ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය: "අගමැති ධුරය දැරීමට මහින්දට නීත්‍යානුකූල හිමිකමක් නෑ"

Image copyright Harsha de Silva/ Twitter

මහින්ද රාජපක්ෂට පාර්ලිමේන්තුවේ බහුතර බලය නොමැති හෙයින් ඔහුගේ පත්වීම බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සමක් සලකා බැලීම පිණිස නොවැම්බර් 30 වෙනි දින කැඳවන මෙන් අභියාචනාධිකරණය නියම කළේය.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඬුල්ල එම නියෝගය කළේ එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 122 දෙනෙකු ඉදිරිපත් කළ පෙත්සමක් කැඳවනු ලැබූ අවස්ථාවේය.

එහිදී අදාළ පෙත්සම නොවැම්බර් 30 වන දින සහ දෙසැම්බර් 03 වැනි දින සලකා බැලීමට පියවර ගන්නා බව අභියාචනාධිකරණය නිවේදනය කළේය.

එම දිනට පෙර නඩුවට අදාළ ලේඛන වගඋත්තරකාර පාර්ශ්වය වෙත ලබාදීමට පියවර ගන්නා මෙන් ද විනිසුරු මඬුල්ල පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන් වෙත දන්වා සිටියහ.

කියවන්න:

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඔක්තෝබර් 26 වෙනි දින අගමැති ලෙස පත්කරන ලද මහින්ද රාජපක්ෂට, පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ සහයෝගය නොමැති අතර ඒ බව කතානායකවරයා විසින් ද තහවුරු කර ඇති බව පෙත්සම්කරුවෝ පෙන්වා දෙති.

එබැවින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වෙනි සංශෝධනය ප්‍රකාරව මහින්ද රාජපක්ෂට අගමැති ධූරය දැරීමට නීත්‍යානුකූල හිමිකමක් නොමැති බව පෙත්සම්කරුවෝ පෙන්වා දෙති.

මේ හේතුවෙන්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ප්‍රකාරව මහින්ද රාජපක්ෂට අග්‍රාමාත්‍ය ධුරය දැරීමට නීත්‍යානුකූල හිමිකමක් නොමැති බවට තීන්දු කොට ඔහුගේ පත්වීම බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන මෙන් ද පෙත්සම්කරුවෝ අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටිති.

Image copyright Getty Images

මහින්ද රාජපක්ෂ ඇතුළු ජනාධිපතිවරයා විසින් ඇමතිවරුන් ලෙස පත්කරන ලද හතළිස් නව දෙනෙකු මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.

දේශපාලන අර්බුදයෙන් පසු පාර්ලිමේන්තුව

2018 නොවැම්බර් 14 වෙනි දින පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාව අනුව ශ්‍රී ලංකාවේ අගමැති ලෙස සඳහන් කර ඇත්තේ මහින්ද රාජපක්ෂ වන අතර, ඔහු ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය කැබිනට් මණ්ඩලය ලෙස සටහන් කර තිබේ.

එමෙන්ම, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු ආණ්ඩුවට එරෙහි ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වූ බව සඳහන් කතානායක තීරණය එදින හැන්සාඩ් වාර්තාවේ සටහන් කර ඇත.

පාර්ලිමේන්තු සභාගැබේ ඇති වූ නොසන්සුන්කාරී තත්වයත් සමග විශ්වාසභංග යෝජනාව සඳහා මන්ත්‍රීවරුන්ගේ නම්වලින් ඡන්දයක් පැවැත්වීමට කතානායකවරයා උත්සාහ දරා ඇති ආකාරය ද හැන්සාඩ් වාර්තාවේ දැක්වේ. නමුත් සභාව තුලින් එයට දැඩි විරෝධයක් එල්ල වීමත් සමග, ආණ්ඩු පක්ෂය සහ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ හඬ අනුව තීරණයක් ලබා දීමට නැවතත් උත්සහ කර ඇති ආකාරයත් නිල වාර්තාවේ සටහන් වී තිබේ.

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්මත වී ඇති හෙයින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 48 (2) වගන්තියට අනුව අමාත්‍ය මණ්ඩලය විසුරුවා හැර ඇති බව සහ මේ වන විට අමාත්‍ය මණ්ඩලයක් පත් කර නොමැති හෙයින් කිසිදු මන්ත්‍රීවරයකු අගමැතිවරයා ලෙස හෝ ඇමැතිවරයකු ලෙස පිළිනොගන්නා බවට කතානායක කරු ජයසූරිය කළ නිවේදනය 2018 නොවැම්බර් 15 වෙනි දා හැන්සාඩ් වාර්තාවේ සඳහන් වේ.

විශ්වාසභංග යෝජනාව සම්මත වූ බවට කතානායකවරයා නිවේදනය කළ බව 2018 නොවැම්බර් මස 16 වෙනි දින පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවේ ද සඳහන් කර ඇත.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර