ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය: දෙමළ ජාතික සන්ධානය එජාපෙ ආණ්ඩුවකට සහය පළකරයි

Image copyright Getty Images

ඔක්තෝබර් 26 වෙනි දිනට පෙර පැවති එක්සත් ජාතික පෙරමුණේ නායකත්වයෙන් යුතු ආණ්ඩුව යළි පිහිටුවීම සඳහා සහය පළකරන බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

දෙමළ ජාතික සන්ධානය ඒ බව පවසන්නේ බ්‍රහස්පතින්දා (නොවැම්බර් 29) සිය මන්ත්‍රීවරුන් 14 දෙනෙකුගේ අත්සන් සහිතව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත යොමුකරන ලද ලිපියකිනි.

ජනාධිපතිවරයා නව අගමැතිවරයෙක් පත්කොට මාසයක් ගතවීමෙන් අනතුරුවත් තමන්ට පාර්ලිමේන්තුවේ බහුතර බලය තිබෙන බව සනාථ කිරීමට ඔහු සමත් වී නොමැති බව පෙන්වාදෙන දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්, පසුගිය නොවැම්බර් 14 සහ 16 දෙදින සම්මත වූ විශ්වාස භංග යෝජනා අනුව රටට අගමැතිවරයෙකු සහ කැබිනට් මණ්ඩලයක් නොමැති තත්වයක් නිර්මාණය වූ බව ද පෙන්වා දෙති.

මේ තත්වය හමුවේ මාසයකට වැඩි කාලයක් තුළ රටෙහි රජයක් නොමැති තත්ත්වයක් මතුව ඇති බව ද එම ලිපියේ සඳහන්වේ.

  1. ආර් සම්බන්දන්
  2. එම් ඒ සුමන්තිරන්
  3. මාවෙයි සේනාධිරාජා
  4. ඩී සිද්ධාර්තන්
  5. එස් ශ්‍රීධරන්
  6. ඊ සරවනපවන්
  7. සෙල්වම් අඩෙයිකලනාදන්
  8. චාර්ල්ස් නිර්මලනාදන්
  9. ශාන්ති ශ්‍රීස්කන්ධරාජා
  10. එස් සිවමෝහන්
  11. සීනිතම්බි යෝගේෂ්වරන්
  12. ජී ශ්‍රීනේෂන්
  13. කේ කොඩීස්වරම්
  14. කේ තුරයිරත්නසිංහම් - යන මන්ත්‍රීවරුන් එම ලිපියට අත්සන් තබා තිබේ.

මෙම තත්ත්වය තවදුරටත් පැවතිය යුතු නැති බව තමුන් විශ්වාස කරන බවද දෙමළ ජාතික සංධානය ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියේ දැක්වේ.

ශිවශක්ති ආනන්දන් මන්ත්‍රීවරයා සහ දෙමළ ජාතික සංවිධානයෙන් තේරීපත්වී පසුගියදා මහින්ද රාජපක්ෂ පාර්ශවයට සහය පළ කළ එස් වියලේන්ද්‍රන් මන්ත්‍රීවරයාද ඉහත ලිපියට අත්සන් තබා නැත.

තවත් පුවත්:

දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිවරයා වෙත ඉහත කී ලිපිය යොමු කර තිබෙන්නේ අගමැති කාර්යාලයේ වියදම් කපා හැරීම සඳහා එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ යෝජනාව පාර්ලිමේන්තුවේ වැඩි ඡන්ද 123කින් සම්මත වීමෙන් අනතුරුවය.

එම යෝජනාවට පක්ෂව ඉලෙක්ට්‍රොනික ඡන්ද මාර්ගයෙන් මන්ත්‍රීවරු 123 ක් ඡන්දය ප්‍රකාශ කළ අතර යෝජනාවට විරුද්ධව කිසිදු ඡන්දයක් ප්‍රකාශ නොවීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නායකත්වය දෙන පාර්ශ්වය බ්‍රහස්පතින්දා ද පාර්ලිමේන්තුව වර්ජනය කළ අතර එම පාර්ශ්වයෙන් පාර්ලිමේන්තු සභා ගැබට පැමිණ සිටියේ එක්සත් ජාතික පක්ෂයේ සිට එම පාර්ශ්වයට මෑතකදී එක්වූ විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා පමණි.

Image copyright PMD

එහිදී විශේෂ ප්‍රකාශයක් කළ විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා, පාර්ලිමේන්තු බහුතරය මෙහෙයවිය හැකි කණ්ඩායමට ආණ්ඩුවක් පිහිටුවීම අවස්ථාව ලබා දිය යුතු බව සඳහන් කළේය.

ව්‍යවස්ථාදායකය සහ විධායකය අතර ඇතිවී තිබෙන මෙම මත ගැටුම් සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට ඉක්මනින් කතානායකවරයා හා ජනාධිපතිවරයා කටයුතු කළ යුතු බව ද ඔහු පැවසීය.

පාර්ලිමේන්තුවෙන් සැසිවාරයෙන් අනතුරුව කතානායක කරු ජයසූරිය, ජනාධිපති මෛත්‍රීපාල සිරසෙන හමුවීමට නියමිතව තිබිණ.

දැනට "ස්වාධීනව කටයුතු කරන" අතුරලියේ රතන හිමියන්ද සභාවාරයට එක්ව සිටි අතර උන්වහන්සේ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ වර්තමාන අර්බුදය විසඳා ගැනීමට ඉක්මන් මැතිවරණයක් පැවැත්වීමට දෙපාර්ශවය එකඟ විය යුතු බවය.

තවත් කියවන්න:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර