ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය: පාර්ලිමේන්තුව විසුරුවීමට එරෙහිව මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයෙකුගෙන් පෙත්සමක්

Image copyright Getty/election commission

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ මහ මැතිවරණයක් පැවැත්වීම නීති විරෝධී බව දක්වමින් නීතිපති, මැතිවරණ කොමිසමේ සභාපති ඇතුළු වගඋත්තරකරුවන් පස් දෙනෙකුට එරෙහිව ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබ තිබේ.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් වන්නේ, පිළිවෙළින් නීතිපතිවරයා, ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය, ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික එන් ජේ අබේසේකර, මැතිවරණ කොමසාරිස් ජනරාල් එම් ඒ පී සී පෙරේරා සහ ජනාධිපති ලේකම් උදය සෙනෙවිරත්න වෙති.

පෙත්සමේ සුවිශේෂී කරුණු

ඔහු සිය පෙත්සමෙන් දක්වා ඇත්තේ, පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය නීතියට පටහැනි සහ ව්‍යවස්ථානුකූල නොවන බවය.

නිදහස් සහ සාධාරණ මැතිවරණයක් සඳහා අවශ්‍ය ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස්වලට අනුකූල නොවී අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව ද පෙත්සම්කරු පවසයි.

එහි දැක්වෙන්නේ, පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථාවට පටහැනි සහ නීතිවිරෝධී ක්‍රියාවක් බව නොවැම්බර් 10 වන දා රැස්වූ අවස්ථාවේ ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ සියලු සාමාජිකයින්ගේ අදහස වූ බවය.

කෙසේ වෙතත්, නීතිවිරෝධී බව පසෙකලා මැතිවරණයට සූදානම් විය යුතු බවට දෙවන සහ තුන් වන වගඋත්තරකරුවන් අදහස් පළ කළ බව එහි සඳහන් වේ.

මේ ගැනත් කියවන්න:

නීතිමය පසුබිම කවරක් වුවද ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව ඡන්දය පැවැත්වීමට අවශ්‍ය පියවර ගත යුතුය යන අදහසට මැතිවරණ කොමිසමේ සාමාජිකයෙක් ලෙස තමන්ට අනුගතවිය නොහැකි බව පෙත්සම්කාර මාහාචාර්ය රත්නජීවන් පවසයි.

පසුව තමන් මැතිවරණ කොමිෂන් සභාව හමුවේ ඊට එරෙහිව අදහස් පළ කළ අතර කොමිසමේ බහුතර සාමාජික එකඟත්වය මත (දෙවන හා තෙවන වගඋත්තරකරුවන්) මැතිවරණය පැවැත්වීමට අදාළ බලය සිව් වන වගඋත්තරකරු (මැතිවරණ කොමසාරිස් ජනරාල්) වෙත පැවරීමට ක්‍රියා කළ බව ද පෙත්සම්කරු සඳහන් කර තිබේ.

කෙසේ වෙතත්, මැතිවරණ කොමිෂන් සභාව මහ මැතිවරණයක් නොපැවැත්විය යුතුය යන අදහස මත, එම බලය පැවරීමේ ලිපියට අත්සන් තැබීම තමන් ප්‍රතික්ෂේප කළ බව මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් ඉදිරිපත් කළ පෙත්සමේ දැක්වේ.

පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර කැමැත්තක් මත එය විසුරුවන ලෙස ඉල්ලීමක් නොමැති නම්, වසර 4 ක් සහ මාස 6 ක් ගත වන තුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය නොමැති බවට ව්‍යවස්ථාවේ සඳහන් කර ඇති තත්ත්වයක් තුළ ජනාධිපතිවරයා නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රය නීතියට පටහැනි බව ද එම පෙත්සමේ දක්වා ඇත.

"මූලික අයිතිවාසිකම් කඩ වෙලා"

නිදහස්, සාධාරණ සහ නීත්‍යනුකූ මැතිවරණ පැවැත්වීම සිය එක ම රාජකාරිය වන හෙයින් මෙම නීතිවිරෝධී ක්‍රියාව අභිමුව අන්ධයෙකු ලෙස ක්‍රියා කළ නොහැකි බව ද මහාචාර්ය රත්නජීවන් හූල් සිය පෙත්සමෙන් දක්වා තිබේ.

ඔහු සඳහන් කර ඇත්තේ, ජනාධිපතිවරයා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් දන්වා ඇති පරිදි මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ලෙස තමන්ට නීතිවිරෝධී මැතිවරණයක් පැවැත්වීම සඳහා ක්‍රියා කිරීමට සිදුව ඇති බවය.

ව්‍යවස්ථාව සහ නීතිය ආරක්ෂා කිරීම සිය මූලික රාජකාරිය බව ද මහාචාර්යවරයා එහි සඳහන් කර තිබේ.

ඒ අනුව, අදාළ ගැසට් නිවේදනය මගින් පෙත්සම්කරුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වීමක් සිදු වන බව එම පෙත්සමෙන් පෙන්වා දී තිබේ.

ඒ අනුව, පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ, පෙත්සම්කරුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බව ප්‍රකාශ කිරීම, අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනයේ සඳහන් නියෝග නිෂ්ප්‍රභ කිරීම, පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට එරෙහිව තහනම් නියෝගයක් නිකුත් කිරීම ඇතුළු කාරණා සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කරන ලෙසය.

පෙත්සම්කරුගේ අත්සන නොමැතිව මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයාට බලය පැවරූ ලිපිය පහත දැක්වේ.

මේ අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීමට කළ නියෝගය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට වෙත මූලික අයිතිවාසිකම් පෙත්සම් 10 ක් පමණ ඉදිරිපත් වී තිබේ.

එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, සමස්ත ලංකා මහජන කොංග්‍රසය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ නීතිඥ අරුණ ලක්සිරි ඇතුළු පාර්ශ්ව විසින් පෙත්සම ඉදිරිපත් කරනු ලැබ ඇත.

පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති ධුරයේ දිවුරුම් දුන් මහින්ද රාජපක්ෂ, මැතිවරණ කොමිසම සහ එහි සාමාජිකයන් නම් කරනු ලැබ තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වෙනි සංශෝධනය ප්‍රකාරව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති බව පෙත්සම්කාර පාර්ශ්ව පවසති.

එමෙන් ම පාර්ලිමේන්තුව මෙලෙස විසුරුවා හැරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ක්‍රියාවක් බව ද පෙත්සම්කරුවෝ පෙන්වා දෙති.

ඉහත කී කරුණු සලකා බලා පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බලරහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඔවුහු ඉල්ලා සිටිති.

විභාග කර අවසන් තීන්දුවක් ලබා දෙන තෙක් පාර්ලිමේන්තු මැතිවරණය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ද පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියහ.

අදාළ පෙත්සම් සඳුදා (නොවැ 12) අගවිනිසුරු නලීන් පෙරේරා ඉදිරියේ සලකා බැලීමට නියමිතය.

මේ අතර, තවදුරටත් පෙත්සම් ලැබෙමින් පවතින බව ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා බීබීසී සිංහල සේවයට පැවසීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පසුගිය සිකුරාදා (නොවැ 9) පාර්ලිමේන්තුව විසුරුවා හරින ලදුව ජනවාරි 5 වෙනිදා මහ මැතිවරණය කැඳවීමට දින නියම කරන ලදී.

රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කර ඒ සඳහා මහින්ද රාජපක්ෂ පත් කරනු ලැබීම සහ පාර්ලිමේන්තුව විසිරුවා හරිනු ලැබීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට ව්‍යවස්ථාවෙන් බලය හිමිව ඇති බව මෛත්‍රිපාල - මහින්ද පාර්ශ්වය පවසයි.

ඒ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය කියා සිටියේ යම් පාර්ශ්වයක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් එහි මතය විමසීමෙන් පසුව මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් තහනම් නියෝගයක් ගතහොත් ඊට අනුව ක්‍රියා කරන බවත් එතෙක් මහමැතිවරණයට අදාළ වැඩ කටයුතු ක්‍රියාත්මක කරගෙන යාමට සිය නිලධාරීන් බැදී සිටින බවත්ය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර