ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය: "අනවශ්‍ය ගැටුමක් නිර්මාණය කළේ ඔබයි" කතානායක ජනපතිට ප්‍රතිචාර දක්වයි

ඔක්තෝම්බර් 26 වෙනිදා ගත් ක්‍රියාමාර්ගය හේතුවෙන් රට දැඩි අස්ථාවර තත්ත්වයකට පත්ව විධායකය සහ ව්‍යවස්ථාදායකය අතර අනවශ්‍ය ගැටුමක් නිර්මාණය වී ඇතැයි කතානායක කරු ජයසූරිය, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට පෙන්වා දී තිබේ.

කතානායකවරයා මේ බව සඳහන් කර ඇත්තේ, ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් බදාදා පාර්ලිමේන්තුවේදී සම්මත කෙරුණු බව දන්වමින් යොමු කරන ලද ලිපියට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දක්වා තිබූ ලිඛිත ප්‍රතිචාරයට පිළිතුරු ලිපියක් යවමිනි.

එහි සඳහන් වන්නේ, අදාළ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් නිසි ඡන්ද විමසීමක් කිරීමට තමන් තුන් වරක් පාර්ලිමේන්තුව තුළ උත්සහ කළ ද ඊට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පිරිසක් "හිතාමතා ම" බාධා කළ හෙයින් ස්ථාවර නියෝග අනුව කටහඬ අනුව බහුතරය ලබා ගත් බවය.

එය ස්ථාවර නියෝගවලට හෝ පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුකූල නොවන බව "ඔබ තුමා වැනි පාර්ලිමේන්තුවේ අත්දැකීම් ඇති පරිණත දේශපාලනඥයෙකු" සඳහන් කර තිබීම පිළිබඳව "මවිතයට පත් වන" බව ද කරු ජයසූරිය සිය ලිපියෙහි දක්වා තිබේ.

ඔහු පෙන්වා දී ඇත්තේ, අදාළ විශ්වාසභංග යෝජනාවට සහය පළ කළ මන්ත්‍රීවරුන් 122 අතර රජයේ මැති ඇමතිවරුන් ද සිටින අතර බහුතරයක් පවසන දේ පිළිගැනීම පක්ෂග්‍රාහී වීමක් නොවන බවය.

පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශයක් කරමින් අගමැති ධුරයට පත් කරන ලද මහින්ද රාජපක්ෂ කතානායකවරයා පක්ෂග්‍රාහීව කටයුතු කරන බවට චෝදනා කළේය.

පාර්ලිමේන්තු සම්ප්‍රදායට පටහැනිව කතානායක කරු ජයසුරිය කටයුතු කරන බවට මෛත්‍රිපාල - මහින්ද පාර්ශ්වය චෝදනා කරති.

කතානායකවරයා ජනාධිපතිවරයා වෙත යොමු කළ සම්පූර්ණ ලිපිය පහත දැක්වේ.

මේ අතර, බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේදී මහින්ද රාජපක්ෂ කළ ප්‍රකාශයේ ද කරු ජයසූරිය පක්ෂග්‍රාහී ලෙස ක්‍රියාකරන බවට චෝදනා කළේය.