සමලිංගික අයිතීන් සහ 'සමනල' ප්‍රකාශය: "ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ගේ සාක්ෂරතාව විශාල ප්‍රශ්නයක්"

Image copyright Getty Images

"සිංහල, දෙමළ, මැලේ, මුස්ලිම්, බර්ගර් ජනතාවගේ සිතුම් පැතුම් ඔහුට අමතක වුනා. රටේ ප්‍රශ්න ඔහුට අමතක වුනා. ඔහු සමනල ජීවිතයකට ඇතුළු වුනා."

ඉහත දැක්වෙන්නේ පසුගිය සඳුදා (නොවැ 05) කොළඹ පැවති ජනරැලියක් අමතමින් රටේ ප්‍රධාන පුරවැසියා වන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අගමැති ධුරයේ කටයුතු කළ රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් කළ ප්‍රකාශයකි.

සමනලයා ගැන විග්‍රහය

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කළ ඉහත කී ප්‍රකාශය සමරිසි ප්‍රජාවේ සහ සිවිල් සමාජයේ ඇතැම් කොටස් අතර විවේචනයට ලක් විය.

මේ අතර බදාදා (නොවැ 07) පැවති රජයේ කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වූ කැබිනට් සම ප්‍රකාශක මහින්ද සමරසිංහ මාධ්‍යවේදියෙකු කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කළ ප්‍රකාශය "කිසිදු ලිංගික ජනකොටසක් පදනම් කරගනිමින් කළ ප්‍රකාශයක් නොවන" බවය.

"සමනලයා කියන්නෙ අහිංසක සතෙක්. ඒ සමනලයාව වැරදි විදියට පාචිච්චි කරල තියෙන්නෙ," කැබිනට් සම ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල එහිදී පළ කළේ එබඳු අදහසකි.

Image copyright Getty Images
Image caption 2017 'කලම්බෝ ප්‍රයිඩ්' සමරිසි පාගමනේ ගත් ඡායාරූපයක්

විෂම ලිංගික (Heterosexual) නොවන පුද්ගලයෙකු හැඳින්වීම සඳහා ඇතැම් පුද්ගලයන් විසින් "සමනලා" යන වචනය යොදා ගනු ලැබේ.

කැබිනට් සම ප්‍රකාශකවරුන්ගේ විග්‍රහය බැහැර කරන සමරිසි අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරීන්ගේ අදහස වී ඇත්තේ විෂම ලිංගික නොවන පුද්ගලයෙකු හැඳින්වීමේ පරමාර්ථයෙන් ජනාධිපතිවරයා අදාළ රැලියේදී 'සමනල' යන වචනය භාවිත කර ඇති බවය.

සමරිසි අයිතීන් වෙනුවෙන් පෙනී සිටින, කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙකුවන ත්‍යාගරාජා වරදාස් කියා සිටියේ ජනාධිපතිවරයා පළ කළ අදහස සමරිසි ප්‍රජාවට එරෙහිව කළ "වෛරී ප්‍රකාශයක්" ලෙස හැඳින්විය හැකි බවය.

"සමනලයා කියන වචනේ අරුත් කීපයක් තිබෙනවා. නමුත් ජනාධිපතිවරයා එය යොදා ගත්තේ විෂම ලිංගික නොවන පිරිසක් යන්න ඇඟවීම සඳහා. මෙය වෛරී ප්‍රකාශ ගණයට අයත් වෙන්නේ," යනුවෙන් ඔහු සඳහන් කළේ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමිනි.

ජනාධිපතිවරයාගේ ප්‍රකාශය මගින් "ගහපියව්, කොටපියව්, මරපියව්" වැනි වෛරී ප්‍රකාශ ස්ථානගත වීම සඳහා අවශ්‍ය දෘෂ්ඨිවාදීමය පසුබිම සැකසීම ඔහු ඒ සඳහා හේතු වශයෙන් පෙන්වා දෙයි.

යම් කිසි "ප්‍රභූ සංවෘත්තයක්" තුළ බලය ගොනු වී ඇති බවක් ජනාධිපතිවරයා ඉන් අදහස් කළේ යයි උපකල්පනය කළ ද අදාළ ප්‍රකාශය මගින් එම "සංවෘත්තයට" හානියක් සිදු නොවන බව ත්‍යාගරාජා වරදාස්ගේ අදහසය.

"හානිය වෙන්නේ ගමේ, දුෂ්කර පළාත්වල ඉන්න සමරිසි ප්‍රජාවට. මොකද මේ වගේ වෛරී ප්‍රකාශවල අන්තිම ඵලය භුක්ති විඳින්නේ මේ ප්‍රජාව. ගමේ ඉන්න දුප්පත් ප්‍රජාව හා සැසඳීමේදී කොළඹ හතේ ඉන්න ප්‍රජාවට මේ නිසා දෛනික ජීවිතයේ ගැටලු ඇතිවෙන්නේ නැහැ."

ශ්‍රී ලංකාවේ ග්‍රාමීය මධ්‍යම පාන්තික ජනතාව අතර සමරිසි ප්‍රජාව සම්බන්ධයෙන් පවතින මතය ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් පිළිබිඹු වන බව කථිකාචාර්ය ත්‍යාගරාජා වරදාස් පවසයි.

"සමරිසි අයිතීන් පිළිගන්නා සමාජයක් ලංකාවේ තිබුනා නම් ජනාධිපතිතුමන්ට ඔතන සමනල කියන වචනය වෙනුවවට 'ප්‍රභූ රෑන' කියලා පාවිච්චි කරන්න තිබ්බනේ," යනුවෙන් ඔහු ප්‍රශ්න කරයි.

"ඒක නොදා අරක දාන්නේ ඒ ප්‍රජාව සම්පූර්ණයෙන් පහතට වට්ටලා පහත් ප්‍රජාවක්ය කියන වචනය සමාජගත කිරීම එතුමත් තහවුරු කරන නිසානේ, වෙන වචන නැද්ද ඕකට දාන්න."

ජනාධිපතිවරයා විසින් සමරිසි අයිතීන් පිළිබඳ "පසුගාමී අදහස්" පළ කරන ලද පළමු අවස්ථාව මෙය නොවන බවත් ඔහු පෙන්වා දෙයි.

සමරිසි ප්‍රජාවට කෙරෙන වෙනස් ලෙස සැලකීම් ඉවත් කළ යුතු බවට 2016 වසරේ මානවහිමිකම් ක්‍රියාකාරී ජාතික සැලැස්මේ අඩංගු වූ කැබිනට් යෝජනාව ඉවත් කිරීමට ජනාධිපති සිරිසේන කටයුතු කළ බව කී ත්‍යාගරාජා වරදාස්, "එතුමා එහිදී ආඩම්බරයෙන් කිව්වා මම ශ්‍රී ලංකාවේ සංස්කෘතිය ආරක්ෂා කළා කියලා," යනුවෙන් පැවසීය.

" ඒ නිසා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා පැහැදිලිවම සමලිංගික භීතිකාවෙන් (හෝමොෆෝබික්) පෙලෙන පුද්ගලයෙක්."

එසේ නොමැති නම් ජනාධිපතිවරයා මාධ්‍ය ඉදිරියට පැමිණ ඒ සම්බන්ධයෙන් සමාව ගත යුතු බව ඔහුගේ අදහසය.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
"කැබිනට් පත්‍රිකාව මමයි වීසි කළේ,"

ලොව ඇතැම් රටවල් සමලිංගික ප්‍රජාව සම්බන්ධයෙන් පවතින නීති වෙනස් කිරීමට කටයුතු කර තිබෙන අතර ඇතැම් බටහිර රටවල සමලිංගික විවාහ නීතිගත කර තිබේ.

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ද ඓතිහාසික තීන්දුවක් දෙමින්, තවදුරටත් සමලිංගිකත්වය එරට සාපරාධී වරදක් නොවන බව පසුගිය සැප්තැම්බර් 06 වෙනිදා ප්‍රකාශයට පත් කළේය.

එමෙන්ම සමලිංගික විවාහය නීතිගත කිරීමට මග පාදමින් නව නීති සම්පාදනය වියයුතු බව තායිවානයේ ඉහළම අධිකරණය 2017 වසරේදී තීන්දු කළේය.

ශ්‍රී ලංකාවේ සමකාමීත්වය සම්බන්ධයෙන් පවතින නීතිය

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී පාලකයන් විසින් මීට වසර 130 කට පමණ ඉහත දී හඳුන්වා දෙනු ලැබූ දණ්ඩ නීති සංග්‍රහයේ

  • 365 (A) සහ 365 යන වගන්ති

ඉහත කී වගන්ති මගින් සමකාමී හැසිරීම් සාපරාධී ක්‍රියා යටතට ගෙන සමරිසි ප්‍රජාව අපරාධකරුවන් බවට පත් කර ඇතැයි සමරිසි අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරිනියක වන නීතිඥ රදිකා ගුණරත්න පවසයි.

"මේ වගන්ති දෙක තුළ සමලිංගික හෝ සමරිසි කියන වචන සඳහන් වෙන්නේ නැහැ. සොබාදහමට එරෙහි අස්වාභාවික ලිංගික හැසිරීමක් කියා තමයි එහි තියෙන්නේ," ඇය බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් කියා සිටියාය.

පසුකාලීනව 1995 දී කරන ලද නීතිමය සංශෝධන මගින් "පුරුෂයන් අතර සිදුවන සොබාදහමට එරෙහි ලිංගික හැසිරීම්" යන්නට කාන්තාවන් ද එක් කළ බව ඇය පෙන්වා දෙයි.

"එතකොට ලංකාවේ නීතියට අනුව මේක අපරාධමය වරදක්. ලංකාව තුළ ඔවුන්ගේ ලිංගික අනන්‍යතාව (Gender Identification) සහ ලිංගික දිශානතිය (Gender Orientation) කියා ගන්න බැහැ. ඔවුන්ට සමාජය ඉදිරියට එන්න බැහැ මොකද මේක අපරාධයක් නිසා. අඩුම තරමේ තමන්ගේ ගෙදර අයටවත් කියා ගන්න බැහැ මොකද මේක නීති විරෝධියි."

ඇය පවසන පරිදි එහි තිබෙන බරපතළම තත්ත්වය නම් බලහත්කාරකමකට හෝ දූෂණයකට ලක් වූ සමරිසි පුද්ගලයෙකු නීතියේ සරණ පැතීමට යාමේදීම ඔහු හෝ ඇය පවත්නා නීතියට අනුව අපරාධකරුවෙකු වී තිබීමය.

සමාජය විසින් පනවන ලද නීතිමය සහ සංස්කෘතික රාමුවෙන් බැහැරව කටයුතු කරන විට සමකාමී කාන්තාවකට හෝ පුරුෂයෙකුට තාඩන පීඩනවලට මුහුණ පෑමට සිදුවන බව ද නීතිඥ රදිකා ගුණරත්න පෙන්වා දෙයි.

"පැමිණිලි කරන පුද්ගලයා එතනදී අපරාධකරුවෙක්. තමන්ට වෙච්ච හිරිහැරයක් ගැන පැමිණිලි කරන්න ගිය විට පොලිසිය බොහෝ විට වැඩකරන්නේ අනෙක්පැත්තට. එතන ඉඳලම ඔහු හෝ ඇය අසරණ වෙනවා," ඇය පවසන්නීය.

"නීතිය ක්‍රියාත්මක වෙන්නෙම සමරිසි ප්‍රජාවට හිරිහැර කිරීම සඳහා, නැතිව ඔවුන්ට යුක්තිය ඉටු කිරීම සඳහා නොවෙයි."

ශ්‍රී ලංකාව තුළ සමරිසි ප්‍රජාව සමාජීය වශයෙන් මුහුණ දෙන ගැටලු අතර

  • සිය පවුල තුළ වෙනස් ලෙස සැලකීමට ලක්වීම
  • පාසලේ දී අඩන්තේට්ටම්වලට ලක් වීම (බුලි වීම) සහ කොන්වීම
  • රැකියා ලබා ගැනීමට ඇති අපහසුතාව සහ රැකියාවෙන් නෙරපීම
  • බලහත්කාරයෙන් විවාහ කරදීම

තරුණ වියට පා තැබූ තරුණියකගෙන් වැඩිහිටි ඥාති මිත්‍රාදීන් විවාහය පිළිබඳ විමසීම අප සමාජයේ බොහෝ විට සිදුවන්නකි.

Image copyright AFP

සංස්කෘතික රාමුව තුළ සමරිසි කාන්තාවකට (Lesbian) එල්ලවන පීඩනය කෙබඳුද?

නීතිඥ රදිකා ගුණරත්න ඊට පිළිතුරු සැපයුවේ උදාහරණයක් ගෙන හැර දක්වමිනි.

"මේක සත්‍ය කතාවක්. නුවරඑළිය ප්‍රදේශයේ තරුණියක් ඇයගේ දෙමව්පියන් විසින් බලහත්කාරයෙන් විවාහ කර දුන්න. මෙය ආදරය පිළිබඳ ප්‍රශ්නයක්. ඇයට සැමියා පිළිබඳ හැඟීමක් ඇති වෙන්නේ නැහැ. ලිංගිකව එක්වීම ඇය ප්‍රතික්ෂේප කරනවා. සැමියා කරන්නේ මිතුරන් පිරිසක් සමග බීමත්ව පැමිණිලා රෑ එළිවෙන තුරු ඇය දූෂණය කරනවා. ඇයට දැන් දරුවෙකුත් ඉන්නවා. නමුත් ඇය දූෂණයට ලක්වුනා කියලා පොලිසියට යාමට හැකියාවක් නැහැ."

ශ්‍රී ලංකාවේ සමාජය තුළ විවාහය සම්බන්ධයෙන් විෂම ලිංගික (Heterosexual) කාන්තාවකට එල්ල වන පීඩනය මෙන් "දෙතුන් ගුණයක පීඩනයක්" සමරිසි කාන්තාවකට (Lesbian) එල්ලවන බව ද නීතිඥ රදිකා පෙන්වා දෙයි.

"පුරුෂයෙක් හා සැසඳීමේ දී එවැනි කාන්තාවකට පවුලෙන් එකවර වෙන්වීමේ හැකියාවක් නැහැ. ඇයගේ ලිංගික අනන්‍යතාව, ලිංගික දිශානතිය හෝ පුද්ගලභාවය සමාජය පිළිගන්න ලෑස්තිත් නැහැ. ඒ නිසා කාන්තාවන් විශාල වශයෙන් අසරණ වෙනවා."

දෙමව්පියන් සහ පවුලේ සාමාජිකයන්

ජනාධිපතිවරයා විසින් පසුගියදා කරන ලද ප්‍රකාශය හෙලා දකිමින් සිවිල් සමාජය සහ සාමාන්‍ය ජනතාව ෆේස්බුක් ඇතුළු සමාජ ජාල ඔස්සේ අදහස් පළ කර තිබිණි.

සමානාත්මතාව සහ සමරිසි අයිතීන් පිළිබඳ වත්මන් තරුණ පරපුර දක්වන්නා වූ ආකල්පයේ යම් කිසි සාධනීය වෙනසක් සිදුව ඇති බවක් එමගින් පිළිබිඹු වේද?

"මෙතන ගැටලුව තිබෙන්නේ දෙමව්පියන් සහ වැඩිහිටියෝ බහුතරය ෆේස්බුක් හෝ සමාජ ජාල තුළ නැහැ. ආකල්පමය වෙනසක් ඇති කරන්න මූලික වෙලා ඉන්නේ තරුණ ප්‍රජාව. නමුත් තවම පුළුවන්කමක් ලැබිලා නැහැ වැඩිහිටියන්ගේ ආකල්පවල වෙනසක් ඇති කරන්න."

"මෙතන ගරු කිරීම පිළිබඳ ප්‍රශ්නයක් තිබෙන්නේ. දෙමව්පියන් බුද්ධිමත් නම් තමන්ගේ දියණියගේ ලිංගික අනන්‍යතාව හෝ දිශානතිය තේරුම් අරගෙන ඇයව, ඇය විදිහට පිළිඅරගෙන පුද්ගලයෙකු වශයෙන් අවශ්‍ය ගරුත්වය ලබා දෙනවා. සමාජයේ ඉහළ රැකියා සහ ස්ථානවල සිටින ඇතැම් කාන්තාවන් සමරිසි ප්‍රජාවට අයිතියි. නමුත් ඔවුන්ගේ අනන්‍යතාව සමාජයෙන් සඟවාගෙන ඔවුන්ට කටයුතු කරන්න සිදු වෙලා තිබෙනවා."

සමකාමීත්වය "ප්‍රශ්නයක් නම්" එය ශ්‍රී ලංකාවේ "ප්‍රභූ පැලැන්තිය" අතර පමණක් පවතින්නක් බවට ශ්‍රී ලංකාව තුළ දුර්මතයක් පවතින බව නීතිඥ රදිකා ගුණරත්න පවසයි.

"ඔබ බලන්න ග්‍රාමීය ප්‍රජාව තුළ අම්මලා තාත්තලා සමරිසි කියලා වචනයක් දන්නෙත් නැහැ. මේක විකෘතියක් කියලා දකින පිරිමි සමාජයක කාන්තාව කොතරම් අපහසුතාවකට පත්වෙනවද?, සමහරවිට සියදිවි නසාගැනීමට පවා පෙළඹෙන්න පුළුවන්."

"මේක ග්‍රාමීය ඇතුළු මුළු සමාජයටම පොදු තත්ත්වයක් බව අවබෝධ කර ගැනීම අවශ්‍යයි."

'හෝමෝෆෝබියාව'

Image copyright Getty Images
Image caption ඉන්දියාවේ පැවති සමරිසි පාගමනක්

මානව හිමිකම්, කාන්තා අයිතීන්, භාෂණයේ නිදහස සහ සමරිසි අයිතිවාසිකම් සම්බන්ධයෙන් විරෝධය එල්ල වන අවස්ථා, ජනප්‍රියවාදය (Populism) සහ දක්ෂිණාංශික (Right wing) මත වර්ධනය වෙමින් පවතින රටවලින් බොහෝවිට වාර්තා වේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් කරන ලද "සමනල කතාව" අඩංගු වීඩියෝ දර්ශන සමාජ ජාල තුළ හුවමාරු (Share) වී ඇත්තේ දහස් ගණනිනි.

ජනාධිපතිවරයාගේ එම කතාව හෙලා දකිමින් සමාජ ජාල තුළ අදහස් (Comment) පළ කළ ඇතැම් පුද්ගලයන්ට ද "උඹත් සමනලයෙක්ද" යනුවෙන් අසමින් කළ අවඥාසහගත ආමන්ත්‍රණ විශාල වශයෙන් දැකිය හැක.

ශ්‍රී ලංකාව තුළ සාමාන්‍ය ජනතාවගෙන් 70%-80% අතර පිරිසකට 'හෝමෝෆෝබියාව' (සමලිංගික භීතිය) ඇති බව නීතිඥ රදිකා ගුණරත්නගේ අදහසය.

"රටේ පාලකයා ගැලරිය පිනවනවා. මිනිස්සු එහෙම අහන්න ආසයි. මිනිස්සුන්ට ඕන විදිහටනේ පාලකයෝ බිහි වෙන්නේ. බහුතර මිනිසුන්ගේ විදිහ පාලකයන්ගෙන් පේනවා. ඒක ගමද නගරයද කියලා වෙනසක් නැහැ."

මාධ්‍යවේදීන්ගේ දැනුම

Image copyright Faceebook
Image caption ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් කරන ලද "සමනල කතාව" අඩංගු වීඩියෝ දර්ශන සමාජ ජාල තුළ හුවමාරු (Share) වී ඇත්තේ දහස් ගණනින්ය

එමෙන්ම සමරිසි අයිතීන් සහ එම විෂය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන්ගේ දැනුම අල්ප බව පවසන නීතිඥ රාදිකා ගුණවර්ධන බොහෝවිට මාධ්‍යවේදීන් කටයුතු කරන්නේ "දේශපාලන න්‍යාය පත්‍රයන්ට" අනුව බව සඳහන් කරයි.

"හරි පටු තැන්වලින් තමයි මාධ්‍යවේදීන් මේ ප්‍රශ්නය අල්ල ගන්නේ. අපි දැක්කා දඹුල්ලේ සංක්‍රාන්තික ලිංගික පුද්ගලයෙකු ඝාතනය වූ වෙලාවේ බහුතර පුවත්පත් වාර්තා කර තිබ්බේ ගැහැණු ඇඳුම් ඇඳගත්ත පිරිමියෙක් මරලා දාලා කියලා."

"නමුත් ඒ පුද්ගලයා ගැන සොයා බැලූ විට අපට පේනවා එයා මුළු කාලෙම අරගල කර තිබෙන්නේ තමන් පිරිමියෙක්ය කියන දේ වළක්වා ගන්න."

නමුත් "කුණු රස ඇවිස්සීම" සඳහා මාධ්‍ය විසින් එම පුද්ගලයා ගැහැණු ඇඳුම් අඟලා සිටීම හුවා දක්වමින් පුවත් පළ කළ බව ඇය පෙන්වා දෙයි.

"ජනමතය හදන්නේ මාධ්‍ය. නමුත් බොහෝ මාධ්‍යවේදීන් ඒ ගැන දැනුවත් නැහැ, හැදෑරීමක් කර නැහැ. එතකොට තමන් කැමති දේවල් මිනිස්සු කැමති දේවල් කියලා හිතාගෙන ඒක සමාජයට පොම්ප කරනවා."

"මේ වගේ මාතෘකා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන්ගේ සාක්ෂරතාව විශාල ප්‍රශ්නයක්,"

සමකාමී අයිතීන් සහ ඒ සම්බන්ධ කරුණු සාකච්ඡා කිරීමේදී මාධ්‍ය විසින් භාවිත කළ යුතු නිශ්චිත වචන හඳුන්වා දීම සඳහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවත් නීතිඥ රාදිකා ගුණරත්න වැඩිදුරටත් කියා සිටියාය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්