ව්‍යවස්ථාවේ භාෂා අවුල: කතානායක, ජනපති හමුව සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නැවත කැඳවීම

Image copyright Getty Images

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවීමට කතානායක කරු ජයසූරියට බදාදා (31) සවස 5.00 ට වේලාවක් ලබා දී ඇතැයි සේවයෙන් පහ කරන ලද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ බීබීසී පුවත් සේවයට පැවසීය.

පාර්ලිමේන්තුව නැවත කැඳවීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කරනු ඇති බව ඔහු පැවසීය.

බොහෝදුරට නොවැම්බර් 16 වෙනි දිනට පෙර පාර්ලිමේන්තුව කැඳවනු ඇති බව රනිල් වික්‍රමසිංහ බීබීසී පුවත් සේවයට අදහස් දක්වමින් තවදුරටත් පැවසීය.

මේ ගැටලුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගෙන නොයන්නේ මන්දැයි බීබීසී සේවය කළ විමසීමේදී, "පාර්ලිමේන්තුව රටේ උත්තරීතර ආයතනය බැවින් මෙය එහිදී විසඳාගත යුතු ගැටලුවක්" බව ඔහු පැවසීය.

පාර්ලිමේන්තු කල් දැමීම

අවශ්‍ය අවස්ථාවලදී පාර්ලිමේන්තු කල් දැමීම මීට පෙර ද අවස්ථා රැසකදී කර ඇතැයි ජනපතිවරයා විසින් පසුගියදා අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කරන ලද මහින්ද රාජපක්ෂ කොළඹදී පැවසීය.

බදාදා (31) පෙරවරුවේ මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා ලෙස වැඩ භාර ගැනීමෙන් අනතුරුව රැස්ව සිටි පිරිස අමතමින් ඔහු ප්‍රකාශ කළේ, "මමත් (පාර්ලිමේන්තුව) කල් දැම්මා," යනුවෙනි.

පාර්ලිමේන්තුව 16 වන දා තෙක් වසා තැබීම නිසා කිසිදු ආකූලතාවක් ඇති නොවන බව මහින්ද රාජපක්ෂ පැවසීය.

"නොවැම්බර් 5 කැඳවන්න තිබුණෙ. 5 වෙනිදා ඉඳලා 16 වෙනිදා වෙනකම් විතරයි කල් දාල තියෙන්නෙ. මමත් කල් දැම්මා. ප්‍රේමදාස මහත්තයත් ඒක කළා."

මේ අතර, ඔහු සඳහන් කළේ, තමන්ට ඕනෑ ම වේලාවක මෙම තනතුරු අතහැර යාමට හැකි බවය.

"මට මේව අත් ඇරල යන එක බොහොම ලේසියි. මම නං පැරදිලා හිනා වෙවී ගෙදර ගියා. ඒත් සමහර අයට එහෙම කරන්න බැරුව අඬ අඬ ඉන්නවා."

තවදුරටත් කියවන්න:

නීතිපතිවරයා නිහඬ වෙයි

මේ අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ අග්‍රාමාත්‍ය ධුරය සහ රජයේ සිදුවූ වෙනසෙහි පවතින නීත්‍යනුකූලභාවය පිළිබඳව නීතිපතිවරයාගේ භූමිකාව අනුව මතයක් ප්‍රකාශ කිරීම යෝග්‍ය නොවන බව නීතිපති ජයන්ත ජයසූරිය, කතානායක කරු ජයසූරියට දැනුම් දී තිබේ.

නීතිපතිවරයා, කතානායකවරයා වෙත යොමු කළ ලිපියක් මගින් ඒ බව දැනුම් දී ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ අග්‍රාමාත්‍ය ධුරය සහ රජයේ සිදුවූ වෙනසෙහි පවතින නීත්‍යනුකූලභාවය පිළිබඳව නීතිපතිවරයාගේ මතය විමසා කතානායකවරයා ඔක්තෝබර් 28 වන දා යොමු කළ ලිපියට පිළිතුරු වශයෙන් එම ලිපිය යවා තිබේ.

එක්සත් රාජධානිය

Image copyright UK Parliament
Image caption හියුගෝ ස්ව්යර්

මේ අතර, එක්සත් රාජධානියේ විදේශ සහ පොදු රාජ්‍ය මණ්ඩලීය කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය හියුගෝ ස්ව්යර් එරට පාර්ලිමේන්තුවට දන්වා සිටියේ, රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ නිල අග්‍රාමාත්‍යවරයා ලෙස තවදුරටත් පිළිගන්නා බවය.

ජාත්‍යන්තර ප්‍රජාව රනිල් වික්‍රමසිංහ, ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා ලෙස පිළිගන්නා බව ද ඔහු පැවසීය.

ව්‍යවස්ථාවේ පිටපත්වල පරස්පරයක්?

Image copyright Sri Lanka Parliament

මේ අතර, ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවේ සිංහල පිටපතේ අගමැතිවරයා ඉවත් කිරීමට ප්‍රතිපාදන ඇති බවත් 19 වෙනි සංශෝධනයට අදාළ ඉංග්‍රීසි පිටපතේ එය සඳහන් වී නොතිබුණත් එහි සිංහල පිටපතේ එවැනි සඳහනක් ඇති බවත් රජයේ ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ අඟහරුවාදා (30) නව රජයේ පළමු කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය.

Image copyright Www.news.lk

"ව්‍යවස්ථාවේ පිටපත්වල පරස්පරයක් නැහැ"

කෙසේ වෙතත්, ව්‍යවස්ථා විශාරදයෙකු වන ආචාර්ය අසංග වැලිකල මේ ගැන අදහස් පළකරමින් පවසා තිබුණේ, ව්‍යස්ථාවේ "සිංහල සහ ඉංග්‍රීසි පිටපත්වල කිසිදු පරස්පරයක් නොමැති අතර අග්‍රාමාත්‍යවරයා ඉවත් කළ හැක්කේ, විශ්වාසභංගයකින් පමණක් බව එහි සඳහන් වන" බවය.

"අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීමට ජනාධිපතිවරයා සතුව පැවති බලය 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් අවලංගු කළ," බව ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබිණි.

මේ අතර, 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පිළියෙල කිරීමට දායක වූ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න ද බීබීසි සිංහල සේවයට මේ පිළිබඳව අදහස් දක්වමින් පෙන්වා දුන්නේ, අගමැතිවරයා ඉවත්කිරීම පිළිබඳව කිසිදු සඳහනක් ව්‍යවස්ථාවේ නොමැති බවය.

Image copyright Jayampathi Wickramarathna/Facebook
Image caption ආචාර්ය ජයම්පති වික්‍රමරත්න

"එක ම එක තැනක පොඩි අනුකූලතාවක් තියෙනවා, ඒ කියන්නේ අගමැතිවරයා ඒ ධූරය දැරීම නතර වූ විට ජනාධිපතිවරයාට පුළුවන් අලුත් අමාත්‍ය මණ්ඩලයක් පත්කරන්න, එතනදී විතරක් තියෙනවා ධුරයෙන් ඉවත්කිරීමක් ගැන. නමුත් අගමැතිවරයාගේ ධුර කාලය ගැන ඍජුව තියෙන වගන්තිවල කිසි ම සඳහනක් නැහැ ජනාධිපතිවරයාට අගමැතිවරයා ඉවත්කරන්න පුළුවන් කියලා"

"කෙලින්ම ඍජුව ම තියෙන වගන්ති මොනව ද කියලා බලන්න ඕනේ එහෙම නැතුව ව්‍යංග්‍යයෙන් කියන්න බැහැ, වෙනත් වගන්තියක වෙනස්කමක් තියෙනවා කියලා ඒක පිට දාලා ජනාධිපතිවරයාට බැහැ අගමැතිවරයා ඉවත් කරන්න" ඔහු කියා සිටියේය.

අමාත්‍ය මහින්ද සමරසිංහ මේ බව ප්‍රකාශ කළ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් මෙම ප්‍රකාශය ගැන ඔහු සමග වාද විවාද ඇති කර ගත් අතර එම අවස්ථාවේ එම මාධ්‍ය හමුවට එක්වූ සම රජයේ ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මන්ත්‍රීවරයා පැවසුවේ, මේ ගැන වාද විවාද පැවැත්වීමට දෙපිරිස ම නීති විශාරදයන් නොවන නිසා මේ ගැන ගැටලුවක් ඇති අයට අධිකරණයේ සහය පැතිය හැකි බවය.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයේ අග්‍රාමාත්‍ය ධුරයේ ධුර කාලයට අදාළ වගන්තිවල ඉංග්‍රීසි සහ සිංහල පිටපත් පහත දැක්වේ.

Image copyright Www.parliament.lk
Image copyright Www.parliament.lk

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් කියවන්න:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර