ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය: රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාව සහ කලකදී රස වන, කලකදී වහ වන 'විදේශ මැදිහත් වීම්'

Image copyright Sena Vidanagama/ Getty images
Image caption 1987 ජුලි 30 වෙනි දින කොළඹදී ඉන්දීය අගමැති රජීව් ගාන්ධිට පහරදුන් අවස්ථාව

පසුගිය ඔක්තෝබර් 26 වන දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අගමැති රනිල් වික්‍රමසිංහ බලයෙන් පහකර මහින්ද රාජපක්ෂ නව අගමැතිවරයා වශයෙන් පත් කරනු ලැබීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව මුහුණ දී සිටින දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයන් දක්වන ප්‍රතිචාර අවධානයට ලක්වෙමින් පවතී.

බදාදා (නොවැම්බර් 21) කොළඹදී මාධ්‍ය හමුවක් අමතා අදහස් දැක්වූ හිටපු විදේශ ලේකම් පාලිත කොහොන, ශ්‍රී ලංකාවේ සිටින විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයන් ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් කරන මැදිහත් වීම් විවේචනය කර තිබිණි.

"ජාත්‍යන්තර නීතිය සහ ක්‍රමවේදය අනුගමනය කරමින් විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයන් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි නොගසන්නේ නම් කෙතරම් අගනේ දැයි," අදාළ මාධ්‍ය සාකච්ඡාවෙන් පසු අවස්තාවක ඔහු බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් ප්‍රශ්න කළේය.

ඒ අතර, පසුගිය දා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ නිකුත් කළ ට්විටර් පණිවුඩයකට ශ්‍රී ලංකාවේ සිටින කැනඩා තානාපති ඩේවිඩ් මැකිනන් ප්‍රතිචාර දැක්වීමත් සමග එය ට්විටර් ජාලය ඔස්සේ දීර්ඝ සංවාදයකට තුඩු දී තිබිණි.

තානාපතිවරයා එසේ ප්‍රතිචාර දක්වා තිබුණේ, එක්සත් ජාතික පක්ෂයේ, ජනතා විමුක්ති පෙරමුණේ සහ දෙමළ ජාතික සන්ධානයේ දේශපාලනඥයන් ජාත්‍යන්තර ප්‍රජාව හමුවනු වෙනුවට තමන්ගේ ඡන්දදායකයන් හමුවීමට උත්සහ දැරුවේ නම් වඩා යහපත් නොවන්නේ දැයි විමසමින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා නිකුත් කළ ට්විටර් පණිවුඩයකටය.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට කැනඩා තානාපති ඩේවිඩ් මැකිනන්ගේ ප්‍රතිචාරය වූයේ, තමන්ගේ පොදුජන පෙරමුණේ සාමාජිකයන් මුණගැසෙන්නේ කවරෙකු දැයි විමසා බලන ලෙසය.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා එයට ද ප්‍රතිචාරයක් පළ කර තිබූ අතර, සංවාදයට එක්වෙමින් අදහස් දක්වන සමාජ ජාල විශ්ලේෂකයෙකු වන යුධන්ජය විජේරත්න පෙන්වා දී තිබුණේ, "ආණ්ඩුවට එරෙහිව කටයුතු කිරීම සඳහා ජිනීවා නුවරට නොව ලොව ඕනෑ ම තැනකට, අවශ්‍ය නම් යකා ළඟට පවා යාමට සූදානම්" බව මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා 1990 ඔක්තෝබර් 25 වන දින පාර්ලිමේන්තුවේදී සඳහන් කළ බවය.

මේ අතර, පසුගිය නොවැම්බර් 16 වන දින ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හැසිරීම සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කළ කොළඹ සිටින බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජේම්ස් ඩවුරිස්, එදින කලහකාරී ලෙසින් හැසිරුණු මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකලාපය විග්‍රහ කර තිබුණේ, "නින්දිත හැසිරීමක්" ලෙසිනි.

මන්ත්‍රීවරුන් විසින් ම බාධා කරන විට කිසිදු පාර්ලිමේන්තුවකට සිය කටයුතු පවත්වාගෙන යා නොහැකි බව ද එහි සඳහන් විය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය නොවැම්බර් 09 වන දින හදිසියේ ම පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ අවධානය පළ කරමින් මහ කොමසාරිස්වරයා ඊට ඉහතදී තවත් ට්විටර් පණිවුඩයක් නිකුත්කර තිබිණි.

එම නිවේදනවලට ප්‍රතිචාර පළ කරමින් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජේම්ස් ඩවුරිස් වෙත ලිපියක් යොමු කළ වෛද්‍ය අනුරුද්ධ පාදෙණියගේ සභාපතිත්වයෙන් යුත් වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ, වියෙනා සම්මුතියෙන් එකඟ වී තිබෙන රාජ්‍ය තාන්ත්‍රික සම්ප්‍රදායන් උල්ලංඝණය කරමින් කටයුතු කරන බවට මහ කොමසාරිවරයාට චෝදනා කර තිබිණි.

එබැවින් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමෙන් වළකින මෙන් ද එම සංවිධානය මහ කොමසාරිවරයාගෙන් ඉල්ලීමක් කර තිබිණි.

තවත් කියවන්න:

ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදයේ අලුත් ම ගැටලුව

ජනපති මෛත්‍රීට පාර්ලිමේන්තුව විසුරුවිය හැකිද?

හිටපු විදේශ ලේකම් පාලිත කොහොන, වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ ඇතුළු පාර්ශව මතු කරන විවේචන සම්බන්ධයෙන් තානාපතිවරුන්ගේ ප්‍රතිචාරය ලබා ගැනීම පිණිස බීබීසී සිංහල සේවය උත්සහ දැරූ අවස්ථාවේ, තානාපති කාර්යාල කිහිපයක ම නිලධාරීන් කියා සිටියේ, අදාළ කරුණ සම්බන්ධයෙන් තානාපති නිලධාරීන් ප්‍රසිද්ධියේ අදහස් නොදක්වනු ඇති බවය.

ඉතිහාසය කෙටියෙන්

ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුද සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාවේ සහය පැතීම සහ මැදිහත් වීම කාලාන්තරයක් මුළුල්ලේ සිදුවන්නකි.

ජනතා විමුක්ති පෙරමුණ 1971දී රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් දියත් කළ අවස්ථාවේ එවක අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක එය මැඩපැවැත්වීම පිණිස ඉන්දියාවේ සහය පැතූ බව වාර්තාවල දැක්වේ.

1987දී එවක ජනාධිපති ජේආර් ජයවර්ධනගේ නායකත්වයෙන් පැවති ආණ්ඩුව එල්ටීටීඊ සංවිධානයට එරෙහිව යුද මෙහෙයුම් දියත් කර තිබුණු අවස්ථාවේ, අගමැති රජීව් ගාන්ධිගේ නායකත්වයෙන් යුත් ඉන්දීය ආණ්ඩුව උතුරු නැගෙනහිර ප්‍රදේශවලට ගුවනින් ආහාර හෙළීම එවැනි තවත් අවස්ථාවකි.

Image copyright Sajith premadasa/ facebook

ඉන් අනතුරුව ඉන්දියාවෙන් එල්ල වූ පීඩනය හමුවේ ඉන්දු-ලංකා ගිවිසුමට අත්සන් තැබුණු අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය සම්මත කොට පළාත් සභා පිහිටුවනු ලැබුවේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.

එමෙන් ම 80 දශකයේ අග භාගයේ ජනතා විමුක්ති පෙරමුණේ දෙවන කැරැල්ල දියත් වූ අවස්ථාවේ එවක විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරයෙකු වූ මහින්ද රාජපක්ෂ, වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා ද සමග ජිනීවා නුවරට ගොස් ප්‍රේමදාස ආණ්ඩුවේ මර්දනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට පැමිණිලි කළහ.

මේ අතර, ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගසන බවට චෝදනා කරමින් ආර් ප්‍රේමදාස ජනාධිපතිවරයා විසින් 1991දී එවක කොළඹ සිටි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඩේවිඩ් ග්ලැඩ්ස්ටන් රටින් පිටුවහල් කරනු ලැබීය.

ඒ පිළිබඳව 2008 ජූලි මාසයේ ලන්ඩන් නුවරදී බීබීසී සිංහල සේවය සමග අදහස් දැක්වූ ඩේවිඩ් ග්ලැඩ්ස්ටන්, ඒ අවස්ථාවේ තමන් ක්‍රියා කළේ, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සුරැකීම පිණිස මැදිහත් වන මෙන් බ්‍රිතාන්‍ය ආණ්ඩුවෙන් ලැබුණු පැහැදිලි උපදෙස් මත බව සඳහන් කළේය.

එය රාජ්‍ය තාන්ත්‍රික කටයුතු පිළිබඳ එතෙක් පැවති සම්ප්‍රදායෙන් බැහැරවීමක් බව ද ඔහු පෙන්වා දුන්නේය.

එල්ටීටීඊයට එරෙහි යුද්ධයේ අවසාන අදියරේදී ද ශ්‍රී ලංකාවේ කටයුතුවලට ඇඟිලි ගසන බවට ආණ්ඩුව සහ ඇතැම් සංවිධාන බොහෝ විදේශීය රටවලට චෝදනා එල්ල කළහ.

එහෙත් යුද අවි සැපයීම, රහස් ඔත්තු තොරතුරු බෙදා ගැනීම, රේඩාර් උපකරණ බෙදා ගැනීම වැනි බොහෝ අංශවලින් ඉන්දියාව, චීනය, පාකිස්තානය, මහා බ්‍රිතාන්‍යය සහ ඇමෙරිකා එක්සත් ජනපදය වැනි රටවල් ඒ අවස්ථාවේ ශ්‍රී ලංකා ආණ්ඩුව සමග සමීපව කටයුතු කළේය.

ඒ අතර ම යුද්ධයේ අවසාන භාගයේදී බරපතළ මානව හිමිකම් උල්ලංඝණයන් සිදු වූ බවට චෝදනා එල්ල වූ අවස්ථාවේ ඉන්දියාව සහ බටහිර රටවල් ඒ පිළිබඳව බරපතළ අවධානය පළ කළේය.

තවත් කියවන්න: