ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය: අගමැති රනිල් වික්‍රමසිංහ ඉවත් කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Image copyright Getty Images

පසුගිය ඔක්තෝබර් 26 වෙනි දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ පදවියෙන් ඉවත්කිරීම සහ මහින්ද රාජපක්ෂ අගමැති පදවියට පත් කිරීම නීති විරෝධී යයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම, අතුරු නියෝගයෙන් අනතුරුව පාර්ලිමේන්තුව යළි රැස්කිරීම සහ මහින්ද රාජපක්ෂ දිගටම අගමැති ධුරය දැරීමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබෙන නමුත්, අගමැතිවරයා පදවියෙන් පහකර නව අගමැතිවරයෙකු පත්කිරීම සම්බන්ධයෙන් අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වූ පළමු වතාව මෙය වේ.

සිය නීතිවේදීන් මාර්ගයෙන් පෙත්සම ඉදිරිපත් කර තිබෙන්නේ ජනාධිපතිවරයාගේ හිටපු සම්බන්ධීකරණ ලේකම්වරයෙකු සහ ජනාධිපති මාධ්‍ය අංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකු වන ඕෂල හේරත් විසිනි.

පෙත්සම විභාග කොට අවසන් වනතුරු මහින්ද රාජපක්ෂ අගමැති පදවියට පත් කිරීම, එවකට පැවති කැබිනට් මණ්ඩලය විසුරුවා හැරීම, ඔක්තෝබර් 26 වෙනි දිනට පසුව "වැරදි ආකාරයට" කැබිනට් මණ්ඩලය පත් කිරීම අත්හිටුවමින් අතුරු නියෝග නිකුත්කරන මෙන් එම පෙත්සම මගින් ඉල්ලා තිබේ.

කියවන්න:

එසේම, එක්සත් ජනතා නිදහස් සන්ධානය "ජාතික ආණ්ඩුවෙන්" ඉවත් වීමෙන් අනතුරුවත් රනිල් වික්‍රමසිංහ දිගටම රටේ අගමැති පදවිය දරන බව නියෝග කරන මෙන් ද පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියි.

කතානායකවරයා ද ඇතුළුව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන් සහ නීතිපතිවරයා පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙසින් නම් කොට තිබේ.

ඔක්තෝබර් 26 වෙනි දින සිට තමන් ක්‍රියා කළේ ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට අනුකූලව බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රාජ්‍යතාන්ත්‍රිකයන්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා, පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම්වරිය සහ විදේශීය මාධ්‍ය ආයතනවලට සේවය කරන මාධ්‍යවේදීන් හමුවේ ද අවධාරණය කර තිබේ.

අධිකරණය ඉදිරියේ විභාගවෙමින් පවතින්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධ කරුණ පමණක් බව ද ජනාධිපතිවරයා විදේශීය මාධ්‍යවේදීන් සමග පැවසීය.

විශේෂයෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අගමැතිවරයා බලයෙන් පහකිරීම වැරදි බවට සමාජයේ ප්‍රබල පවතින නමුත් ජනාධිපතිවරයා මෙන්ම රනිල් වික්‍රමසිංහ සහ මහින්ද රාජපක්ෂ තිදෙනාම මේ සම්බන්ධයෙන් අධිකරණයේ මතය විමසීමට උනන්දුවක් නොදක්වන බව පෙත්සම්කාර ඕෂල හේරත් බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් කියා සිටියේය.

"මම මේක කළේ රටේ අනාගතය වෙනුවෙන්. මට අවශ්‍ය වුනේ මෙතෙන්දි කවුද හරි, කවුද වැරදි කියන එක වගේ ම, ඇත්තටම රටේ අගමැතිවරු දෙන්නෙක් ඉන්නවද, නැද්ද කියල ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පැහැදිලි අර්ථකතනයක් ලබාගන්න," ඔහු පැවසීය.

"මොකද මේ ගැන මේ අවස්ථාවේ අධිකරණය තීන්දුවක් ලබා නොදුන්නොත් අනාගතයටත් මේක නරක පූර්වාදර්ශයක් වෙන්න පුළුවන්. එහෙම වුනොත් අලුත් මැතිවරණයකින් රනිල් වික්‍රමසිංහ තේරී පත් වුණත් ඒකත් ප්‍රතික්ෂේප කරන්න ජනාධිපතිවරයාට හැකියාව ලැබෙනවා."

එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වා දුන්නත්, යළිත් වරක් කිසි විටෙකත් රනිල් වික්‍රමසිංහ අගමැති පදවියට පත් නොකරන බවට ජනාධිපතිවරයා දිගින් දිගටම කරන ප්‍රකාශය ගැන අදහස් දක්වමින් ඕෂල හේරත් කියා සිටියේ, ජනාධිපතිවරයාගේ ක්‍රියාව නීති විරෝධී බවට අධිකරණය තීන්දු කළහොත් එවිට රනිල් වික්‍රමසිංහ යළිත් පත්කිරීමේ අවශ්‍යතාවක් මතු නොවන බවය.

"ඒ කියන්නේ ඔක්තෝබර් 26 වෙනිදාට පෙර පැවති තත්වය පිළිගන්න ජනාධිපතිවරයාට සිද්ද වෙනව."

එමෙන්ම තමන් විසින් මන්ත්‍රීවරුන් 225 දෙනාම චුදිතයන් ලෙසින් නම් කරනු ලැබ තිබෙන හෙයින්, පාර්ලිමේන්තුවේ හෝ මහ මගදී ගැටුම් ඇතිකරගනු වෙනුවට, ඔවුන් සියලු දෙනාටම අධිකරණය ඉදිරියේ කරුණු දැක්වීමට අවස්ථාවක් ලැබෙන බවත් පෙත්සම්කරු වැඩිදුරටත් පැවසීය.

තවදුරටත් කියවන්න:

'කෝ වොරෝන්ටෝ' ආඥාවක් ඉල්ලීම

Image copyright Getty Images

මේ අතර මහින්ද රාජපක්ෂට පාර්ලිමේන්තුවේ බහුතර බලය නොමැති හෙයින් ඔහුගේ පත්වීම බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සමක් සලකා බැලීම පිණිස නොවැම්බර් 30 වෙනි දින කැඳවන මෙන් අභියාචනාධිකරණය නියම කළේය.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඬුල්ල එම නියෝගය කළේ එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 122 දෙනෙකු ඉදිරිපත් කළ පෙත්සමක් කැඳවනු ලැබූ අවස්ථාවේය.

එහිදී අදාළ පෙත්සම නොවැම්බර් 30 වන දින සහ දෙසැම්බර් 03 වැනි දින සලකා බැලීමට පියවර ගන්නා බව අභියාචනාධිකරණය නිවේදනය කළේය.

කතානායකට එරෙහි පෙත්සම

Image copyright Getty Images

මේ අතර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරනු ලැබ තිබියදී, විසුරුවා හැර තිබෙන පාර්ලිමේන්තුව යළි කැඳවීමට කතානායකවරයා ගත් තීරණය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා සිටිමින් ද ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත්වී තිබේ.

රියර් අද්මිරාල් සරත් වීරසේකර ඉදිරිපත් කර ඇති පෙත්සමෙන් කතානායකවරයා, නීතිපතිවරයා සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ ඇත.

එක්සත් ජාතික පක්ෂය ,දෙමළ ජාතික සන්ධානය ඇතුළු දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන ඉදිරිපත් කළ පෙත්සම් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය, පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන නිකුත් කර තිබූ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් නියෝගයක් නිකුත් කර ඇති අවස්ථාවක, විසිරුවා හැර ඇති පාර්ලිමේන්තුව යළි රැස් කිරීමට කතානායකවරයා ගත් පියවර ව්‍යවස්ථාවට පටහැණි ක්‍රියාවක් බව සරත් වීරසේකර තම පෙත්සමේ ප්‍රකාශ කරයි.

පාර්ලිමේන්තුව නොවැම්බර් 16 වෙනි දින දක්වා කල් තැබීමෙන් අනතුරුව, වහාම පාර්ලිමේන්තුව කැඳවන මෙන් දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් එල්ල වූ බලපෑම් හමුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පාර්ලිමේන්තුව නොවැම්බර් 14 වෙනි දින කැඳවන බවට ගැසට් නිවේදනයක් නිකුත්කරනු ලැබ තිබිණ.

ජනාධිපතිවරයා පසුගිය නොවැම්බර් 09 වෙනි දින පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ගැසට් නිවේදනයක් නිකුත් කළේ ඉන් අනතුරුවය.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම

Image copyright Sri Lanka Parliament

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ ඒ සමගම ප්‍රකාශයට පත්කළ මහ මැතිවරණය පැවැත්වීම අත්හිටුවමින් පසුගිය නොවැම්බර් 13 වෙනි දින ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝග නිකුත් කළේය.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් විභාග කිරිම පිණිස අගවිනිසුරුවරයා සත් (07) පුද්ගල විනිසුරු මඬුල්ලක් පත්කර තිබේ.

අගවිනිසුරු නලීන් පෙරේරා එම විනිසුරු මඬුල්ලේ ප්‍රධානියා ලෙස කටයුතු කරන අතර, බුවනෙක අළුවිහාරේ, සිසිර ද ආබෘ, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, විජිත් මළල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු විනිසුරුවරු එහි සෙසු සාමාජිකයින් වශයෙන් කටයුතු කරති.

පසුගිය නොවැම්බර් 09 වෙනි දින ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරවීම නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ සහ සිවිල් සංවිධාන ඇතුළු පාර්ශ්ව ගණනාවක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ගොනුකර තිබිණ.

එම පෙත්සම් සියල්ල ලබන 04, 05, සහ 06 යන දිනවල විභාගයට ගැනීමට පසුගිය ඔක්තෝබර් 13 වෙනි දින නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය, එතෙක් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරිම අත්හිටුවමින් ලබන 7 වන දා දක්වා අතුරු නියෝගයක් ද නිකුත් කර තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර