ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය: එජනිස 7 දෙනෙකු තේරීම් කාරක සභාවට නම් කිරීම ගැන සෙසු පක්ෂවල විරෝධය

ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය තුළ මේ වන විට කරළියට පැමිණ ඇති ප්‍රධානතම ගැටලුවක් වන්නේ, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සංයුතිය පිළිබඳ ගැටලුවයි.

මෙම ගැටලුව උද්ගත වූයේ, තේරීම් කාරක සභාවේ බහුතරය මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පාර්ශවයට අවශ්‍ය බවට දිනේෂ් ගුණවර්ධන පසුගිය 19 වන දා පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී සභාවට දැනුම් දීමත් සමගය.

එහෙත්, එම අවස්ථාවේදී ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඊට එරෙහිව අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තුවේ බහුතරය නොමැති පාර්ශවයකට තේරීම් කාරක සභාවේ බහුතර බලය ලබා දීම යුක්තිසහගත නොවන බවය.

ඒ අනුව, පක්ෂවල මන්ත්‍රී සංයුතිය අනුව තේරීම් කාරක සභාව සකස් විය යුතු බව ඔහු එහිදී පෙන්වා දුන්නේය.

Image copyright Getty Images

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් 7 දෙනෙක්

මෙවැනි තත්ත්වයක් පැවතියදී තේරීම් කාරක සභාව සඳහා තමන් සාමාජිකයින් 7 දෙනෙකු නම් කළ බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන කථානායකවරයාට දන්වා තිබේ.

මේ සඳහා නම් කර ඇත්තේ, දිනේෂ් ගුණවර්ධන, එස්.බී. දිසානායක, නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද සමරසිංහ, විමල් වීරවංශ, තිලංග සුමතිපාල හා උදය ගම්මන්පිල යන මන්ත්‍රීවරුන්ය.

ඔහු යැවූ ලිපියෙන් දක්වා තිබුණේ, ආණ්ඩු පක්ෂය ලෙස තමන් බහුතර සාමාජිකයින් ගණනක් නම් කළ බවයි.

"බහුතරය දෙන්න අපි ඉඩ දෙන්නේ නෑ" - එජාප

කෙසේ වෙතත්, "තේරීම් කාරක සභාවේ බහුතරය කිසිලෙසකින් එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලබා දීමට ඉඩ නොදෙන" බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් බීබීසී සිංහල සේවයට පැවසීය.

ඔහු ප්‍රකාශ කළේ, එක්සත් ජනතා නිදහස් සන්ධානයට සාමාජිකයින් 5 දෙනෙකුට වඩා පත් කිරීමට කිසිදු හැකියාවක් නොමැති බවය.

ඉතිරි සාමාජිකයින් 7 දෙනා එක්සත් ජාතික පක්ෂය, ඉලංගෙයි තමිල් අරසු කට්චි සහ ජනතා විමුක්ති පෙරමුණ අතර බෙදී යා යුතු බව ඔහු පෙන්වා දුන්නේය.

"ආණ්ඩුවක් නැතිව බහුතරයක් දෙන්නෙ කොහොම ද?" - ජවිපෙ

නොවැම්බර් 14 වන දා පාර්ලිමේන්තුවේදී සම්මත වූ විශ්වාසභංගය සම්බන්ධයෙන් නිකුත් කර ඇති හැන්සාඩ් වාර්තාවට අනුව මේ වන විට ශ්‍රී ලංකාවේ ආණ්ඩුවක් හෝ අගමැතිවරයෙකු හෝ කැබිනට් මණ්ඩලයක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක බීබීසී සිංහල සේවයට පැවසීය.

"ව්‍යවස්ථාවේ 48:2 වගන්තිය අනුව විශ්වාසභංගයක් සම්මත වුණාට පස්සේ රටේ ආණ්ඩුවක් හෝ අගමැතිවරයෙකු හෝ කැබිනට් මණ්ඩලයක් නෑ. ජනාධිපතිවරයා කළ යුත්තේ විශ්වාසභංගයේ ඇද පළුදු හොය හොය ඉන්න එක නෙවෙයි. අලුත් ආණ්ඩුවක් පත් කළ යුතුයි."

නොවැම්බර් 14 වන දා විශ්වාසභංගය සම්මත වූ බව දැක්වෙන හැන්සාඩ් වාර්තාව පහත දැක්වේ.

"මේ හැන්සාඩ් වාර්තාව අනුව රටේ ආණ්ඩුවක් හෝ කැබිනට් මණ්ඩලයක් නෑ. එවැනි අවස්ථාවක පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සකස් විය යුත්තේ පාර්ලිමේන්තුවේ ඒ ඒ පක්ෂ සංයුතිය අනුව පමණයි." අනුර දිසානායක පෙන්වා දුන්නේය.

ඔහු ප්‍රකාශ කළේ, තේරීම් කාරක සභාවේ සංයුතිය සම්බන්ධයෙන් කතානායක කරු ජයසූරියගෙන් විමසීමක් කර ඇති බවය.

"නොවැම්බර් 19 වෙනි දා පක්ෂ නායක රැස්වීමේදී තීරණයක් ගත්තා පක්ෂ සංයුතිය අනුව තේරීම් කාරක සභාව පත් කරන්න. එහෙම තියෙද්දී මේ අනවශ්‍ය ප්‍රශ්නයක් මතු කරමින් සිටින්නේ."

කෙසේ වෙතත්, බ්‍රහස්පතින්දා (22) දහවල් පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මහින්ද සමරසිංහ පැවසුවේ, පක්ෂයක් ලෙස පාර්ලිමේන්තුවේ වැඩි ම නියෝජනය එක්සත් ජනතා නිදහස් සන්ධානයට පවතින හෙයින් බහුතරය තමන්ට හිමි විය යුතු බවය.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සංයුතිය සම්බන්ධයෙන් කතානායක කරු ජයසූරිය මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැතැයි කතානායක මාධ්‍ය අංශය බීබීසී සිංහල සේවයට පැවසීය.

එම අවසන් තීරණය සිකුරාදා (23) පාර්ලිමේන්තුව රැස්වීමට පෙර ගනු ඇතැයි කතානායක මාධ්‍ය අංශය සඳහන් කළේය.

මේ තොරතුරුද දැනගන්න:

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව යනු කුමක් ද?

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව 'තේරීම් කාරක සභාව' පහත ආකාරයට අර්ථ දක්වා ඇත.

ආංශික අධීක්ෂණ කාරක සභාවල සහ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවල සංයුතිය, සාමාජික සංඛ්‍යාව, ඒවායේ කර්තව්‍ය සහ ගණපූරණය තීරණය කරනු ලැබීම සඳහා ද ඒ සම්බන්ධව සිය මතය හැකි පමණ ඉක්මනින් පාර්ලිමේන්තුවට වාර්තා කරනු ලැබීම සඳහා ද කාරක සභාවල සේවය කිරීම සඳහා ද මන්ත‍්‍රීවරයන් නම් කරනු පිණිස සෑම සභාවාරයක් ආරම්භයේ දී ම, 'තේරීම් කාරක සභාව' යනුවෙන් හඳුන්වනු ලබන කාරක සභාවක් පත්කරනු ලැබේ.

තේරීම් කාරක සභාව කථානායකවරයාගේ සභාපතිත්වයෙන් සහ දේශපාලන පක්ෂවල නායකයන් හෝ ඔවුන්ගේ නියෝජිතයන් ද ඇතුළත්ව පාර්ලිමේන්තුව විසින් එක් එක් සභාවාරය ආරම්භයේ දී නම් කළ යුතු සාමාජික මන්ත‍්‍රීවරු දොළොස් දෙනෙකුගෙන් සමන්විත විය යුතු බව ද පාර්ලිමේන්තු වෙබ් අඩවියේ සඳහන්වේ.