ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදයක් නැහැ - සම කැබිනට් ප්‍රකාශක

"ඔබ අර්බුදයක් ලෙස හැඳින්වුවත් අපි එය අර්බුදයක් ලෙස දකින්නේ නැහැ. එය ක්‍රියා පටිපාටියක්. රාජ්‍ය බලය හුවමාරු වීමේදී යම් ක්‍රියා පටිපාටි තිබෙනවා. එය ව්‍යවස්ථාමය කාරණයක් මිස අර්බුදයක් නෙවෙයි."

පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල එසේ කියා සිටියේ වර්තමානයේ ශ්‍රී ලංකාවේ ඇතිවී තිබෙන දේශපාලන සහ ව්‍යවස්ථා අර්බුදය සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමකදීය.

"අර්බුදය කියන වචනය මේ සිදුවීම අරභයා පැල කරන්න උත්සාහයක් තියෙනවා. නමුත් මම හිතන විදියට එහෙම අර්බුදයක් නැහැ."

කතානායකවරයා පාර්ලිමේන්තුව කැඳවන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීම ද ව්‍යවස්ථාමය කාරණයක් මිස අර්බුදයක් නොවන අතර එය ජනාධිපතිවරයාට පැවරී තිබෙන බලතලයක් බව සඳහන් කළ ඔහු "පාර්ලිමේන්තුව කල් තැබීම අපේ රටට අලුත් දෙයක් නොවන," බවත් කියා සිටියේය.

තවත් කියවන්න:

පාර්ලිමේන්තුව නැවත රැස්වීමට දින නියම කර තිබුණේ නොවැම්බර් 5 වෙනිදා බවත් ඒ අනුව පාර්ලිමේන්තුව කල්තබා ඇත්තේ දින 10කට පමණක් බවත් සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා බීබීසී සිංහල සේවයට පැවසීය.

"5 වෙනිදාට නියම වී තිබුණේ අයවැයයි. නමුත් නව මුදල් අමාත්‍යවරයා දිවුරුම් දුන්නේ ඊයේ (29) නිසා අලුත් අයවැයක් ඉදිරිපත් කළ යුතු වෙනවා. ඉතිං නව මුදල් අමාත්‍යවරයාට අවම වශයෙන් දින 10 ක කාලයක් ලබාදියයුතු වෙනවා."

මන්ත්‍රීවරු 125 ක ප්‍රමාණයක් පාර්ලිමේන්තුව නැවත කැඳවන ලෙස තමන්ගෙන් ඉල්ලා ඇති බව කතානායකවරයා ජනපතිවරයාට දන්වා ඇති අතර, එවන් අවස්ථාවක ජනාධිපතිවරයාගේ අවසරයකින් තොරව කතානායකවරයාට පාර්ලිමේන්තුව නැවත කැඳවිය හැකි බව ධූරයෙන් නෙරපන ලද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද පවසා තිබේ.

ඉහත කරුණ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමේදී එවැන්නක් සිදුවන්නේ නම් එය නීති විරෝධී රැස්වීමක් බව කෙහෙළිය රඹුක්වැල්ල පැවසීය.

"මේ සම්බන්ධයෙන් ව්‍යවස්ථාව ඉතා පැහැදිලියි. මට හොඳටම විශ්වාසයි කතානායකවරයා ඒ සම්බන්ධයෙන් දැනුවත් කියලා."

Image copyright Mahinda Samarasinghe/Facebook

මේ අතර කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට පැමිණි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ, ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවේ සිංහල පිටපතේ අගමැතිවරයා ඉවත් කිරීමට ප්‍රතිපාදන ඇති බව පැවසීය.

19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ඉංග්‍රීසි පිටපතේ එම සඳහන් වීම නොතිබුණත් එහි සිංහල පිටපතේ එවැනි සඳහනක් ඇති බව අමාත්‍ය මහින්ද සමරසිංහ කියා සිටියේය.

සම කැබිනට් ප්‍රකාශකවරයා ඒ බව කියා සිටියේ, අඟහරුවාදා (30) උදෑසන නව රජයේ පළමු කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත්වීමෙන් අනතුරුව කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

සිංහල සහ ඉංග්‍රීසි පිටපත්වල යම් වෙනසක් ඇත්නම් එහිදී පිළිගන්නේ සිංහල පිටපත බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ බව සඳුදා තමා හමු වූ තානාපති නිලධාරීන්ට පැහැදිලි කර දුන් බව ද ඔහු පැවසීය.

කෙසේ නමුත්, ව්‍යවස්ථා විශාරදයකු වන ආචාර්ය අසංග වැළිකල ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්, "මෙය මුළුමනින්ම අසත්‍ය ප්‍රකාශයක්. අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීමේ කරුණ පිළිබඳ සිංහල සහ ඉංග්‍රීසි අනුවාදවල කිසිම වෙනසක් නැහැ. එසේම 19 වෙනි සංශෝධනයෙන් ජනාධිපතිවරයාට අගමැති ඉවත් කිරීමට ඇති බලතල අහෝසි කිරීමේ කිසිම වෙනසක් ද නැහැ." යනුවෙන් පවසා තිබුණි.

අගමැතිවරයා ඉවත්කිරීම පිළිබඳව කිසිදු සඳහනක් ව්‍යවස්ථාවේ නොමැති බව 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පිළියෙළ කිරීමට ද දායකවූ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න බීබීසි සිංහල සේවයට කියා සිටියේය.

"එකම එක තැනක පොඩි අනනුකූලතාවක් තියෙනවා. ඒ කියන්නේ අගමැතිවරයා ඒ ධුරය දැරීම නතර වූ විට ජනාධිපතිවරයාට පුළුවන් අලුත් අමාත්‍ය මණ්ඩලයක් පත්කරන්න. එතනදී විතරක් තියෙනවා ධුරයෙන් ඉවත් කිරීමක් ගැන."

"නමුත් අගමැතිවරයාගේ ධුර කාලය ගැන සෘජු ලෙස තිබෙන වගන්තිවල ජනාධිපතිවරයාට අගමැතිවරයා ඉවත්කරන්න පුළුවන් කියලා කිසිම සඳහනක් නැහැ." ඔහු වැඩිදුරටත් පැවසීය.

"සෘජුවම තියෙන වගන්ති මොනවද කියලා බලන්නේ ඕනේ. එහෙම නැතුව ව්‍යංගයෙන් කියන්න බැහැ. වෙනත් වගන්තියක වෙනස් කමක් තියෙනවා කියලා ඒක පිට දාලා ජනාධිපතිවරයාට බැහැ අගමැතිවරයා ඉවත් කරන්න," ඔහු කියා සිටියේය.

අමාත්‍ය මහින්ද සමරසිංහ මේ බව ප්‍රකාශ කළ මාධ්‍ය හමුවේ ද මාධ්‍යවේදීන් මෙම ප්‍රකාශය ගැන ඔහු සමග වාද විවාද ඇති කරගත් අතර එම අවස්ථාවේ එම මාධ්‍ය හමුවට එක්වූ රජයේ සම ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මන්ත්‍රීවරයා, දෙපිරිසම නීති විශාරදයන් නොවන නිසා මේ ගැන ගැටළුවක් ඇති අයට අධිකරණයේ සහාය පැතිය හැකි බව පැවසීය.

ලබන 16 වෙනි දින පාර්ලිමේන්තුව කැඳවූ විට මේ ගැටළුව තම රජයේ බහුතරය පෙන්වීම මගින් අවසන් වන බව ඔහු කියා සිටියේය.

කැබිනට් මණ්ඩලය ලබාගත් තීරණ දෙකක් පිළිබඳව මෙම මාධ්‍ය හමුවේදී මහින්ද සමරසිංහ අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළේය.

  • පසුගිය සතියේ කැබිනට් මණ්ඩලය විසින් මහබැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයකු අදායම් බදු දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස කළ පත්කිරීම අවලංගු කිරීම.
  • වත්තල ප්‍රදේශයට දෙමළ මාධ්‍ය පාසලක් ඉදිකිරීම ස්ථිර කිරීම

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර