ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය: පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ගැන නීති විශාරදයින්ගෙන් විවිධ මත

Image copyright Getty Images

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් බදාදා රාත්‍රියේ හදිසියේම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සූදානම් වන බව එක්සත් ජාතික පක්ෂයේ අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයා විශේෂ ප්‍රකාශයක් කර තිබිණ.

ඒ සමග පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සූදානමක් ගැන රට පුරා ආන්දෝලනයක් මතුවීම හේතුවෙන් විශේෂ නිවේදනයක් කළ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව එම "අසත්‍ය හා පදනම් විරහිත ප්‍රචාරය සම්පූර්ණයන්ම ප්‍රතික්ෂේප කරන" බව සඳහන් කර තිබුණි.

එවැනි සූදානමක් නැතැයි ජනාධිපතිවරයා විසින් පත්කරන ලද අගමැති මහින්ද රාජපක්ෂ ද සඳහන් කර තිබුණි.

කෙසේ වුවත්, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සැලසුමක් තිබේ ද යන්න සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නැතත්, එසේ විසුරුවා හැරීමේ අදහසක් නැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂමන් පියදාස සඳහන් කොට තිබුණි.

19 වෙනි වතාවක් සංශෝධනය කරන ලද 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය පවතින්නේ රටේ විධායක ජනාධිපතිවරයාටය.

එහෙත් ඒ කවර අවස්ථාවක දී ද යන්න සම්බන්ධයෙන් එකිනෙකට පරස්පර නීති තර්ක මතුවෙමින් පවතී.

Image copyright Getty Images

ව්‍යවස්ථාවේ සඳහන් වෙන්නේ කුමක්ද?

2015 අප්‍රේල් මාසයේ සම්මත කරගන්නා ලද 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව, පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ව්‍යවස්ථා දෙකක සඳහන් වේ.

ඒ 70 සහ 33 ව්‍යවස්ථාවලය. (එම ව්‍යවස්ථාවල අන්තර්ගතය පහත දැක්වේ.)

Image caption ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (1) ව්‍යවස්ථාව
Image caption ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (2) ව්‍යවස්ථාව
Image caption ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (1) ව්‍යවස්ථාව
Image caption ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (1) ව්‍යවස්ථාව

ව්‍යවස්ථා විශාරදයන්ගේ මතය

19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාර පාර්ලිමේන්තුව තේරී පත් වී වසර හතර හමාරක් ගතවන තුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලයක් නැති බව ව්‍යවස්ථා කටයුතු පිළිබඳ බොහෝ විශාරදයන්ගේ මතය වී තිබේ.

ජනාධිපති නීතිඥ, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, ජනාධිපති නීතිඥ ජේසී වැලිඅමුණ, කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ කථිකාචාරිනී ආචාර්ය දිනේෂා සමරරත්න, කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ කථිකාචාර්ය, ජනාධිපති නීතිඥ ප්‍රසන්ත ලාල් ද අල්විස් සහ එඩින්බරා විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය අසංග වැලිකල ඒ මතය දරති.

ඔවුන් සියලු දෙනා පෙන්වා දෙන පරිදි එසේ නොමැතිව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නම් සමස්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් තුනෙන් දෙකක් (නොපැමිණි මන්ත්‍රීවරුන් ද ඇතුළුව) ඒ සඳහා අනුමැතිය පළ කළ යුතුය.

කෙසේ වුවත් 33 වෙනි ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට විධායක ජනාධිපතිවරයාට බලය තිබෙන බව හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වාගේ ස්ථාවරය වී තිබේ.

19 වෙනි සංශෝධනයේදී ව්‍යවස්ථාවේ 70 වෙනි ව්‍යවස්ථාව සංශෝධනය කොට තිබෙන නමුත් එය පාර්ලිමේන්තුවේ ක්‍රියා පටිපාටිය සම්බන්ධ විධිවිධානයක් බව හිටපු අගවිනිසුරුවරයා බීබීසී සිංහල සේවය සමග කියා සිටියේය.

"ජනාධිපතිගේ බලය තියෙන්නේ 33 ව්‍යවස්ථාව යටතේ. ඒකෙ අලුත් විධිවිධානයක් දැම්ම 33 (2) (ඇ) කියල. ඒකෙ තියෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝ නීතියේ වෙන කිසියම් විධිවිධාන තිබුණත්, ඊට අමතරව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව කැඳවීමට, සැසිවාර අවසන් කිරීමට හෝ විසුරුවා හැරීමට බලයක් ඇත්තේය කියල," හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා පැවසීය.

"ඒ අනුව ජනාධිපතිට පූර්ණ බලයක් තියෙනව අවශ්‍ය වූ විට ක්‍රියා කරන්න."

අවශ්‍ය නම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය තිබෙන බව ජනාධිපතිවරයා විසින් පත්කරන ලද අගමැති මහින්ද රාජපක්ෂගේ ද ස්ථාවරය වී තිබෙන බව ජනමාධ්‍ය වාර්තා කරයි.

එහෙත් 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ මුඛ්‍ය පරමාර්ථය වූයේ (purposive interpretation) විධායක ජනාධිපතිවරයාගේ බලතල අඩුකිරීම බව අවධාරණය කරන ජනාධිපති නීතිඥ ප්‍රසන්ත ලාල් ද අල්විස්, එබැවින් කිසියම් මතභේදයක් තිබේ නම් ඒ සම්බන්ධ අවසාන තීරණය ගත යුත්තේ ශ්‍රේෂ්ඨාධිකරණය බව ද සඳහන් කළේය.

විශේෂයෙන්ම සරත් වීරසේකර හැරුණු විට පාර්ලිමේන්තුවේ අනෙක් සියලුම මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් සම්මත වූ 19 වෙනි සංශෝධනය "පොදු පාර්ලිමේන්තුවේ මතය" වූ බවත් කථිකාචාර්යවරයා පෙන්වා දෙයි.

19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමට ප්‍රථම පාර්ලිමේන්තුව තේරී පත්වීමෙන් වසරකට පසුව එය විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය තිබිණ.

මේ අතර හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මතු කරන තර්කය ගැන බීබීසී සිංහල සේවය සමග සිය ප්‍රතිචාරය දැක්වූ ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න, එසේ නම් පාර්ලිමේන්තුව තේරී පත් වී දිනකට පසුව හෝ එය විසුරුවා හැරීමට විධායක ජනාධිපතිවරයාට බලය තිබෙන්නේ දැයි ප්‍රශ්න කළේය.

බීබීසී සිංහල සේවය ඒ තර්කය ඉදිරිපත් කළ අවස්ථාවේ එයට සෘජු පිළිතුරක් නොදුන් හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා කියා සිටියේ, "දැන් අවුරුද්දකටත් වඩා පහුවෙලානේ. දැන් අවුරුදු තුනහමාරකුත් ගිහිල්ලනේ," යනුවෙනි.

"මේක පාර්ලිමේන්තුවේ බලය තුලනය කිරීම සඳහා ජනාධිපතිට දීල තියෙන බලයක්. ජනාධිපති විසින් මෙය ක්‍රියාත්මක කළ යුත්තේ ඉතාමත් වගකීමක් ඇතිව."

එහෙත් රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සමස්තයක් වශයෙන් ගෙන සලකා බලනු විනා කොටස් වශයෙන් සලකා නොබැලීම නීති සම්පාදනයේ මූලිකම සිද්ධාන්තයක් බව ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මෙන්ම ආචාර්ය දිනේෂා සමරරත්නගේ ද ස්ථාවරය වී තිබේ.

"33 වගන්තියෙන් කෙරෙන්නේ පොදුවේ ජනාධිපතිතුමාගේ වගකීම සහ බලතල විස්තර කිරීමක්," ආචාර්ය දිනේෂා සමරරත්න බීබීසී සිංහල සේවය සමග විස්තර කළාය.

"දැන් නීතිය අර්ථ නිරූපනයේදී අපි ඉගෙනගන්න මූලිකම සිද්ධාන්තයක් තමයි පොදු සෙක්ෂන් එකක් තියන තැනක ඒ සම්බන්ධයෙන්ම සුවිශේෂී ප්‍රතිපාදනයක් තියෙනව නම්, ඒ සුවිශේෂී ප්‍රතිපාදනයට අනුව තමයි අපි පොදු සෙක්ෂන් එක කියවන්නේ."

ඒ අනුව පාර්ලිමේන්තුවට වසර හතරමාරක් සම්පූර්ණ වී නැත්නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතර බලයකින් තොරව එය විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලයක් නැති බව කථිකාචාර්යවරිය අවධාරණය කරයි.

"30 (2) වගන්තියේ සඳහන් කරනවා ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලතල තියෙනව කියල. හැබැයි ඉතාමත් පැහැදිලිව 70 වෙනි වගන්තියේ සඳහන් වෙනවා ඒ විසුරුවා හැරීමේ බලය එතුමාට ඇතිවෙන්නේ අවුරුදු හතරහමාරකට පස්සේ කියල. ඉතින් ඒ දෙක එකට කියවන්න ඕනේ," ආචාර්ය දිනේෂා සමරරත්න පැවසීය.

"දෙකට කඩල කියවන්න ගියහම ඒකෙ අර්ථයක් නැතිවෙනවා."

Image copyright Getty Images

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධ අර්ථ නිරූපනයක් ලබාගැනීම පිණිස ඉල්ලීමක් කිරීමට අවසර තිබෙන්නේ විධායක ජනාධිපතිවරයාට පමණය.

'සිංහල කියන්නේ පරිවර්තනයක්'

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳව මෙන්ම අගමැතිවරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් ද මතු වී තිබෙන පරස්පර නීති තර්ක සහ අර්බුදකාරී වාතාවරණය ගැන අදහස් දක්වමින් කථිකාචාර්ය, ජනාධිපති නීතිඥ ප්‍රසන්ත ලාල් ද අල්විස් කියා සිටියේ. "අපේ රට ගැන මම ඇත්තටම කණගාටු වෙනව, ලජ්ජා වෙනවා" යනුවෙනි.

"දැන් සාමාන්‍ය පනතක් නම් ඒ පනතේ පැහැදිලිව ගහල තියෙනව සිංහල, දෙමළ පනත්වල පරස්පරයක් තියෙනව නම් ප්‍රමුඛතාව ගන්නේ සිංහල කියල. නමුත් අපි ඉංග්‍රීසි එකට ප්‍රමුඛතාව දෙනවා කියල එකක් නෑ," ඔහු විස්තර කළේය.

"මේ රටේ ඇත්ත වශයෙන්ම සිදුවෙන්නේ මුලින්ම පනත හදන්නේ ඉංග්‍රීසියෙන්. ඒක හදල තමයි සිංහලටයි, දෙමළටයි පරිවර්තනය කරන්නේ. නමුත් දක්වන්නේ සිංහල එකට ප්‍රමුඛතාව දෙනවා කියල."

"ඉතින් මම නැවතත් කියනවා සිංහල කියන්නේ මුල් පිටපත නෙවෙයි, ඉංග්‍රීසි පනතේ පරිවර්තනයක්."

පාර්ලිමේන්තුවේ එකම කාර්ය භාරය නීති සකස් කිරීම වුවත්, ඉංග්‍රීසියෙන් සකස් කළ ව්‍යවස්ථාව නිසි පරිදි සිංහලට පරිවර්තනය කරගැනීමේ හැකියාවක් පවා එයට නොමැතිවීම ගැන "ලජ්ජා වන" බව ඔහු සඳහන් කළේය.

අගමැතිවරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් සිංහල "පරිවර්තනයේ" සහ ඉංග්‍රීසි මුල් පිටපතේ පරස්පර තත්වයන් පැවතුන ද, පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් එවැනි තර්කයක් මතු වී නැත.

මැතිවරණ කොමිසමේ කාර්යභාරය

කිසියම් ලෙසකින් ජනාධිපතිවරයා විසින් "නීති විරෝධී ලෙසින්" පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුවහොත් එම නියෝගය පිළිනොගන්නා ලෙස ස්වාධීන මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටින බව මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යවරයා ලෙසින් කටයුතු කළ පාඨලී චම්පික රණවක පසුගියදා සඳහන් කළේය.

එවැනි අවස්ථාවක තමන්ට මැතිවරණ කොමිසමේ තීන්දුව මත ඉදිරි පියවර ගැනීමට සිදුවන බව ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න මන්ත්‍රීවරයා බීබීසී සිංහල සේවයට පැවසීය.

කෙසේ වුවත් මැතිවරණ කොමිසම ජනාධිපතිවරයාගේ නියෝගය පිළිගැනීමට බැඳී සිටින බව හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වාගේ ස්ථාවරය වී තිබේ.

ඒ පිළිබඳ විමසූ අවස්ථාවේ ජනාධිපති නීතිඥ ප්‍රසන්ත ලාල් ද අල්විස් කියා සිටියේ එවැනි තත්වයක් මතුවුවහොත් එය "ජාත්‍යන්තර සටනක්" බවට පත්විය හැකි බවය.

"පුරවැසියෙක් විදියට මගේ ප්‍රාර්ථනාව මේක සිරියාවක් හෝ අරාබියක් නොවේවා කියල," ඔහු පැවසීය.

"හදිසියේ මේක ගැටුමක් විදියට පරිවර්තනය වුනොත්, ගැටුම් පාරට යනවා.එහෙම වුනොත් 83 ජූලි කලබලවලටත් වඩා ඉතාම භයානක තත්වෙකට යනවා. ඊට පස්සේ ඒකට ජාත්‍යන්තරය අත පොවනවා. ඒක ගැන මට හරි බියක් දැනෙනවා." ජනාධිපති නීතිඥ ප්‍රසන්ත ලාල් ද අල්විස් වැඩිදුරටත් කියා සිටියේය.

තවත් කියවන්න:

එජාපයෙන් විරෝධතාවක්: "ජනතාව විකල්ප මාර්ගවලට යොමුවිය හැකියි"

ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය