ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය: පාර්ලිමේන්තුව යළි රැස් කිරීමට ගත් තීන්දුව "නීති විරෝධීයි" ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Image copyright Getty Images

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරනු ලැබ තිබියදී, විසුරුවා හැර තිබෙන පාර්ලිමේන්තුව යළි කැඳවීමට කතානායකවරයා ගත් තීරණය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත්වී තිබේ.

රියර් අද්මිරාල් සරත් වීරසේකර විසින් පෙත්සම ඉදිරිපත් කර ඇති අතර එහි වගඋත්තරකරුවන් ලෙස කතානායකවරයා, නීතිපතිවරයා සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරයා නම් කරනු ලැබ ඇත.

එක්සත් ජාතික පක්ෂය ,දෙමළ ජාතික සන්ධානය ඇතුළු දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන ඉදිරිපත් කළ පෙත්සම් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය, පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන නිකුත් කර තිබූ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් නියෝගයක් නිකුත් කර ඇති අවස්ථාවක, විසිරුවා හැර ඇති පාර්ලිමේන්තුව යළි රැස් කිරීමට කතානායකවරයා ගත් පියවර ව්‍යවස්ථාවට පටහැණි ක්‍රියාවක් බව සරත් විරසේකර පවසයි.

Image copyright Getty Images/BBC

ඉහත කී ක්‍රියාකලාපය තුළින් කතානායකවරයා ඇතුළු වගඋත්තරකරුවන් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් නැවත පාර්ලිමේන්තුව රැස් කිරීමේ ක්‍රියාවලිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඉල්ලමින් සරත් වීරසේකර අදාළ පෙත්සම ඉදිරිපත් කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය නොවැම්බර් 09 වෙනිදා පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කළේ නොවැම්බර් 13 වෙනිදාය.

තවදුරටත් කියවන්න:

මැතිවරණ පැවැත්වීම වළක්වාලමින් තවත් අතුරු නියෝගයක් ද ශ්‍රේෂ්ඨාධිකරණය එදිනම මැතිවරණ කොමිසම වෙත නිකුත් කරන්නට යෙදිණි.

මෙම අතුරු නියෝග ලබන දෙසැම්බර් මස 7 වෙනිදා දක්වා බලපැවැත්වෙන අතර පෙත්සම් විභාගය දෙසැම්බර් මස 4, 5 සහ 6 යන දිනවල පවත්වන බව ද අධිකරණය තීන්දු කළේය.

පුරා දින දෙකක් තිස්සේ පැවති දීර්ඝ කරුණු සලකා බැලීම් වලින් පසුව එම නියෝග නිකුත් කරනු ලැබුවේ අග විනිසුරු නලින් පෙරේරා, ප්‍රියන්ත ජයවර්ධන සහ ප්‍රසන්න ජයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසිනි.

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර