පාර්ලිමේන්තුව විනාඩි හයකට සීමා වෙයි: 23 වෙනිදා දක්වා කල් තැබේ

නියෝජ්‍ය කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 1.00ට ආරම්භ වූ පාර්ලිමේන්තුවේ කටයුතු මිනිත්තු හයකට සීමා විය.

එහිදී, පාර්ලිමේන්තුව කල් තැබීමට පෙර මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල නියෝජ්‍ය කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේ, පසුගිය 14,15 සහ 16 යන දිනවලදී පාර්ලිමේන්තුවේ රාජ්‍ය දේපොළවලට අලාභ හානි කළ මන්ත්‍රීවරුන් පිළිබඳව සොයා බලා ඔවුන්ට එරෙහිව නීතියට අනුව කටයුතු කරන ලෙසය.

ඒ සම්බන්ධයෙන් කතානායකවරයා දැනුවත් කරන බව නියෝජ්‍ය කතානායකවරයා සඳහන් කළේය.

මේ අතර, මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන පැවසුවේ, වත්මන් අගමැති සහ රජය පිළිගනිමින් තේරීම් කාරක සභාව පත් කරන විට එහි බහුතරය රජයට හිමි විය යුතු බවය.

එහිදී අසුනින් නැගී සිටි මංගල සමරවීර මන්ත්‍රීවරයා අවධාරණය කළේ, "රජයක්, මේ වෙලාවේ ශ්‍රී ලංකාවේ නොමැති" බවය.

අනුර කුමාර දිසානායක පැවසුවේ, 15 වෙනිදා කතානායකවරයා සභාවට දැනුම් දුන් පරිදි අගමැතිවරයෙකු හෝ රජයක් නොමැති හෙයින් තේරීම් කාරක සභාවේ බහුතරය පත් කළ රජයට ලබා දීම යුක්තිසහගත නොවන බවය.

එය පක්ෂ නියෝජනය අනුව තීරණය කළ යුතු බව අනුර කුමාර දිසානායක පෙන්වා දුන්නේය.

ඒ අනුව, පාර්ලිමේන්තුව නොවැම්බර් 23 වන සිකුරාදා පෙරවරු 10.30 දක්වා කල් තැබිණි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර