ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය: රාජපක්ෂ පාලනය ගැන පරීක්ෂණ සිදු නොවීමට "වගකිව යුත්තේ රනිල් " - ජනපති මෛත්‍රී

Image copyright Facebook/Maithripala_Sirisena

"මහින්ද රාජපක්ෂ මහත්තයයි මමයි, ආණ්ඩුවක් කරන්න එකඟතාවක් ඇති කරගත්තේ අතීත අත්දැකීම් එක්ක අලුත් වැඩපිළිවෙලක් සඳහා," ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එලෙස කියා සිටියේ සිය ධූර කාලය තුළ පළමු වරට විදෙස් ජනමාධ්‍යවේදීන් සමග ඉරිදා (25) පැවති සාකච්ඡාවේදීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පාලනයට 2015 ජනාධිපතිවරණය සමයේ සහ ඉන්පසු මෑතක් වනතුරු ඔහු එල්ල කළ දූෂණ සහ මිනීමැරුම් වැනි චෝදනා තවමත් වලංගුදැයි ජනමාධ්‍යවේදීහු එහිදී ජනාධිපතිවරයාගෙන් විමසා සිටියහ.

ඊට පිළිතුරු ලෙස ජනපතිවරයා කියා සිටියේ, "කිසිම දේශපාලකයෙකුට එකතුවෙන්න බැහැ අතීතයේ තිබුණු චෝදනා සැලකිල්ලට ගෙන, හැමවෙලේම එකතුවෙන්නේ අළුත් වැඩපිළිවෙලකට, 56 දී බණ්ඩාරනායක ආණ්ඩුව හදපු වෙලාවෙදිත් එකතු වුණු අය ඊට කලින් බරපතල ලෙස අසමගි වෙලා හිටපු අය," යනුවෙනි.

පරීක්ෂණවලට බලපෑම් කළේ කවුද?

එසේම, 2015 ජනාධිපතිවරණයේ ප්‍රධාන පොරොන්දුවක් වූ දූෂිතයන්ට දඬුවම් දීම ගැන නිසි ක්‍රියාමාර්ග නොගැනීම ගැන වගකිවයුත්තේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ හා හිටපු නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක බව ජනපතිවරයා පැවසීය.

"අධිකරණය ඒගොල්ලන්ගේ අතේ, පොලීසිය ඒගොල්ලන්ගේ අතේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව ඒගොල්ලන්ගේ අතේ, නඩු හරියට කෙරුනේ නැත්තේ ඇයි?, යටගියේ ඇයි? ඒගොල්ලන්ගේ වගකීම."

මේ ගැනත් කියවන්න:

මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරන ජනාධිපතිවරයාගේ චෝදනාවට ඉලක්ක වූ හිටපු අමාත්‍ය සාගල රත්නායක, "වගකිවයුතු කැබිනට් අමාත්‍යවරයෙක් ලෙස තමන් කිසි විටෙකත් මෛත්‍රීපාල සිරිසේන ඉහළ මට්ටමේ පරීක්ෂණවලට මැදිහත් වූ අවස්ථා පිළිබඳව ප්‍රසිද්ධියේ කතාකර නැහැ," යනුවෙන් පවසයි.

නමුත් මෙම චෝදනා දිගින් දිගටම කෙරෙන්නේ නම්, "කවරෙක්, කෙලෙස, කොතැනකදී පරීක්ෂණවලට මැදිහත් වූයේ දැයි," තමන්ට පැවසීමට සිදුවනු ඇති බවද හිටපු අමාත්‍යවරයා එම ට්විටර් පණිවුඩයේ සඳහන් කර ඇත.

මේ අතර එක්සත් ජාතික පක්ෂය එහි සභාපති කබීර් හෂීම්ගේ නමින් සඳුදා (26) නිකුත් කළ නිවේදනයකින් ද ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට පිළිතුරු සපයා තිබේ.

ක්‍රියාත්මක වූ රජය "කිසිදු ලෙසකින් හෝ රනිල් වික්‍රමසිංහ රජය ලෙස හඳුන්වා දිය නොහැකිය" යනුවෙන් සිය නිවේදනයේ දක්වන එක්සත් ජාතික පක්ෂ සභාපතිවරයා, "සියලු තීරණ ගනු ලැබුවේ ජනාධිපතිවරයා මුලසුන හෙබවූ කැබිනට් මණ්ඩලය විසින්" වන අතර, "දූෂණ සිදුවූයේ යැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ නම් එහි සමාන වගකීමක් ජනාධිපතිවරයා ද ගත යුතු" බව ද සඳහන් කරයි.

"කොන්ද පණ නැද්ද?"

Image copyright Facebook/Maithripala_Sirisena

අදාළ පරීක්ෂණවලට බාධා කළේ ජනාධිපතිවරයා යයි එක්සත් ජාතික පක්ෂය චෝදනා නගන බව බීබීසී සිංහල සේවය කළ පෙන්වා දුන් අවස්ථාවේ ජනාධිපතිවරයා කියා සිටියේ "එහෙම නම් එයාලට ඒවා ඔප්පු කරන්න තිබ්බනේ. ඒ කියන්නේ එච්චරම කොන්ද පණ නැද්ද ඒ ගොල්ලන්ට. හොරකම් කරන්න නම් හයියි තිබුණා," යනුවෙනි.

පසුගිය වසර තුන හමාර ඇතුළත සිදුවූ දූෂණ විමර්ශනය සඳහා තමන් ජනාධිපති කොමිසමක් පිහිටුවන බව ප්‍රකාශ කළ ජනාධිපති සිරිසේන, එවිට "මහ බැංකු මංකොල්ලයට වඩා විශාල දූෂණ" හෙළිවනු ඇතැයි ද විදෙස් මාධ්‍ය ආයතන නියෝජිතයන් හමුවේ පැවසීය.

ජනාධිපතිවරයා පවසන පරිදි පසුගිය වසර තුන හමාර තුළ දූෂණ සිදුවී ඇත්නම් "එකමුතු රජයේ සහ කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා" ලෙස ජනාධිපතිවරයා ද එම චෝදනා බෙදාගත යුතු බව සාගල රත්නායක නිකුත් කළ තවත් ට්විටර් පනිවුඩයක දැක්වේ.

"අපි ජනාධිපති කොමිසමක් පත් කිරීම පිළිගන්නවා, නමුත් එහි විමර්ශනවලින් ජනාධිපතිවරයාට මුක්තියක් හිමි නොවිය යුතු බව උදක්ම කියා සිටිනවා."

මහින්ද රාජපක්ෂ රජය සමයේ සිදූවීම් සම්බන්ධ පරීක්ෂණ

මහින්ද රාජපක්ෂ නැවත බලයට පත්වීමත් සමග මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධ පරීක්ෂණවලට සහ රගර් ක්‍රීඩක වසීම් තාජුදින් ඝාතනයට අදාලව සිදුවන පරීක්ෂණවලට සිදුවන්නේ කුමක්දැයි මාධ්‍යවේදියෙකු කළ විමසුමකට පිළිතුරු දුන් ජනාධිපතිවරයා පැවසුවේ, "ඒවා අධිකරණය සහ නීතිය තුළ තියෙන දේවල් ඒවට ඇඟිලි ගහන්න කාටවත් බැහැ," යනුවෙනි.

මහබැංකු බැඳුම්කර චෝදනාව ගැන පත්කළ ජනාධිපති කොමිසමේ වාර්තාව මෙන්ම මහින්ද රාජපක්ෂ රජයේ දූෂණ චෝදනා සෙවීමට පත්කළ කොමිසමේ වාර්තාවල වැරදිකරුවන්ට දඬුවම් ලබාදීම ගැන විමසීමේදී ජනාධිපතිවරයා පැවසුවේ ඒ සඳහාද වගකිවයුත්තේ රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිවරයා බවය.

"විශේෂ ජනාධිපති කොමිසමේ ඔබතුමාලා කියන අතීත පාර්ශවයේ දුෂණ චෝදනා වාර්තා 17 ක් තියෙනවා, කෝ ඒවා? ඒවාට මොකද වුනේ?, ඒකටත් රනිල් වික්‍රමසිංහ මහත්තයා තමයි වගකියන්න ඕනේ."

ජනාධිපතිවරයා ලෙස ජනාධිපති බලතල යටතේ ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි වූයේ මන්දැයි ජනමාධ්‍යවේදීන් විමසු අවස්ථාවේදී, "ඒ සඳහා ඒ ආයතන භාරවුණු ඇමතිවරු වගකිව යුතුයි," යනුවෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පැවසීය.

තවදුරටත් කියවන්න:

"දේශපාලන අර්බුදය ඉක්මනින් විසඳේවි"

Image copyright Facebook/Maithripala_Sirisena

වර්තමානයේ ඇතිවී තිබෙන දේශපාලන ආන්දෝලනය දෙසැම්බර් 7 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දෙනු ලබන තීන්දුවත් සමග අවසන් වනු ඇති බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේය.

තමන් පාර්ලිමේන්තුවේ සම්මත වූ පළමු විශ්වාස භංග යෝජනාව පිළිගත්තේ නම් ඒ තුළ අඩංගු වූ කරුණු මත තමාට එරෙහිව දෝෂාභියෝගයක් පවා ගෙන ඒමට හැකියාව තිබුණු බව ජනපතිවරයා පැවසීය.

නිසි ස්ථාවර නියෝග අනුව පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන්නේ නම් තමන්ට එය පිළිගැනීමට සිදුවන බව පැවසූ ජනාධිපතිවරයා, පසුගිය 'තේරීම් කාරක සභා' ඡන්ද විමසීමේදී පාර්ලිමේන්තුවේ සිදුවූ ආකාරයට නමින් හෝ ඉලෙක්ට්‍රොනික මාර්ගයෙන් ජන්ද විමසීම සිදුකළ යුතු බවද කියා සිටියේය.

"එක්සත් ජාතික පෙරමුණට බහුතරය තියෙනවනම් ඒකෙදී මහින්ද රාජපක්ෂ මැතිතුමා තීරණයක් ගනීවි ඒ තුළ එතුමා කොහොමද වැඩ කරන්නේ කියලා," යනුවෙන් සඳහන් කළ ඔහු, "මම අගමැති ලෙස කෙනෙක් පත්කරන්න මටත් ගැලෙපන කෙනෙක් වෙන්න ඕන, මමත් කැමති කෙනෙක් වෙන්න ඕන," යනුවෙන් ද වැඩිදුරටත් පැවසීය.

මේ සම්බන්ධයෙන් සඳුදා (නොවැම්බර් 26) අරලියගහ මන්දිරයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන කියා සිටියේ, ජනාධිපතිවරයාගේ "මතය" අනුව පාර්ලිමේන්තුවේ බහුතර බලය ඇති තැනැත්තා අග්‍රාමාත්‍ය ධූරය සඳහා පත්කළ යුතු බවය.

"ඒක ජනාධිපතිවරයාට 'හිතෙන පරිදි' කරන්න බැහැ," පාර්ලිමේන්තු මන්ත්‍රී පරණවිතාන පැවසීය.

එක්සත් ජාතික පක්ෂය ඉල්ලා සිටින පරිදි ජනාධිපතිවරණයක් කලින් පැවැත්වීමට සූදානම් දැයි කළ විදේශීය මාධ්‍යවේදීන් කළ විමසීමට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා පැවසුවේ තමන් තුළ එවන් සූදානමක් නොමැති බවය.

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අපේක්ෂා කරන්නේදැයි විමසූ අවස්ථාවේ ජනාධිපති සිරිසේන එයට පැහැදිළි පිළිතුරක් ලබා නොදුන්නේය.

තවත් කියවන්න:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර