පාර්ලිමේන්තුව අත්හිටුවීම: එජාපයෙන් විරෝධතාවක්, "ජනතාව විකල්ප මාර්ගවලට යොමුවිය හැකියි"

Image copyright UNP/Twitter

පාර්ලිමේන්තුව විවෘත කරන ලෙස ජනාධිපතිවරයාට බල කරමින් එක්සත් ජාතික පක්ෂය සංවිධානය කළ විරෝධතාවක් අඟහරුවාදා (30) කොල්ලුපිටියේදී පැවැත්විණි.

ඒ සඳහා එම පක්ෂයේ ආධාරකරුවන් ඇතුලු දහස් සංඛ්‍යාත ජනකායක් සහභාගි වී සිටි අතර විරෝධතා රැලිය අමතමින් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පැවසුවේ, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පවත්වන මෙම විරෝධතාව ගමට ගෙන යන බවය.

පවතින දේශපාලන අර්බුදය විසඳාගත හැක්කේ, පාර්ලිමේන්තුව යළි කැඳවීම මගින් පමණක් බව ද ඔහු පැවසීය.

ව්‍යවස්ථානුකූලව කටයුතු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ද රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.

විරෝධතාවට එක්වූ පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අවධාරණය කළේ, ප්‍රචණ්ඩත්වයෙන් තොරව ප්‍රජාතන්ත්‍රවාදී ලෙස මෙම අර්බුදය විසඳා ගැනීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා බවය.

ප්‍රජාතන්ත්‍රවාදීව මෙම අර්බුදය ජය ගන්නා බව ද ඔහු ප්‍රකාශ කළේය.

Image copyright UNP/Twitter

මූලික අයිතිවාසිකම් පෙත්සමක්

මේ අතර, පාර්ලිමේන්තුව අත්හිටුවමින් නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරන ලෙස ඉල්ලා නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොනු කර තිබේ.

ඔහු බීබීසී සිංහල සේවයට පැවසුවේ, ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ එම පෙත්සම වහා විභාගයට ගන්නා ලෙස තමන් ඉල්ලීමක් කළ බවය.

මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාගෙන් කළ විමසුමකදී ඒ බව ඔහු තහවුරු කළේය.

කතානායක යළිත් ජනපතිට ලියයි

මේ අතර අඟහරුවාදා (30) ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් කතානායකවරයා පවසා ඇත්තේ, "දින දහ අටකින් පාර්ලිමේන්තුව අක්‍රීය කිරීම, ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය සඳහා වරම් ලබා ගත් ඔබ තුමන් අතින් සිදු වීම විශ්වාස කළ නොහැක්කක්," බවය.

"ජනතා ශුභසිද්ධිය සඳහා රට අර්බුදයකට පත්වීමෙහි ඉඩ නොතබා ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් නොපමාව පාර්ලිමේන්තුව කැඳවා යුක්තිය ඉටු වනු සඳහා අවකාශ සලසන ලෙස" ද කතානායකවරයා එම ලිපිය මගින් නැවත වරක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

පාර්ලිමේන්තුව කැඳවා බහුතරය ලබා ඇති පක්ෂයට පාලන බලය පවරන ලෙසට දේශපාලන පක්ෂ රැසක් කර ඇති ඉල්ලීම ඉටු නොකිරීම ප්‍රජාතාන්ත්‍රික අයිතිය පැහැර ගැනීමක් බව ද කතානායක කරු ජයසූරිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට දන්වා තිබේ.

"එසේ නොවුනහොත් මහජනතාව විකල්ප මාර්ගවලට යොමුවීම නොවැලැක්විය හැකිය," යනුවෙන් ද කතානායකවරයාගේ ලිපියේ දැක්වේ.

'හදිසි මාධ්‍ය නිවේදනයක්'

මේ අතර පාර්ලිමේන්තුව නැවත කැඳවන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලා ඇති දෙමළ ජාතික සංවිධානයේ නායක සහ විපක්ෂ නායක ආර් සම්බන්ධන් අඟහරුවාදා (30) උදෑසන ජනාධිපතිවරයා විසින් අලුතෙන් පත්කරන ලද අගමැති මහින්ද රාජපක්ෂ හමුවිය.

මෙම හමුවීමෙන් අනතුරුව 'හදිසි මාධ්‍ය නිවේදනයක්' නිකුත් කරමින් දෙමළ ජාතික සන්ධානය පවසන්නේ මහින්ද රාජපක්ෂගේ ඉල්ලීමක් මත තම නායකයා ඔහු හමුවූ බවය. ඒ හැර වෙනත් කිසිදු පදනමක් එම හමුවීමේ නොවූ බව ද දෙමළ ජාතික සංවිධාන ප්‍රවෘත්ති නිවේදනයේ සඳහන්වේ.

Image copyright TNA

මේ අතර පසුගියදා, කතානායක කරු ජයසූරිය සඳුදා මල්වතු සහ අස්ගිරි මහ නාහිමිවරුන් බැහැ දැක පාර්ලිමේන්තුව විවෘත කිරීමේ අවශ්‍යතාව පැහැදිලි කර තිබේ.

තවත් කියවන්න:

Image copyright Karu Jayasuriya/Facebook
Image copyright Karu Jayasuriya/Facebook