පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සංයුතිය වැඩි ඡන්දයෙන් සම්මතයි

Image copyright Harsha De Silva/Twitter

ශ්‍රී ලංකාවේ දේශපාලනික අර්බුදයේ නවතම ගැටලුව බවට පත්ව තිබූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ මන්ත්‍රී සංයුතිය සිකුරාදා (නොවැ 23) පාර්ලිමේන්තුව ආරම්භ වූ අවස්ථාවේදී කතානායක කරු ජයසූරිය සභාවට දැනුම් දුන්නේය.

ඔහු ප්‍රකාශ කළේ, මේ සම්බන්ධයෙන් පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා කළ බවය.

ඒ අනුව, එහි සංයුතිය මෙසේය.

  • එක්සත් ජනතා නිදහස් සන්ධානය - 05
  • එක්සත් ජාතික පෙරමුණ - 05
  • දෙමළ ජාතික සන්ධානය - 01
  • ජනතා විමුක්ති පෙරමුණ - 01

දිනේෂ් ගුණවර්ධන

කතානායකවරයා ඉදිරිපත් කළ සංයුතිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන පැවසුවේ, කතානායකවරයා සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරයා ව්‍යවස්ථාවට අනුව කටයුතු කළ යුතු බවය.

මෙතෙක් පැවති පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව ආණ්ඩු පක්ෂය වන එක්සත් ජනතා නිදහස් සන්ධානයට සාමාජිකයින් 7 දෙනෙකු ඉල්ලා සිටින බව ඔහු සඳහන් කළේය.

ඒ අනුව, කතානායකවරයා ඉදිරිපත් කර ඇති මන්ත්‍රී සංයුතිය ප්‍රතික්ෂේප කරන බව ද දිනේෂ් ගුණවර්ධන අවධාරණය කළේය.

ලක්ෂ්මන් කිරිඇල්ල

එහිදී, නැගී සිටි එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළේ, මේ වන විට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයක් නොමැති බවත්, අගමැතිවරයෙකු හෝ සභානායකවරයෙකු නොමැති බවත්ය.

ඒ අනුව, එක්සත් ජනතා නිදහස් සන්ධානය පාර්ලිමේන්තුව තුළ බහුතරය පෙන්වුවහොත් සියලු බලතල දීමට සූදානම් බව ඔහු ප්‍රකාශ කළේය.

බන්දුල ගුණවර්ධන

"14 වෙනිදා විශ්වාසභංග යෝජනාවක් සම්මත කළා කියන එක අපි ප්‍රතික්ෂේප කරනවා" එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී බන්දුල ගුණවර්ධන පැවසීය.

අනුර කුමාර දිසානායක

එහිදී නැගී සිටි ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පෙන්වා දුන්නේ, ස්ථාවර නියෝග 114 වන වගන්තිය යටතේ තේරීම් කමිටුව පත් කිරීමේදී ආණ්ඩු පක්ෂයක් බල නොපාන බවය.

ඔහු සඳහන් කළේ, 14 වෙනිදා විශ්වාසභංගය අනුව රටේ ආණ්ඩුවක් නොමැති බවත් "හඳපානේ ආණ්ඩු හදන එක කැළෑ නීතිය" ක්‍රියාත්මක කිරීමක් බවත්ය.

තේරීම් කාරක සභාවේ සංයුතිය පිළිබඳව ප්‍රශ්නයක් තිබේ නම් ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ "නම් අනුව" ඡන්දයක් පවත්වන ලෙසත්, කතානායකවරයාගේ ක්‍රියාකලාපය පිළිගත නොහැකි නම් ඔහුට එරෙහිව එක්සත් ජනතා නිදහස් සන්ධානය විශ්වාසභංගයක් ඉදිරිපත් කළ යුතු බවත් අනුර කුමාර දිසානායක පෙන්වා දුන්නේය.

විමල් වීරවංශ

පාර්ලාමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ප්‍රකාශ කළේ, විශ්වාසභංග යෝජනාවක් හඬින් සම්මත කළ නොහැකි බවය.

ඇමතිවරුන් ඉදිරිපත් කර ඇති යෝජනා දෙකක් පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට අවස්ථාව දී තිබියදී රජයක් නොමැති බව පවසන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කළේය.

ඔහු ප්‍රකාශ කළේ, අගමැති, රජය සහ සභානායක පිළිනොගන්නේ නම් කතානායකවරයා පිළිගැනීමට ද තමන් සූදානම් නොමැති බවය.

එම ප්‍රකාශයෙන් පසුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු සභා ගර්භයෙන් පිටව ගියහ.

අජිත් පී. පෙරේරා

මෙහිදී නැගී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී. පෙරේරා පැවසුවේ, ස්ථාවර නියෝග 114 වන වගන්තිය අනුව තේරීම් කාරක සභාවේ සංයුතිය නීත්‍යනුකූල වන අතර ඒ සම්බන්ධයෙන් විධිමත් ඡන්දයක් පැවැත්විය යුතු බවය.

එහිදී කතානායක කරු ජයසූරිය ඒ සම්බන්ධයෙන් විද්‍යුත් ක්‍රමය අනුව ඡන්දයක් පැවැත්වීමට තීරණය කළේය.

ඡන්දය විමසීම

Image copyright BBC/Peo TV
Image caption ඡන්දය ගණනය කරමින්

ඒ අනුව, තේරීම් කාරක සභාවේ සංයුතිය සම්බන්ධයෙන් කතානායකවරයා ඉදිරිපත් කළ යෝජනාව පිළිබඳව ඡන්ද විමසීම පෙරවරු 10.50ට ආරම්භ කෙරිණි.

විද්‍යුත් ක්‍රමය අනුව පැවති එම ඡන්ද විමසීමේ ප්‍රතිඵලය වූයේ, කතානායකවරයාගේ යෝජනාවට මන්ත්‍රීවරුන් 121 දෙනෙකු පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ බවය.

විපක්ෂව කිසිදු ඡන්දයක් භාවිත කර නොතිබිණි.

මෙහිදී, වඩිවේල් සුරේෂ්, පියසේන ගමගේ යන මන්ත්‍රීවරුන් ද යෝජනාවට පක්ෂව ඡන්දය දී තිබිණි.

එහිදී කතානායකවරයා සභාවට දැනුම් දුන්නේ, තේරීම් කාරක සභාවේ සංයුතිය පිළිබඳ යෝජනාව සම්මත වූ බවය.

ඒ සම්බන්ධයෙන් යළිත් වරක් නමින් ඡන්දයක් විමසන ලෙස ලක්ෂ්මන් කිරිඇල්ල ඉල්ලා සිටිය ද, කතානායක කරු ජයසූරිය පැවසුවේ, විද්‍යුත් ක්‍රමය යටතේ ඉතා නිවැරදිව ඡන්දය පැවති හෙයින් වෙනත් ක්‍රමයක් අනුව එය නැවත කිරීම අවශ්‍ය නොවන බවය.

Image copyright Harsha De Silva/Twitter

එස්. එම්. මරික්කාර්

සභාව කල් තැබීමේ යෝජනාව ඉදිරිපත් කිරීමට පෙර නැගී සිටි එක්සත් ජාතික පෙරමුණු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පැවසුවේ, රටේ ආණ්ඩුවවක් නොමැති බව පාර්ලිමේන්තුව පිළිගෙන තිබියදී මාධ්‍ය විසින් ආණ්ඩු පක්ෂය ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානය හඳුන්වන බවය.

සභාව කල් තැබීමේ යෝජනාව

පාර්ලිමේන්තු සභාව කල් තැබීමේ යෝජනාව ඉදිරිපත් කරමින් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පැවසුවේ, ශ්‍රී ලංකාවේ පවතින වත්මන් දේශපාලන අර්බුදය හේතුවෙන් ආර්ථිකය කඩා වැටී ඇති අතර ජනතාව පීඩාවට පත්ව ඇති හෙයින් මෙම අර්බුදය විසඳීමට ක්‍රියා කළ යුතු බවට යෝජනා කරන බවය.

අනුර කුමාර දිසානායක

එම යෝජනාව ස්ථිර කරමින් අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේ, රටේ අරාජික තත්ත්වයක් උද්ගත වී ඇති අතර මේ වන විට සමස්ත ආර්ථික කඩා වැටී ඇති බවය.

එය යථා තත්ත්වයට පත් කිරීමට අපට වගකීමක් ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

"මේක දේශපාලන කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්. ජනාධිපතිවරයා අශිෂ්ට විදිහට කුමන්ත්‍රණයක් කරන එකට එරෙහිව කටයුතු කරන අයගේ ශිෂ්ටත්වයේ සිදුරු හොයමින් සිටිනවා. ඔහුට ඒකට සදාචාරාත්මක අයිතියක් නැහැ." යනුවෙන් අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුව කල් තබයි

පාර්ලිමේන්තුව කල් තබමින් කතානායක කරු ජයසූරිය සභාවට දැනුම් දුන්නේ, 2018 නොවැම්බර් 27 වෙනිදා පස්වරු 1.00ට සහ නොවැම්බර් 29 වෙනිදා පෙරවරු 10.30ට පාර්ලිමේන්තුව යළි රැස්වන බවය.