කාන්තා අයිතීන්: ශ්‍රී ලංකාවේ සහ ඉන්දීය කාන්තාවන්ගේ රාත්‍රී නිදන ඇඳුම

Nightie issues Image copyright PRIYA KURIYAN

"නයිටිය, තියෙන්නේ රෑට ඇඳගෙන නිදා ගන්න මිසක්, දවස පුරා ඇඳගෙන ඉන්න නෙමෙයි."

"කාන්තාවකගේ ඇඳුම ගැන තීරණය කරන්න පිට කාටවත් බැහැ. තමන් කැමැති ඇඳුමක් අඳින්න නිදහස තියෙන්න ඕනෙ. ඒ ඇඳුම නිදා ගන්න විතරක් අඳින ඇඳුමක් ද නැත්නම් පිටතට අඳින ඇඳුමක් ද කියන එක වැදගත් වෙන්නේ නැහැ."

රූපලාවණ්‍ය ශිල්පිනියක වන නයෝමි රණසිංහ සහ බැංකුවක සේවය කරන නදිනි වීරවර්ධන බීබීසී සිංහල සේවයට එසේ සිය අදහස් දැක්වූහ.

තමන් කැමති ඇඳුමක් ඇඟලා සිටීම වරදක් ද?

කාන්තාවන් රාත්‍රී නින්දට යෑමේ දී අඳින ඇඳුම දිවා කාලයේ දී ඇඟලාගෙන සිටීම තහනම් කිරීමට දකුණු ඉන්දියාවේ පිහිටි ගම්මානයක වැඩිහිටි සංගමයක් තීරණය කර තිබේ.

සාමාන්‍ය ව්‍යවහාරයේ 'නයිටිය' ලෙස හඳුන්වන මෙම ඇඳුම ශරීරයේ හැඩයට වඩා බොහෝ විශාල වන අතර, ඉතා සිනිඳු, පහසු රෙදි වර්ගයකින් නිර්මාණය කෙරේ. විවිධ රටවල දේශගුණික තත්වය අනුව මෙම ඇඳුමට භාවිත කරන රෙදි වර්ගය වෙනස් වුවත්, එහි මෝස්තරය බොහෝ විට එක සමානය.

ලොව පුරා වෙසෙන මිලියන ගණනක් කාන්තාවෝ ශරීරයට පහසු යැයි සැලකෙන මෙම ඇඳුම ඇඟලීමට ඉතා ප්‍රිය කරති. රැකියාවකට හෝ වෙනත් කටයුත්තකට නිවසින් බැහැරට නොයන්නේ නම් දිනය පුරා මෙම ඇඳුමෙන් සැරසී සිටීමට ඇතැම් කාන්තාවෝ දැඩි කැමැත්තක් දක්වති.

ශ්‍රී ලංකාවේ මෙන්ම බොහෝ ඉන්දීය කාන්තාවන් ද මෙම පහසු රාත්‍රී ඇඳුම දිනය මුළුල්ලේ ඇඟලා ගෙන සිටිනු බොහෝ විට දැකිය හැකිය.

උදෑසන 7 සිට රාත්‍රී 7 දක්වා කාලය ඇතුළත ප්‍රදේශයේ දිවි ගෙවන තරුණ සහ වැඩිමහල් කාන්තාවන් කිසිවෙකුටත් රාත්‍රී නින්දට යන විට අඳින ගවුමෙන් සැරසී සිටීම තහනම් කිරීමට ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ්හි පිහිටි 'ටොකලාපල්ලි' ගම්මානයේ වැඩිහිටි සංගමයක් තීරණය කර ඇත. එම නියෝගය කඩ කරන අයෙකුට ඉන්දියානු රුපියල් 2000ක දඩ මුදලකට යටත් වීමට ද සිදු වේ.

පුදුමයට කරුණ නම් මෙම සංගමයේ ප්‍රධානියා ද කාන්තාවක් වීමය.

Image copyright PRIYA KURIYAN

නියෝගය කඩ කරන කාන්තාවන් ගැන නිලධාරීන්ට දන්වන පුද්ගලයන්ට ඉන්දීය රුපියල් 1000ක ත්‍යාග මුදලක් ලබා දීමට ද එම සංගමය පොරොන්දු වී තිබේ.

ගම්වැසියන් සියලු දෙනා දැඩි ලෙස මෙම නියෝගය අනුගමනය කරනු දැකිය හැකි අතර, මේ දක්වා කිසිවෙකුත් එය කඩ කර නොමැත.

තුනී රෙදි වර්ගවලින් නිම කරන මෙම ඇඳුමෙන් කාන්තා ශරීරය පිටතට නිරාවරණය වීම වැළැක්වීම සඳහා මෙම නියෝගය නිකුත් කළ බව ගම්වාසී වැඩිහිටියෙකු වන බල්ලෙ විෂ්ණු මූර්ති බීබීසී තෙලිඟු සේවයට පැවසීය.

"ගෙදරට නයිටිය ඇඳගෙන සිටියාට ප්‍රශ්නයක් නැහැ. නමුත් එය ඇඳගෙන ගෙදරින් එළියට ගියාම ලැබෙන අනවශ්‍ය ආකර්ෂණය නිසා කරදර ඇති වෙනවා" යැයි ඔහු තවදුරටත් පැවසුවේය.

සමහරු මෙම නියෝගයට සිය අකමැත්ත පළ කළ ද විශාල දඩ මුදල නිසා එය පිළිපැදීමට කටයුතු කරන බව පැවසූහ. මෙම ගම්මානයේ වැඩි පිරිසක් ධීවර කර්මාන්තයේ නියැලෙන අතර එවන් විශාල දඩ මුදලක් ගෙවීමට බොහෝ දෙනෙකුට අපහසුය.

දහවල් කාලයේදී නයිටිය ඇඳීමට එරෙහිව නියෝග නිකුත් කළ සහ උද්ඝෝෂණ පැවැත් වූ ප්‍රථම අවස්ථාව මෙය නොවේ. 2014 දී මුම්බායි නුවර කාන්තාවන් කණ්ඩායමක් උද්ඝෝෂණයක නිරත වෙමින් පැවසුවේ දිවා කාලයේ දී නයිටිය ඇඳීම "අශෝභන ක්‍රියාවක්" බවය. එම ක්‍රියාව සිදුකරන කාන්තාවන්ට ඉන්දීය රුපියල් 500ක දඩයක් නියම කිරීමට ද ඔවුහු යෝජනා කළහ.

මේ තොරතුරුද කියවන්න:

නමුත්, සාමාන්‍ය ඇඳුමක් ගැන මේ තරම් උනන්දුවක් දක්වන්නේ ඇයි? ලොව පුරා කාන්තාවන් ප්‍රිය කරන මෙම පහසු ඇඳුමට විරුද්ධ වන්නේ ඇයි?

"මේ කාන්තා රාත්‍රී ඇඳුම හරියට අල ගෝනියක් වගේ. තවත් විටෙක නරක් වුණ මාෂ්මෙලෝ එකක් වගෙයි පෙනෙන්නේ" යැයි 'වොයිස් ඔෆ් ෆැෂන්' මෝස්‌තර වෙබ්අඩවියේ කතෘ ෂෙෆාලී වාසුදේව් 2014 දී 'මින්ට්' පුවත්පතට ලියූ ලිපියක සඳහන් විය.

මෙම කාන්තා රාත්‍රී ඇඳුම් නිෂ්පාදනය ඉන්දියාවේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද රුපියල් මිලියන ගණනක ව්‍යාපාරයකි. මසා නිම කළ ඇඳුමක් ලෙස බොහෝ රෙදිපිළි සාප්පුවල මෙය විකිණීමට ඇත. මේ අතරින් වඩාත් ජනප්‍රිය මෝස්තරය වන්නේ ලා පැහැති තනි වර්ණයකින් යුත් කපු රෙද්දෙන් නිම කළ කාන්තා රාත්‍රී ඇඳුමය. බොහෝ විට එහි ඉහළ කොටස මල් වැල් මෝස්තරයකින් හැඩ කර ඇති ආකාරයක් දැකිය හැකිය.

ශ්‍රී ලංකාවේ වැඩිහිටි කාන්තාවන් අතර බතික් වර්ණ ගැන්වූ කපු රෙද්දෙන් මැසූ රාත්‍රී නිදන ගවුම වඩාත් ජනප්‍රිය වේ.

Image copyright PRIYA KURIYAN

මේ ඇඳුම් විවිධ මිල ගණන් යටතේ අලෙවි වන අතර, අධික මිලැති සිල්ක් රෙදි වර්ගවලින් නිම වූ කාන්තා රාත්‍රී නිදන ඇඳුම් කට්ටල ද වෙළෙඳපොළෙහි බහුලව දැකිය හැකිය. එමෙන්ම, වෙනත් බොහෝ රටවලට ද මෙම ඇඳුම් කට්ටල ශ්‍රී ලංකාවෙන් අපනයනය කරනු ලැබේ.

මීට වසර කීපයකට පෙර ගත් කතුවරයෙකු ද වන මහාචාර්ය සරත් විජේසූරිය රැස්වීම් වේදිකාවක කළ කතාවක් ගැන විශාල වශයෙන් සමාජය තුළ කතාබහක් නිර්මාණය විය. කාන්තා රාත්‍රී නිදන ඇඳුම නිවස තුළ දිනය පුරා ඇඳගෙන සිටීම ඔහු දැඩි ලෙස විවේචන කළේය.

"අපේ වෛද්‍ය විද්‍යාලයේ මහාචාර්යවරයෙක් නිතර කියනවා, බලන්න අපේ කාන්තාවෝ ගෙදර ඉන්න හැටි, හරියට 'හුචක්කු' වගේ ඉන්නේ. හවුස් කෝට් එකක් ඇඳගෙන, ඔළුව පීරන්නේ නැතිව, මුහුණ සෝදලා නැහැ.... ඔවුන් දැක්කාම ස්වාමිපුරුෂයාට පිළිකුල් භාවනාව කරන්න පුළුවන්," යැයි මහාචාර්යවරයා ප්‍රකාශ කළේය.

ප්‍රසිද්ධ වේදිකාවක සිදු කළ මෙම කතාව බොහෝ දෙනෙකුගේ විවේචනයට බඳුන් විය.

"මේ ඇඳුම ඇඟට ඉතා පහසුයි. ඇයි කාන්තාවන්ට විතරක් සීමා දාන්නේ. අපි වෙනස් කරන්න ඕනෙ ඇඳුම නෙමෙයි, අපේ ආකල්ප. කාන්තාවක් කියන්නේ ගෙදර දොර වැඩපළ සහ තවත් බොහෝ දේ එක විට කරන කෙනෙක්. එහෙම කෙනෙකු පහසු ඇඳුමක් ඇඳගෙන සිටියා කියලා ඇති වරද මොකක් ද?"

Image copyright PRIYA KURIYAN

"ඒ වගේම කාන්තාවක් සෑම විටම බෝනික්කෙකු විදියට පෙනී සිටින්න අවශ්‍ය නැහැ. ඇයටත් තමන්ට පහසු කැමති විදියට ජීවත් වෙන්න නිදහසක් තියෙන්න ඕනෙ. සමහර පුරුෂයින් උදේ, දවල් රෑ එකම ඇඳුමෙන් ඉන්නවා. එහෙමනම් එයටත් විරුද්ධ විය යුතුයි," යැයි නදිනි වීරවර්ධන බීබීසී සිංහල සේවය සමග කියා සිටියාය.

සාරි ඇතුළු ශරීරයට තද වූ ඇඳුම්වලින් මිදී නිවසේ වැඩ කටයුතු පහසුවෙන් සිදු කිරීම සඳහා බොහෝ කාන්තාවන් මෙවැනි ඇඳුමකට ප්‍රිය කරන බව මෝස්තර නිර්මාණ ශිල්පිනියක් වන රිම්සිම් දාදු පැවසීය.

"මෙය ඉතා ආකර්ෂණීය ඇඳුමක් නෙමෙයි. හැබැයි මෙහි තිබෙන පහසුව සහ ප්‍රායෝගික බව නිසා එය කාන්තාවන්ගේ නිල ඇඳුමක් බවට පත් වෙලා. ඔවුන්ට අවශ්‍ය හැමදේම ඒ ඇඳුමේ තිබෙනවා" යැයි මෝස්තර නිර්මාණ ශිල්පී ඩේවිඩ් ඒබ්‍රහම් පැවසුවේය.

මෙම රාත්‍රී නිදන ඇඳුමේ ආරම්භය බ්‍රිතාන්‍ය යටත් විජිත සමය දක්වා දිව යයි. එකළ බ්‍රිතාන්‍ය කාන්තාවන් රාත්‍රී නින්දට යන විට වර්තමාන නිදන ඇඳුමට සමාන ගවුමක් ඇඳ ඇති බව විශ්වාස කෙරේ. පසුව එය සමාජයේ උසස් යැයි පිළිගත් කාන්තාවන් අතර ද ප්‍රචලිත විය.

තවත් තොරතුරු: