ඩී. ඒ. රාජපක්ෂ කෞතුකාගාරය: ගෝඨාභයට මසකට විදේශගත වීමට අවසර

Image copyright Getty Images

මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරය දරන සමයේදී, මැදමුලන වීරකැටිය ප්‍රදේශයේ ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේදී රුපියල් මිලියන 34කට ආසන්න රජයට අයත් මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට දෙසැම්බර් මස 14 වෙනිදා සිට මාසයක කාලයක් සඳහා විදේශගත වීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල සිකුරාදා (09) අවසර ලබා දුන්නේය.

නඩුව සිකුරාදා පෙරවරුවේ සම්පත් අබේකෝන් (සභාපති), සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම අවසරය ලැබිණි.

ඒ අනුව, දැනට අධිකරණය භාරයේ පවතින ගෝඨාභය රාජපක්ෂගේ විදේශ ගමන් බලපත්‍රය තාවකාලිකව ඔහු වෙත මුදා හරින ලෙස නියම කළ අධිකරණය, ඔහුට පණවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන මෙන් ද ආගමන සහ විගමන පාලකවරයාට නියෝග කළේය.

විදේශගත වී පෙරළා දිවයිනට පැමිණීමෙන් පසුව විදේශ ගමන් බලපත්‍රය යළි අධිකරණයට භාර දිය යුතු බවට ද හිටපු ආරක්ෂක ලේකම්වරයාට අධිකරණය නියම කළේය.

මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා ඉල්ලීමක් කරමින් සඳහන් කළේ, දෙසැම්බර් මස 14 වෙනිදා සිට මාසයක කාලයක් සඳහා තම සේවාදායකයාට විදේශගත වීමට අවශ්‍යව ඇති බවය.

ඒ සඳහා අධිකරණය මගින් දැනට පනවා ඇති විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ද ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ, විත්තිකරු විදේශගත වන කාල සීමාව තුළ නඩු විභාගය පැවැත්වෙන්නේ නම් ඔහු නොමැතිව නඩු විභාග කිරීමේ වගකීම විත්ති පාර්ශ්වය භාර ගන්නේ නම් මෙම විදේශගත වීමේ ඉල්ලීම සම්බන්ධයෙන් තමන් විරුද්ධ නොවන බවය.

Image caption ඩී. ඒ. රාජපක්ෂ කෞතුකාගාරයේ සංචාරයක නිරත හිටපු ජනපති මහින්ද රාජපක්ෂ

මෙහිදී විත්තිකාර ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි කරුණු දැක්වූයේ, මෙම නඩුවේ ලැයිස්තුගත කර තිබෙන ඇතැම් ලේඛන මේ දක්වා පැමිණිලි පාර්ශවය තමන් වෙත ලබා දී නොමැති බවටය.

ඊට පිළිතුරු දෙමින් රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පිරිස් කියා සිටියේ, ප්‍රායෝගිකව ලබා දිය හැකි ලේඛන සියල්ල විත්තිය වෙත ලබා දීමට තමන් කටයුතු කරන බවය.

ඒ අනුව නිසි පරිදි ලේඛන ලැබී තිබේ ද යන්න පරීක්ෂා කිරීම සඳහා නඩුව නැවත ලබන 27 වෙනිදා කැඳවීමට විනිසුරුමඩුල්ල තීන්දු කළේය.

මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති ප්‍රසාද් හර්ෂණ ද සිල්වා සහ එම ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් වශයෙන් කටයුතු කළ භද්‍රාවතී කමලදාස, සුධම්මික ආටිගල, සමන් කුමාර ගලප්පත්ති, ඩී. මෙන්ඩිස් සාලිය සහ මල්ලිකා කුමාරි සේනාධීර යන අය නම් කර තිබේ.

ඉකුත් රජය සමයේ මැදමුලන ප්‍රදේශයේ ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් මිලියන 33.9 ක මුදලක් යොදවා එම මුදල සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව පොදු දේපළ පනත යටතේ නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබේ.

හිටපු ආරක්ෂක ලේකම්වරයා ඉහත කී චෝදනා ප්‍රතික්ෂේප කරයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර