේ. ජී. එස්. ප්‍රේමන්ත ගමගේ පැවසීය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, අඟහරුවාදා (30) වන විට ඉන්ධන බෙදා හැරීම යථා තත්ත්වයට පත් වනු ඇති බවය.

ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ දෙමටගොඩ මූලස්ථාන පරිශ්‍රයේ ඉරිදා සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කළ තිදෙනාගෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත් විය.

ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සමින්දි සමරකෝන් මහත්මිය සඳහන් කළේ, අසාධ්‍ය තත්ත්වයේ පසුවූ ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත් වූ බවය.

සබැඳි පුවත්:

ඉරිදා පස්වරුවේ අර්ජුන රණතුංග ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ මූලස්ථාන පරිශ්‍රයට පැමිණි අවස්ථාවේදී තවත් පිරිසක් එම ස්ථානයට පැමිණීමෙන් පසු කලහාකාරී තත්ත්වයක් හටගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පැවසීය.

එහිදී මන්ත්‍රීවරයාගේ ආරක්ෂක නිලධාරියෙකු සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කෙරිණු අතර එම වෙඩි තැබීම සිදුකළ ආරක්ෂක නිලධාරියා ද අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර, ඉරිදා රාත්‍රී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අර්ජුන රණතුංග පැවසුවේ, තමන් පැය 3කට අධික කාලයක් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රය තුළ සිරවී සිටි බවය.

පසුව පොලිස් විශේෂ කාර්ය බලකාය තම ජීවිතයට හානියක් වීමට ඉඩ නොතබා ආරක්ෂිතව පිටතට රැගෙන ආ බව ඔහු සඳහන් කළේය.

ඔහු ප්‍රකාශ කළේ, අමාත්‍ය මණ්ඩලය විසුරුවීමෙන් අනතුරුව තමන් තවදුරටත් අමාත්‍යංශයේ රැඳී සිටීම නුසුදුසු බැවින් එහි යතුරු භාර දීම සඳහා කාර්යාලයට ගිය අවස්ථාවේ මෙම තත්ත්වයට මුහුණ පෑමට සිදු වූ බවය.

"මගේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන්ට මාව ආරක්ෂා කරන ලෙස උපදෙස් දීල තියෙනවා. ඒ අනුව ඔවුන් ක්‍රියා කළා. වෙඩි තැබීමට අණ දුන්නේ මම නොවෙයි," අර්ජුන රණතුංග සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ, තමන් "ඛණිජ තෙල් සංස්ථාව තුළ සිදුවූ දූෂණ නතර කළ බවත්, දූෂණවලට අදාළව සේවය අත්හිටුවා තිබූ සේවකයින් පිරිසක් තමන්ට පහර දීමට රැස්ව සිටි බවත්,"ය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර