පක්ෂයට නිවැරදි නායකයා බිහිවෙන තුරු ආණ්ඩුවට සහය දෙනවා - වසන්ත සේනානායක

වසන්ත සේනානායක නව අමාත්‍ය පදවියේ දිවුරුම් දෙමින්

ඡායාරූප මූලාශ්‍රය, Maithripala Sirisena/Facebook

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ආරාධනය මත ආණ්ඩුවට එක් වූ නමුත් තමන් තවමත් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙකු බව නව සංචාරක හා වනජීවී අමාත්‍ය වසන්ත සේනානායක පවසයි.

ඉරිදා දිවයිනට පැමිණ ජනාධිපතිවරයා විසින් ධූරයෙන් නෙරපන ලද රනිල් වික්‍රමසිංහ හමුවී සහය පළ කළ, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක සංචාරක හා වනජීවී අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ සඳුදා (ඔක්තෝබර් 29) දිවුරුම් දුන්නේය.

"මම එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය අත්හරින්නේ නෑ," නව පදවියේ දිවුරුම් දීමෙන් අනතුරුව අමාත්‍යවරයා බීබීසී සිංහල සේවය සමග පැවසීය.

"ජනාධිපතිතුමාට පුළුවන් ඕන පක්ෂෙකින් ඇමතිවරු පත් කරන්න. ජනාධිපතිතුමා දේශපාලනය අභිබවා ගිය චරිතයක් ව්‍යවස්ථාවේ."

තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙකු වුවද තමන් රනිල් වික්‍රමසිංහගේ නායකත්වය පිළිනොගන්නා බව අවධාරණය කළ අමාත්‍ය වසන්ත සේනානායක, "පක්ෂයේ වෙන නායකයෙක් බිහි කරන්න මම මහන්සි වෙන්ව කොතන හිටියත්. ඒ නිවැරදි නායකයා බිහි වෙනකල් මම ආණ්ඩුවට සහයෝගය දෙනවා," යනුවෙන් ද බීබීසී සිංහල සේවය සමග පැවසීය.

"හරි නායකයා බිහිවුන දවසට මට ඒ නායකයා එක්ක අයෙත් එකතුවෙන්න පුළුවන්."

ඡායාරූප මූලාශ්‍රය, Maithripala Sirisena/Facebook

ඉරිදා දිවයිනට පැමිණි අවස්ථාවේ වසන්ත සේනානායක මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ ආරාධනයක් තිබීම, සේවය කළ හැකි වීම සහ තමා පත් කරගත් පොළොන්නරු ජනයාගේ කැමැත්ත යන කාරණා තුන මත තමා තීරණයක් ගන්නා බවය.

ජනාධිපතිවරයා විසින් පසුගිය 26 වෙනි දින අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබූ මහින්ද රාජපක්ෂ මුදල් හා ආර්ථීක කටයුතු අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන් අතර, වරක් පැවති රජයේ අමාත්‍ය මණ්ඩලයෙන් ඉවත්ව පසුව නැවත අමාත්‍යධුරයකට පත්කෙරුණු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.

ඒ හැරුණුවිට තවත් අමාත්‍යවරුන් 9 දෙනෙකු ද නව පදවිවල දිවුරුම් දුන්හ.

ආචාර්ය සරත් අමුණුගම නව විදේශ අමාත්‍ය පදවියට පත්කිරීම සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරයාට සහය දක්වන ඇමතිවරුන් සියලු දෙනා ම යළි පත් කෙරුණත් දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා ඒ අතර නොවීම ද කැපී පෙනිණ.

වඩිවේල් සුරේෂ් රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස සහ ආනන්ද අලුත්ගමගේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දුන්හ.

19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ කැබිනට් අමාත්‍යවරුන් සංඛ්‍යාව 30 දෙනෙකුට සීමා කළ යුතුය.

ඡායාරූප මූලාශ්‍රය, Maithripala Sirisena/Facebook

සඳුදා දිවුරුම් දුන් නව අමාත්‍යවරු:

  • මුදල් හා ආර්ථික කටයුතු - මහින්ද රාජපක්ෂ
  • විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම
  • ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය - නිමල් සිරිපාල ද සිල්වා
  • කෘෂිකර්ම අමාත්‍ය - මහින්ද අමරවීර
  • වරාය හා නාවික කටයුතු අමාත්‍යවරයා - මහින්ද සමරසිංහ
  • විදුලිබල හා පුර්ණජනනීය බලශක්ති අමාත්‍යවරයා - රංජිත් සියඹලාපිටිය
  • ධීවර, ජලජ සම්පත් හා ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යවරයා - විජිත් විජයමුණි සොයිසා
  • පළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍ය - ෆයිසර් මුස්තාපා
  • අධ්‍යාපන හා උසස් අධ්‍යාපන - විජයදාස රාජපක්ෂ
  • සංචාරක සහ වනජීවී - වසන්ත සේනානායක
  • නැවත පදිංචි කිරිම්, පුනරුත්ථාපන හා උතුරු සංවර්ධන හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය - ඩග්ලස් දේවානන්ද
  • උඩරට, නව ගම්මාන, යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍ය - ආරුමුගම් තොණ්ඩමන්
  • වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය -වඩිවේල් සුරේෂ්
  • සංචාරක හා වනජිවි නියෝජ්‍ය අමාත්‍ය - ආනන්ද අලුත්ගමගේ

තවත් කියවන්න.