ඛනිජතෙල් වෙඩි තැබීම: අත්අඩංගුවට ගැනුණු අර්ජුන රණතුංග ඇප මත මුදා හැරේ

Image copyright Getty Images

ඛනිජ තෙල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අර්ජුන රණතුංග අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදුව ඇප මත මුදා හැර තිබේ.

ඉරිදා (28) ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හටගත් කලබලකාරී අවස්ථාවේ අමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරියෙකු විසින් කරන ලද වෙඩි තැබීමෙන් එක් පුද්ගලයෙකු මරුමුවට පත්වී තවත් දෙදෙනෙකුට තුවාල සිදුවිය.

එම සිදුවීම විමර්ශනය කිරීම පොලිස්පති පූජිත් ජයසුන්දර විසින් කොළඹ අපරාධ විමර්ශන කොට්ටාසය වෙත භාරදෙනු ලැබ ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර බීබීසී සිංහල සේවයට පැවසීය.

සඳුදා (29) කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගනු ලැබුවේ එම විමර්ශනයට අදාළවය.

අදාළ වෙඩිතැබීම සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් ඉල්ලා වෘත්තීය සමිති කීපයක් වැඩ වර්ජනයක ද නිරතව සිටියහ.

ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ දෙමටගොඩ මූලස්ථාන පරිශ්‍රයේ ඉරිදා සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කළ තිදෙනාගෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි එක පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් වූ බව ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සමින්දි සමරකෝන් මීට පෙර බීබීසී සිංහල සේවය වෙත සඳහන් කළාය.

සබැඳි පුවත්:

ඉරිදා පස්වරුවේ අර්ජුන රණතුංග ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ මූලස්ථාන පරිශ්‍රයට පැමිණි අවස්ථාවේදී තවත් පිරිසක් එම ස්ථානයට පැමිණීමෙන් පසු කලහකාරී තත්ත්වයක් හටගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසීය.

එහිදී මන්ත්‍රීවරයාගේ ආරක්ෂක නිලධාරියෙකු සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කෙරිණු අතර එම වෙඩි තැබීම සිදුකළ ආරක්ෂක නිලධාරියා ද අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර, තමන් පැය 3කට අධික කාලයක් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රය තුළ සිරවී සිටීමට සිදුවූ බව ඉරිදා රාත්‍රී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අර්ජුන රණතුංග පැවසීය.

පසුව පොලිස් විශේෂ කාර්ය බලකාය තම ජීවිතයට හානියක් වීමට ඉඩ නොතබා ආරක්ෂිතව පිටතට රැගෙන ආ බව ඔහු සඳහන් කළේය.

"මගේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන්ට මාව ආරක්ෂා කරන ලෙස උපදෙස් දීල තියෙනවා. ඒ අනුව ඔවුන් ක්‍රියා කළා. වෙඩි තැබීමට අණ දුන්නේ මම නොවෙයි," අර්ජුන රණතුංග සඳහන් කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර