ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය: "සිරිසේන මහත්තයා මෙහෙම ඉන්න ඉන්න රට විනාශ වෙනවා" - කුමාර වෙල්ගම

Image copyright Facebook/Kumara Welgama & Senal Welgama

"සිරිසේන මහත්තයා මෙහෙම ඉන්න ඉන්න රට සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. බහුතරය තියෙන පැත්තට දෙන්න ඕනේ."

ශ්‍රී ලංකාවේ ඇතිවී තිබෙන දේශපාලන අර්බුදය පිළිබඳව අදහස් දක්වමින් කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම බීබීසී සිංහල සේවයට එලෙස ප්‍රකාශ කළේය. ඔහු මෙසේ පැවසුවේ අඟහරුවාදා (27) පාර්ලිමේන්තු සැසියට සහභාගි නොවීමට එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් තීරණය කිරීමෙන් අනතුරුවය.

මේ සම්බන්ධයෙන් තමන්ගේ අදහස ජනාධිපතිවරයා විසින් පත් කර තිබෙන අගමැති මහින්ද රාජපක්ෂට ප්‍රකාශ කළ බව ද වෙල්ගම මන්ත්‍රීවරයා පැවසීය.

"පිළිගන්න නොපිළිගන්න එක මම දන්නෙ නෑ. නමුත් මම මගේ අදහස කියල තියෙන්නේ."

"මේක මුළු රටටම බලපාන ප්‍රශ්නයක්, මුළු රටටම. මුළු රටම ඉවරයිනේ?" ඔහු බීබීසී සිංහල සේවයට ප්‍රකාශ කළේය.

"මේ සිරිසේන මහත්තයා හරි තීරණයක් ගත්තෙ නැති නිසා මේ රට සම්පූර්ණයෙන් ඉවරයි."

පාර්ලිමේන්තුව තුළ බහුතරයක් නොමැතිව "නටන නාඩගම"ට තමන් අකමැති බව ද කුමාර වෙල්ගම පැවසීය.

මේ ගැනත් කියවන්න:

Image caption අඟහරුවාදා (27) පාර්ලිමේන්තුව මෙසේ දිස්විය

"මම හිටිය නම් පාර්ලිමේන්තුව රැස් කරන්නෙ නෑ"

කතානායක කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන් අඟහරුවාදා පාර්ලිමේන්තු සැසිය ආරම්භ වූ නමුත් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු කතානායක කරු ජයසූරියට විරෝධය පළකරමින් සභාගැබට පැමිණීමෙන් වැළකී සිටියහ.

ව්‍යවස්ථාමය වශයෙන් "ලොකු අර්බුදයක්" ඇතිවී තිබෙන බවත් පාර්ලිමේන්තුව තුළ මේ තත්ත්වය විසඳාගත නොහැකි නම්, "මහජනයා අතරට යාම හොඳම විසඳුම," බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා බීබීසී සිංහල සේවයට පැවසීය.

පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යාම මේ අවස්ථාවේ හැටියට සුදුසු බව තමන්ගේ "පෞද්ගලික විශ්වාසය" බව අනුර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

මේ අතර, තමන් කතානායක ධූරයේ කටයුතු කළේ නම් අධිකරණයේ තීන්දුව ලැබෙන තෙක් පාර්ලිමේන්තුව රැස් නොකිරීමට කටයුතු කරන බව හිටපු කතානායකවරයෙකු වනපාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ බීබීසී සිංහල සේවය සමග සංවාදයට එක්වෙමින් ප්‍රකාශ කළේය.

තවදුරටත් කියවන්න:

"යුක්තිය වෙනුවෙන් ජම්පර් අඳින්න වුණත් ලෑස්තියි"

පාර්ලිමේන්තු සැසියට සහභාගි වූ එක්සත් ජාතික පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරු රටේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව අදහස් දැක්වීමෙන් අනතුරුව, දේශපාලන අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට එල්ල වී ඇති බලපෑම පිළිබඳව සභාව කල් තබන අවස්ථාවේ අදහස් දැක්වීය.

Image copyright Getty Images

පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාව වෙනස් කළ බවට සහ කූට ලේඛන සකස් කළ බවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ උදය ගම්මන්පිළ මන්ත්‍රීවරයා විසින් කතානායකවරයා වෙත එල්ල කර තිබුණ චෝදනාවකට ප්‍රතිචාර දක්වමින්, තමන් කිසි දිනක කූඨ වැඩ කර නොමැති අතර ඕනෑම පරීක්ෂණයකට මුහුණ දීමට තමන් සුදානම් බව කතානායක කරු ජයසූරිය ප්‍රකාශ කර සිටියේය.

"යුක්තිය වෙනුවෙන් ජම්පර් අදින්න වුණොත්, ඊට මම ලෑස්තියි," යනුවෙන් ද කතානායකවරයා එහිදී ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුවේ දී අදහස් දැක්වූ ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රවුෆ් හකීම් වරප්‍රසාද ප්‍රශ්නයක් යොමුකරමින් කියා සිටියේ, පාර්ලිමේන්තුවේ විශ්වාස භංග යෝජනාවක් සමම්තවී ඇති අවස්ථාවක ජනමාධ්‍ය විසින් මහින්ද රාජපක්ෂ පාර්ශ්වය 'අගමැති සහ ඇමතිවරුන්' ලෙසින් හැඳින්වීම ගැන පරීක්ෂණයක් කළ යුතු බවය. මෙලෙස එම තනතුරුවලින් හැඳින්වීම වැලැක්විය යුතු බව ද මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

මේ අතර කතානායකවරයා වෙත ලිපියක් ඉදිරිපත් කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක්, නොවැම්බර් මස 14, 15, 16, 19, 21 සහ 23 යන දිනවල පාර්ලිමේන්තුවේ කටයුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට, ස්ථාවර නියෝග වලට හා පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුකූලව සිදු නොවූ බැවින්, එම දිනවල පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තා ප්‍රසිද්ධ කිරීම නතර කරන ලෙස ඉල්ලීමක් කර තිබුණි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර