දේශපාලන අර්බුදය: විශේෂ ආරක්ෂාවක් යටතේ පාර්ලිමේන්තුව රැස්වෙයි

පාර්ලිමේන්තුව සඳුදා (19) පස්වරු 1.00 ට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ. ඒ විශේෂ ආරක්ෂාවක් යටතේය.

කතානායක කාර්යාලය පැවසුවේ, පෙරවරුවේ පක්ෂ නායක රැස්වීමක් ද පැවැත්වෙන අතර පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳව එහිදී සාකච්ඡා කෙරෙනු ඇති බවය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු බීබීසී සිංහල සේවයට පැවසුවේ, විශ්වාසභංග යෝජනාව නිවැරදි ක්‍රමවේදයක් අනුව ඉදිරිපත් කළ යුතු බවය.

මේ අතර, රජය විශ්වාසභංග යෝජනාවලට කිසිදු බියක් නොදක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ බීබීසී සිංහල සේවයට පැවසීය.

ඔහු ප්‍රකාශ කළේ, "විශ්වාසභංගය නිසි පරිදි ඉදිරිපත් නොකරන්නේ නම් එය පිළිගැනීමට සූදානම් නැති" බවය.

"නීති විරෝධී ලෙස බලයට පැමිණි රජයක් නීත්‍යනුකූලභාවය ගැන කතා කිරීමක්" බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් බීබීසී සිංහල සේවයට පැවසීය.

මේ අතර, එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් බීබීසී සිංහල සේවයට ප්‍රකාශ කළේ, ඉදිරියේදී ආරම්භ වීමට නියමිත නඩු රැසකින් බේරී සිටීම සඳහා මෙවැනි අර්බුදයක් නිර්මාණය කර ඇති බවය.

මේ අතර, අද දිනයේදී පාර්ලිමේන්තුව මහජනතාව සඳහා විවෘත නොවන අතර පාර්ලිමේන්තු සභා ගර්භය තුළ ද ආරක්ෂාව තර කර තිබේ.

මේ අතර, ඉරිදා පැවති පක්ෂ නායක සාකච්ඡාවේදී ජනාධිපතිවරයා දැනුම් දී ඇත්තේ, විශ්වාසභංගයට අදාළව මන්ත්‍රීවරුන්ගේ නමින් හෝ ඉලෙක්ට්‍රෝනික ක්‍රමය භාවිතයෙන් ඡන්දය ප්‍රකාශ කළහොත් ඒ සම්බන්ධයෙන් සලකා බැලිය හැකි බවය.

Image copyright Www.news.lk

පාර්ලිමේන්තුව තුළ සාමකාමීව කටයුතු කිරීම සඳහා සියලු පක්ෂ එහිදී එකඟත්වයකට පැමිණි බව ද ජනාධිපති කාර්යාලය නිවේදනය කළේය.

මෙම සාකච්ඡාවට කතානායක කරු ජයසූරිය සහ ජනතා විමුක්ති පෙරමුණ සහභාගි වූයේ නැත.

එම සාකච්ඡාව සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

කෙසේ වෙතත්, සාකච්ඡාවෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පැවසුවේ, එකඟතාවකින් තොරව සාකච්ඡාව අවසන් වූ බවය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර