ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය: රාජපක්ෂ පාලනයට සහ එජාප පාලනයට එරෙහි බරපතල දූෂණ චෝදනාවල ඉතිහාසය

Image copyright Facebook/Maithripala Sirisena

දෙවරක් ශ්‍රී ලංකාවේ ජනාධිපති පදවිය ඉසිලූ මහින්ද රාජපක්ෂ පාලනයට එරෙහිව ජනමතයක් ගොඩ නැගුනේ විශේෂයෙන්ම එවකට විපක්‍ෂය සහ දූෂණ විරෝධී ක්‍රියාධරයන් බරපතල දූෂණ චෝදනා එල්ල කිරීමත් සමගය.

එතෙක් රාජපක්ෂ පාලනයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය පදවියක් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පදවිය ද ඉසිලූ මෛත්‍රීපාල සිරිසේන 2014 නොවැම්බර් මාසයේ ආණ්ඩුවෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව රාජපක්ෂ පාලනයට බොහෝ දූෂණ චෝදනා නැගුවේය.

ජනාධිපති පදවියට පත්වීමෙන් අනතුරුව ද ඔහු වසර ගණනාවක් වරින්වර එම චෝදනා එල්ල කළේය.

එහෙත් පසුගිය දා විදේශීය මාධ්‍ය ආයතනවල සේවය කරන මාධ්‍යවේදීන් අමතා අදහස් දක්වමින්, "කිසිම දේශපාලකයෙකුට එකතුවෙන්න බැහැ අතීතයේ තිබුණු චෝදනා සැලකිල්ලට ගෙන," යනුවෙන් ජනාධිපති සිරිසේන ප්‍රකාශ කර සිටියේය.

මේ අතර, පසුගිය නොවැම්බර් 23 වෙනි සිකුරාදා පාර්ලිමේන්තුවේදී දීර්ඝ කතාවක් කළ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා, රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂයට, ජනාධිපතිවරයා නායකත්වය දෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහ පැවති රාජපක්ෂ පාලනයට ද බරපතල දූෂණ චෝදනා එල්ල කළේය.

විශේෂයෙන්ම ඔක්තෝබර් 26 වෙනි දින ආණ්ඩු මාරුවෙන් පසුව බහුතරය පවත්වා ගැනීම පිණිස දෙපාර්ශ්වයම මන්ත්‍රීවරුන්ට අල්ලස් දුන් බව ඔහු එල්ල කළ බරපතල චෝදනාවකි.

"මන්ත්‍රීවරු, බුරුත කඳන් විකිනෙනවා වගේ වට අඩි ගාණට, මන්ත්‍රීවරු වෙන්දේසි පොළට ආව. මේ රටේ, අශිෂ්ඨත්වය දේශපාලනයේ ඔටුනු පලන් යුගයක් බවට මේ යුගය පත්වෙමින් තිබුණ," ඔහු පැවසීය.

"මම අවධාරණය කරන්නේ ගරු කතානායකතුමනි, පනින්න විතරක් නෙවෙයි ඉන්නත් සල්ලි අරන් තියෙනවා."

මන්ත්‍රීවරු "වෙන්දේසි කිරීමෙන්" අනතුරුවත් මහින්ද රාජපක්ෂ පාලනයට බහුතර බලය ලබාගැනීමට නොහැකි වූ බැවින් ජනාධිපතිවරයා විසින් නොවැම්බර් 09 වෙනි දින පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබූ බවට ද අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා චෝදනා කළේය.

"අශිෂ්ඨ, ජනවරමට විරෝධී, ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණයක්" දියත් කළ බවට ද ඔහු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට චෝදනා කළේය.

රනිල් වික්‍රමසිංහ පාලනය

ඒ අතරම "වංචාවට එරෙහිව" හැට දෙලක්ෂයක ජනතාව ලබාදුන් ජනවරමට "සම්පූර්ණයෙන්ම පිටුපාමින්" කටයුතු කළ බවට මන්ත්‍රීවරයා රනිල් වික්‍රමසිංහ පාලනයට ද අනුර කුමාර දිසානායක බරපතල චෝදනාවක් එල්ල කළේය.

"කුප්‍රකට බැඳුම්කර මංකොල්ලය" මෙන්ම සයිටම් ගැටලුව සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය, සිංගප්පූරුව සමග නිදහස් වෙළෙඳ ගිවිසුමට "හොර රහසේ" අත්සන් තැබූ ආකාරය ද ඔහුගේ දැඩි දෝෂදර්ශනයට ලක්විය.

"මේවා මලික් සමරවික්‍රම මහත්තයලගේ, රනිල් වික්‍රමසිංහ මහත්තයලගේ පෞද්ගලික දේපොලක් නෙවෙයි," ඔහු පැවසීය.

හම්බන්තොට වරාය ගිවිසුමට අත්සන් තැබීමේදී පාර්ලිමේන්තුවෙන් ද මතුවන සාධනීය අදහස් ද ඇතුළත් කළ යුතු බවට එකඟත්වයක් තිබුණද, "තක්කඩි, හිතුවක්කාර ලෙස හම්බන්තොට ගිවිසුම අත්සන් කළ," බවට අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා රනිල් වික්‍රමසිංහ පාලනයට චෝදනා නැගුවේය.

"තමුන්නාසේලාගේ අවුරුදු තුන හමාරක ආණ්ඩුව කටයුතු කරමින් තිබුණේ ජනතාවට මුළුමනින්ම ප්‍රතිපක්ෂව හිටගනිමින්."

එජාපෙ පාලනයට එරෙහි දූෂණ චෝදනා

මේ අතර රනිල් වික්‍රමසිංහ පාලනය සිදු කළ බරපතල දූෂණ, වංචා සම්බන්ධයෙන් තවත් ජනාධිපති කොමිසමක් පත්කරන බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විදේශීය මාධ්‍යවේදීන් අමතා අදහස් දක්වමින් සඳහන් කළේය.

එහිදී ඔහු කියා සිටියේ, පැවති රාජපක්ෂ පාලනයට එරෙහි දූෂණ චෝදනා සම්බන්ධ පරීක්ෂණ නිසි පරිදි සිදු නොවීමට වගකිවයුත්තේ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව බවය.

සිය පාලන සමය තුළ ආණ්ඩුවේ එක්සත් ජාතික පක්ෂ පාර්ශ්වය බරපතල දූෂණ, වංචා සිදු කළ බවට ජනාධිපතිවරයා මීට ඉහතදී ද චෝදනා එල්ල කර තිබේ.

2015 පෙබරවාරි මාසයේ දී සහ ඉන් අනතුරුව මහ බැංකු බැඳුම්කර නිකුතුවේදී බරපතල වංචාවක් සිදුකිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම සහ දූෂණ විරෝධී ක්‍රියාකාරීන් 'රනිල් වික්‍රමසිංහ පාලනයට' එරෙහිව එල්ල කරන ලද බරපතල චෝදනාවකි.

මුලින්ම පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාව එම චෝදනාව එල්ල කළ අතර, පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඒ සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් පත් කළේය.

අගමැති රනිල් වික්‍රමසිංහ ද කොමිසම ඉදිරියේ සාක්ෂි දුන් අතර, සාක්ෂි විභාගය අතරවාරයේ විදේශ අමාත්‍ය රවි කරුණානායක පදවියෙන් ඉල්ලා අස්විය. පරීක්ෂණයට අදාළ බැඳුම්කර නිකුතුව සිදුවන අවධියේ මුදල් අමාත්‍ය පදවිය හෙබැවූයේ ඔහුය.

දීර්ඝ සාක්ෂි විභාගයක් අවසානයේ බැඳුම්කර නිකුතුව සම්බන්ධ ජනාධිපති කොමිසමේ වාර්තාව පසුගිය වසරේ දෙසැම්බර් 30 වෙනි දින ජනාධිපතිවරයා වෙතා භාර දෙනු ලැබිණ.

එය භාරගැනීමෙන් අනතුරුව විශේෂ ප්‍රකාශයක් කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කළේ, මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවේදී පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම නීති විරෝධී ලෙසින් මුදල් උපයාගෙන ඇතැයි ජනාධිපති කොමිසම නිගමනය කර තිබෙන බවය.

එමෙන්ම හිටපු අමාත්‍ය රවි කරුණානායකට එරෙහිව නඩු පවරන මෙන් කොමිසම නිර්දේශ කොට ඇතැයි ද ඔහු පැවසීය.

එහෙත් රවි කරුණානායක මන්ත්‍රීවරයා එය ප්‍රතික්ෂේප කරයි.

කියවන්න:

බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වීමේ අරමුණින් පසුගිය ජනවාරි මාසයේ පැවති විශේෂ පාර්ලිමේන්තු සැසියකදී එක්සත් ජාතික පක්ෂයේ සහ ඒකාබද්ධ විපක්ෂයේ මහජන නියෝජිතයන් අතර ගුටිබැට හුවමාරුවක් ද සිදුවිය.

එම ගුටිබැට හුවමාරුව අතරතුර දෙපාර්ශවයම එකිනකාට 'හොරා' යයි කියමින් චෝදනා කර ගත්හ.

එදිනම, අනුරාධපුර සල්ගාදු කී‍්‍රඩාංගණයේ පැවති ජන හමුවක් අමතමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, "පාර්ලිමේන්තුවේ දෙපැත්තේම අය හොරා කියාගෙන, කවුද හොරා, කවුද හොරා ගත්තේ නැති අය, කියලා සොයා ගත නොහැකිව පාර්ලිමේන්තුවේ ගහ ගැනීමක් සිදුවුණා," යනුවෙන් ප්‍රකාශ කළේය.

"පොකට්කාරයෝ සල්ලි අරගෙන දුවනවා. එතකොට පොකට් එකේ අයිතිකාරයා හොරා හොරා කියමින් පික්පොකට් කාරයා පස්සේ දුවනවා. පොකට් කාරයා මොකද කරන්නේ? අන්න හොරෙක් අන්න හොරෙක් කියලා මිනිහත් දුවනවා," ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

අධිකරණ විභාගය

Image copyright PMD
Image caption ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන්ගේ පත්වීම් ලිපිය ලබාදුන් අවස්ථාව

ජනාධිපති කොමිසමේ වාර්තාව පදනම් කරගෙන නීතිපතිවරයා විසින් ආන්දෝලනයට ලක් වූ බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ කසුන් පළිසේන ඇතුළු පිරිසකට එරෙහිව අධිකරණය ඉදිරියේ නඩු පවරනු ලැබිණ.

අදාළ නඩු විභාගය තවදුරටත් පැවැත්වෙන අතර, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ කසුන් පළිසේන දෙදෙනා මේ වනවිටත් රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබ සිටිති.

සිංගප්පූරු පුරවැසියෙකු වන හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මේ දක්වා අධිකරණය හමුවේ පෙනී නොසිටියේය.

අර්ජුන් මහේන්ද්‍රන් යළි ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම, ඔහු මහ බැංකු අධිපතිවරයා ලෙසින් යෝජනා කරන ලද රනිල් වික්‍රමසිංහගේ වගකීම බව ඒකාබද්ධ විපක්ෂය දිගින් දිගටම ප්‍රකාශ කළේය.

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් තමන් මෙතෙක් හෙළි නොකළ "බැඳුම්කරයටත් වඩා දරුණු" දූෂණ, වංචා සිදුකරන ලද බවට ජනාධිපතිවරයා චෝදනා කරන්නේ ඒ අතරවාරයේය.

අනුර කුමාර දිසානායකගෙන් චෝදනා

Image copyright Facebook/Anura Kumara Dissanayake

මේ අතර පසුගිය නොවැම්බර් 23 වෙනි සිකුරාදා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පෙන්වාදුන් පරිදි, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ සමීප ඥාතීන්ට සහ හිතවතුන්ට එරෙහිව බරපතල දූෂණ, වංචා සම්බන්ධයෙන් අධිකරණ විමර්ශන කිහිපයක්ම පැවැත්වෙමින් තිබේ. ඔහු පවසන පරිදි,

  1. ඇවන්ට්ගාඩ් සමාගම පිහිටුවීම මගින් රුපියල් කෝටි 1140 ක් රාජ්‍යයට අහිමි කිරීමේ චෝදනාව යටතේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිසට එරෙහි නඩු විභාගය ලබන දෙසැම්බර් මාසයේ ආරම්භවීමට නියමිතය. අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා එය හඳුන්වන්නේ "බැඳුම්කරය සමානම" වංචාවක් ලෙසිනි.
  2. සිය දෙමාපියන් වෙනුවෙන් මහජන අරමුදලින් ලක්ෂ 339 ක් වැය කිරීම සම්බන්ධයෙන් ද ගෝඨාභය රාජපක්ෂට එරෙහිව අධිකරණ විභාගයක් පැවැත්වේ.
  3. තාජුදීන් ඝාතනයට සම්බන්ධ ඩිෆෙන්ඩර් රථය ශිරන්ති රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පවත්වාගෙන ගිය සිරිලිය සවිය ව්‍යාපාරයට රතු කුරුස සංවිධානය විසින් ලබාදුන් රථයක් බවට එල්ල වී ඇති චෝදනාව.
  4. නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට එරෙහිව අධිකරණයේ නඩු විභාග දෙකක් පැවැත්වෙන අතර, බැසිල් රාජපක්ෂට එරෙහිව ද නඩු විභාග දෙකක් පවතී.
  5. මහින්දානන්ද අලුත්ගමගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන සහ විමල් වීරවංශ මන්ත්‍රීවරුන්ට එරෙහිව ද නඩු කීපයක් විභාගවෙමින් පවතී.

එක්සත් ජනතා නිදහස් සන්ධානයට පාර්ලිමේන්තුවේ බහුතරය බලය නොමැති වුවද මහින්ද රාජපක්ෂ අගමැති පදවිය භාරගනු ලැබුවේ එම නඩු විභාග හේතුවෙන් බව අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා ගේ විග්‍රහය වී තිබේ.

ඒ අතරම 'ගාමිණී සෙනරත් හංගගෙන හිටපු' බවට සහ සාගල රත්නායක 'නිලමෙලා ආරක්ෂා කළ විදිය' දන්නා බව පවසමින් ජනතා විමුක්ති පෙරමුනේ නායකයා එක්සත් ජාතික පක්ෂ පාලනයට ද දැඩි වාග් ප්‍රහාරයක් එල්ල කළේය.

තවදුරටත් කියවන්න:

Image copyright Getty Images

රාජපක්ෂ පාලනයට එරෙහි දූෂණ චෝදනා

කෙසේ වුවත් මහින්ද රාජපක්ෂ පාලනයට දූෂණ චෝදනා එල්ල කළේ ජනතා විමුක්ති පෙරමුණ පමණක් නොවේ.

2015 මාර්තු මාසයේ ලන්ඩන් නුවරදී බීබීසී සිංහල සේවය සමග සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේ රාජපක්ෂ පාලනය දියත් කළ සියලුම ව්‍යාපෘතීන් "අන්ත දූෂිත" බවය.

ජනාධිපතිවරයා එම චෝදනාව දිගින් දිගටම එල්ල කළ අතර, ඔහු විසින් පත්කරන ලද මහා පරිමාණ දූෂණ, වංචා පිළිබඳ ජනාධිපති කොමිසම විසින් රාජපක්ෂ පාලනයේ බොහෝ දේශපාලකයන්ට හා නිලධාරීන්ට විරුද්ධව පියවර ගන්නා මෙන් නිර්දේශ කරනු ලැබ තිබේ.

පසුගිය ජනාධිපතිවරණ මැතිවරණ සමයේ සිය ප්‍රචාරක කටයුතු සඳහා මුදල් නොගෙවා ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය (ITN) යොදාගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට එරෙහිව නඩු පැවරිය යුතු බවට ද ජනාධිපති කොමිසම නිර්දේශ කර තිබේ.

කෙසේ වුවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසන්නේ පොලිසිය සහ නීතිපතිවරයා එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන් යටතේ පැවති බැවින් රාජපක්ෂ පාලනයට එරෙහි දූෂණ චෝදනා සම්බන්ධයෙන් නිසි පියවර නොගැනීමේ වගකීම රනිල් වික්‍රමසිංහ පාලනය භාරගත යුතු බවය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර