පාර්ලිමේන්තුව කැඳවන දිනය ගැන කතානායක කියයි: TNA, ශ්‍රී ලමුකො ස්ථාවරය කුමක් ද?

Harsha De Silva/Twitter

ඡායාරූප මූලාශ්‍රය, Harsha De Silva/Twitter

නොවැම්බර් 7 වන දා පාර්ලිමේන්තුව කැඳවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තමන්ට දැන්වූ බව කතානායක කරු ජයසූරිය පැවසීය.

ඔහු ඒ බව දැනුම් දුන්නේ, සිකුරාදා (02) පෙරවරුවේ පක්ෂ නායකයින් සමග පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති රැස්වීමකදීය.

එහිදී, කතානායකවරයා සඳහන් කළේ, "7 වන දා කැඳවන බව මට දැනුම් දුන්නා. ඒත් තාම ගැසට් එක මුද්‍රණය කරල නැහැ," යනුවෙනි.

කෙසේ වෙතත්, නොවැම්බර් 7 වන දා පාර්ලිමේන්තුව විවෘත කෙරෙනු ඇති බවට තමන් විශ්වාස කරන බව ද, ප්‍රාර්ථනා කරන බව ද කතානායක කරු ජයසූරිය වැඩිදුරටත් පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Harsha De Silva/Twitter

ඡායාරූප ශීර්ෂ වැකිය,

ජනාධිපතිවරයාගත් ක්‍රියාමාර්ග මන්ත්‍රීවරු 118 ක් පිළිනොගනී

එම රැස්වීමට දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු ප්‍රධාන පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විශාල පිරිසක් ද සහභාගි වී සිටියහ.

තවදුරටත් කියවන්න:

මෙහිදී මන්ත්‍රීවරුන් 118 දෙනෙකුගේ ඒකමතික කැමැත්ත මත ඒකාබද්ධ යෝජනාවක් කතානායකවරයා වෙත භාර දුන්නේය.

ඡායාරූප ශීර්ෂ වැකිය,

ඒකාබද්ධ යෝජනාව

රැස්වීම අවසානයේදී බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින්, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න පැවසුවේ, රනිල් වික්‍රමසිංහ හැර මන්ත්‍රීවරුන් 118 දෙනෙකු පාර්ලිමේන්තුව විවෘත කරන ලෙස ඉල්ලා සිටීම සඳහා පැමිණ සිටි බවය.

පාර්ලිමේන්තුව 7 වන දා යළි කැඳවන බවට ජනාධිපතිවරයා කතානායකවරයාට "පොරොන්දුවක්" දී ඇති බවත් එය ඉටු නොකළහොත් ඔහු පිළිබඳව ජනතාවට ඇති විශ්වාසය සම්පූර්ණයෙන් නැති වී යනු ඇති බව ද ඔහු පැවසීය.

බහුතර බලය පෙන්වන්නේ කෙසේ ද?

පාර්ලිමේන්තුව කැඳවූ පළමු දිනයේදී ම බහුතරය පෙන්වීමට අවශ්‍ය නැති බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් කර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් ද රාජිත සේනාරත්න අදහස් දැක්වීය.

ඔහු ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තුව කැඳවන දිනයේ ජනාධිපතිවරයාගේ රාජාසන කතාවක් පැවැත්වෙන අතර එම කතාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් සිදු කෙරෙන බවය.

එය පරාජය වුවහොත් රජය විසුරුවීමට සිදු වන බව ඔහු පෙන්වා දුන්නේය. "ඒකෙන් පාර්ලිමේන්තු මැතිවරණයකට යන්න ඕන නැහැ. ව්‍යවස්ථාව අනුව අවුරුදු 4 ට වඩා ගත වෙනකම් මහ මැතිවරණයකට යන්න බැහැ. ඡන්ද විමසීම පැරදුණොත් වත්මන් රජය විසුරුවන්න සිද්ධ වෙනවා."‍

දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය

ඡායාරූප මූලාශ්‍රය, Ma Sumanthiran/Twitter

ඡායාරූප ශීර්ෂ වැකිය,

තීරණයක් නැහැ

මෙම රැස්වීමට දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්දිරන් ද සහභාගි විය.

ඔහු බීබීසී සිංහල සේවයට පැවසුවේ, ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් නෙරපීමත්, මහින්ද රාජපක්ෂ අගමැති ධුරයට පත් කිරීමත්, පාර්ලිමේන්තුව කල් දැමීමත් යන සියල්ල නීතිවිරෝධී බවය.

එම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලියට එරෙහිව දෙමළ ජාතික සන්ධානය පෙනී සිටින බව ඔහු පැවසීය.

කෙසේ වෙතත්, පාර්ලිමේන්තුවේදී රනිල් වික්‍රමසිංහට සහය දෙනවා ද නැද්ද යන්න මෙතෙක් තීරණය කර නැතැයි ඔහු සඳහන් කළේය.

ඔහු පෙන්වා දුන්නේ, යම් හෙයකින් 7 වන දා පාර්ලිමේන්තුව කැඳවීමට ජනාධිපතිවරයා පියවර නොගතහොත් පාර්ලිමේන්තුව කැඳවීමේ බලය කතානායකවරයා සතුව පවතින බවය.

බදියුද්දීන්ගේ ස්ථාවරය

අමාත්‍ය ධුර බලාපොරොත්තුවෙන් ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි වීමට තමන් කිසිසේත් කටයුතු නොකරන බව සමස්ත ලංකා මහජන කොන්ග්‍රස් පක්ෂයේ නායක රිෂාඩ් බදියුද්දීන් බීබීසී සිංහල සේවයට පැවසුවේය.

මේ හේතුවෙන්, පාර්ලිමේන්තුව තුළදී රනිල් වික්‍රමසිංහට සහය ලබා දෙන බව ඔහු ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය කුමක් කරයි ද?

රටේ ඇති වී තිබෙන වාතාවරණය පිළිබඳව කනගාටු වන බවත්, ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය හෙළා දකින බවත් ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රවුෆ් හකීම් මෙහිදී බීබීසී සිංහල සේවයට පැවසීය.

ඔහු ප්‍රකාශ කළේ, මන්ත්‍රී ධුර මුදලට විකිණෙන තත්ත්වයක් උද්ගත වීමට ඉඩ නොදී මන්ත්‍රීවරුන්ගේ ගෞරවය ආරක්ෂා කිරීම සඳහා පාර්ලිමේන්තුව වහා කැඳවන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලා සිටි බවය.

සජිත් ප්‍රේමදාස - ජනපති හමුව

ඡායාරූප ශීර්ෂ වැකිය,

සාකච්ඡා කළේරනිල් වික්‍රමසිංහගේ පූර්ණ අනුදැනුම යටතේ

තමන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මුණ ගැසී සාකච්ඡා කළේ, තම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහගේ පූර්ණ අනුදැනුම යටතේ බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස බීබීසී සිංහල සේවයට පැවසීය.

ඔහු පැවසුවේ, රජය ජනතාවට දී ඇති සහන දේශපාලන අරමුණු වෙනුවෙන් නොකරනවා නම් යහපත් බවය.

කෙසේ වෙතත්, අවශ්‍ය වූ විට පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන බව රජයේ මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

රනිල් - ගෝඨාභය හමුව

මේ අතර, ගෝඨාභය රාජපක්ෂ බ්‍රහස්පතින්දා අරලිය ගහ මන්දිරයේදී රනිල් වික්‍රමසිංහ හමුවිය.

ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රකාශක මිලින්ද රාජපක්ෂ ෆේස්බුක් ඔස්සේ පවසා ඇත්තේ, එම හමුව බ්‍රහස්පතින්දා සවස 4.10 සිට 4.17 දක්වා පැවති බවය.

එහිදී, ගෝඨාභය රාජපක්ෂ රජයට බහුතරය ඇති බව දැනුම් දුන් බවත්, රනිල් වික්‍රමසිංහ ද තමන් එය තහවුරු කර පෙන්වන බව පැවසූ බවත් ඔහු සඳහන් කර තිබේ.