ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය: මන්ත්‍රීවරුන්ට අල්ලස් ලබා දීමට තැත් කිරීම පිළිබඳව අල්ලස් කොමිසමෙන් 'විමර්ශනයක්'

Image copyright Facebook/Palitha Range Bandara

මන්ත්‍රීවරුන්ට අල්ලස් ලබාදීමට තැත් කිරීම සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් අල්ලස් සහ වංචා, දූෂණ විමර්ශන කොමිසමට භාරදුන් බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය පවසයි.

එම ආයතනය මෙම සවිස්තර වාර්තාව ලබාදී ඇත්තේ පසුගිය නොවැම්බර් 5 වෙනිදා තමන් විසින්ම කරන ලද පැමිණිල්ලකට අදාළවය.

තමන් සමග පැවති දුරකතන සංවාද පටිගත කිරීම්වල අඩංගු කරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී රංගේ බණ්ඩාර ජනමාධ්‍ය වෙත බෙදා හැරියේය.

එම සංවාදවල අඩංගුවන කරුණු අනුව පැහැදිළිව අල්ලස් පනතේ 14 වෙනි වගන්තිය යටතේ වරදක් සිදු වී ඇති බව බදාදා (නොවැම්බර් 28) ඉදිරිපත් කරන ලද වාර්තාවෙන් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය අවධාරණය කර තිබේ.

කියවන්න:

පාර්ලිමේන්තු මන්ත්‍රී රංගේ බණ්ඩාර තමන්ට එක්සත් ජනතා නිදහස් සංවිධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක ලබා දෙන ලද දුරකතන ඇමතුමක් පිළිබඳව නොවැම්බර් මස මුල් සතියේදී මාධ්‍ය වෙත හෙළි කළේය.

තනතුරු සහ මුදල් ලබාදීම සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ නොකළ ද තමන් "රනිල් වික්‍රමසිංහ මහතා හැරෙන්නට එක්සත් ජාතික පක්ෂයේ සියලලන්ටම," කතා කළ බව එස් බී දිසානායක මන්ත්‍රීවරයා පසුව මේ චෝදනා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ප්‍රකාශ කළේය.

අදාළ දුරකතන සංවාදයේදී "දැන්ම ආවොත් අපිට ඔයාට කැබිනට් පොසිෂන් එකක් දෙන්න පුළුවන් වෙයි," යනුවෙන් ප්‍රකාශ වේ.

රංගේ බණ්ඩාර මන්ත්‍රීවරයා අමතන ලෙස තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බව අනෙක් පසින් අමතන පුද්ගලයා පවසන අතර, ජනාධිපතිවරයා තමන් ඇමතූ බව පාලිත රංගේ බණ්ඩාර මන්ත්‍රීවරයා ද එහිදී තහවුරු කර සිටී.

"පටිගත කළ සංවාද තුළ ප්‍රධාන කාරණා තුනක් ඉස්මතු වෙනවා." ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ විධායක අධ්‍යක්ෂ අසෝක ඔබේසේකර පැවසීය.

ඉන් පළමුවැන්න, පැති මාරු කිරීම සඳහා මිලියන 500 ක මුදලක් යෝජනා කිරීමය.

දෙවැන්න, එම මුදල ඇමෙරිකානු ඩොලර්වලින් ගෙවීමට එකඟ වීමය. තෙවැන්න, ආනමඩුවේදී මෙය සිදු කිරීමට දැක්වූ කැමැත්තය.

පොදු රාජ්‍ය මණ්ඩලය

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට අල්ලස් දීම, අල්ලස් පනතට අනුව වසර 7 ක් දක්වා සිරගත කිරීමකට හේතුවන වරදක් බව ද ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය පෙන්වා දෙයි. මේ ගැන පරීක්ෂණ ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බවත්, වාර්තාව අදාළ පාර්ශ්ව වෙත ලබාදීමට කටයුතු කරන බවත් වංචා දුෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් තහවුරු කර තිබේ.

මේ අතර ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්වය ගැන බරපතල අවධානය යොමුකරමින් පොදු රාජ්‍ය මණ්ඩලීය නීතිවේදීන්ගේ සංවිධානය, පොදු රාජ්‍ය මණ්ඩලීය නීති අධ්‍යාපන සංගමය සහ පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය යළිත් වරක් නිවේදනයක් නිකුත්කර තිබේ.

විශේෂයෙන්ම "නීති විරෝධී බලපෑම්වලින් තොරව සිය රාජකාරි ඉටු කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවකාශ තිබිය යුතු" බවට ශ්‍රී ලංකාව ද අත්සන් තබා තිබෙන පොදු රාජ්‍ය මණ්ඩලීය TheLatimer House Principles ප්‍රතිපත්තිවල දැක්වෙන බව එම නිවේදනය අවධාරණය කරයි.

තවත් පෙත්සමක්

මේ අතර අගමැති රනිල් වික්‍රමසිංහ පදවියෙන් ඉවත් කොට මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ලෙස පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගත් තීරණය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

පෙත්සම ඉදිරිපත් කර තිබෙන්නේ පූජ්‍ය දඹර අමිල හිමියන් විසිනි.

Image copyright Getty Images

රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂ, ඇමති මණ්ඩල සාමාජිකයන් සහ නීතිපතිවරයා ඇතුළු 53 දෙනෙකු පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර තිබේ.

පෙත්සම්කාර හිමියන් කියා සිටින්නේ ඔක්තෝබර් මස 26 වෙනි දින රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කොට එම තනතුරට මහින්ද රාජපක්ෂ පත් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයේ ප්‍රතිපාදන වලට පටහැනි බවය.

මේ හේතුවෙන් ජනාධිපතිවරයා ගේ ක්‍රියා කලාපය තුළින් සිය මූලික අයිතීන් කඩ වී ඇති බවට තීන්දුවක් ලබාදෙන මෙන් ඉල්ලා සිටින පෙත්සම්කාර දඹර අමිල හිමියන්, පෙත්සම් විභාගය අවසන් වනතුරු මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කිරීම සහ අමාත්‍ය මණ්ඩලයේ ක්‍රියාකාරිත්වය වළක්වාලීමේ අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් ද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

අගමැති රනිල් වික්‍රමසිංහ පදවියෙන් පහකිරීමට එරෙහිව ජනාධිපතිවරයාගේ හිටපු ලේකම්වරයෙකුවන ඕෂල හේරත් විසින් ද පසුගිය සඳුදා (නොවැම්බර් 26) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

තවත් ලිපි:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර