ප්‍රජාතන්ත්‍රවාදය, ඡන්ද ක්‍රමය, ජනතාවගේ අයිතිය යන හැම දෙයක් ම රඳා පවතින්නේ පුරවැසියා මතයි - මහින්ද දේශප්‍රිය

බීබීසී සිංහල සේවය කළ විමසීමකදී ඉදිරි ඡන්දවලදි ඡන්දය ප්‍රකාශ කිරිම සඳහා විද්‍යුත් ඡන්ද ක්‍රමය හඳුන්වා දීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය බ්‍රහස්පතින්දා (29) පැවසීය.

ඔහු මේ බව පැවසුවේ ඡන්ද හිමියන්ගේ දිනය නිමිත්තෙන් මැතිවරණ කොමිෂන් සභාවේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය විසින් පවත්වන ලද කාටුන් හා චිත්‍ර තරගයෙන් ජයග්‍රහණය කළ පාසැල් සිසු සිසුවියන්ට ත්‍යාග හා සහතික ප්‍රධානය කිරිම නිමිත්තෙන් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති උත්සවයේදීය.

ගාල්ල දිස්ත්‍රික්කය පුරා පාසැල්වල දරු දැරියන් මේ සඳහා තම නිර්මාණ ඉදිරිපත් කර තිබූ අතර, ශ්‍රී ලාංකික සමාජයේ දේශපාලඥයන් සහ ඡන්දදායකයන් කටයුතු කරන ආකාරය පිළිබඳව ඔවුන්ගේ දැක්ම එම නිර්මාණ තුළින් දිස්විය.

දියුණු රටවල මෙන් ඉදිරියේ ශ්‍රී ලංකාවේද ඡන්ද මධ්‍යස්ථාන විද්‍යුත් ක්‍රමයට ඡන්දය භාවිත කිරීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය කළ යුතුව ඇති බව සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

තවදුරටත් කියවන්න:

සෑම වසරකම ජුනි පළමුවෙනිදා ඡන්ද හිමියන්ගේ දිනය ලෙස මැතිවරණ කොමිෂන් සභාව නම් කර තිබේ.

මේ අනුව, දිස්ත්‍රික් මට්ටමින් ඡන්දහිමියන් දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීමට කටයුතු කරන අතර, ඒ සඳහා අනෙකුත් රජයේ නිලධරයන් ප්‍රජාමූල සංවිධාන වල නියෝජිතයන්ගේ අනුග්‍රාහකත්වයෙන් හා සහභාගීත්වයෙන්, දේශන පැවැත්වීම, වීදි නාට්‍ය රඟ දැක්වීම, බැනර්, පෝස්ටර් ආදිය ප්‍රදර්ශනය කිරීම්, අත් පත්‍රිකා බෙදීම, පාසැල් ළමුන් අතර චිත්‍ර, රචනා, කථික තරඟ පැවැත්වීම හා ඡන්දහිමි නාමලේඛන ප්‍රතිශෝධනයේ වැදගත්කම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සිදුකෙරේ.

එයට අමතරව 2019 වසරේ සිට සෑම වසරකම ජනවාරි 31 ප්‍රචණ්ඩත්වය පිටු දැකිමේ දිනය ලෙස නම් කර සියලුම පාසැල්වල එම දිනය සැමරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය ගාල්ලේ පැවති උත්සවයේදී ප්‍රකාශ කළේය.

"අද රටේ තත්ත්වයත් එක්ක බැලුවහම ප්‍රජාතන්ත්‍රවාදය මහා රළ පහරකට - සුළි සුළඟකට හසුවෙලා කියල විවේචනයට ලක්වෙලා තිබෙන මොහොතක, දරුවන්ගේ චිත්‍ර, කාටූන්, පෝස්ටර් ප්‍රදර්ශනය දැක්කහම අපේ අනාගත ඡන්ද හිමියන්, පුරවැසියන් "සැබෑ ඡන්ද බලයේ ශක්තිය"තේරුම්ගෙන ඇති බව දැකීම සතුටක්", යැයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා උත්සවය අමතමින් පැවසීය.

"හැබෑ ප්‍රජාතන්ත්‍රවාදය නැමති රෝගියා ඡන්ද බලය නැමති සේලයින් එක දුන්නොත් තමයි නැගිටලා අයිතිවාසිකම් ලබා ගන්න පුළුවන් වෙන්නේ"

එය මෙහි තිබූ නිර්මාණ අතර තිබූ බවත් මින් පෙර තමා එවැන්නක් දැක නොතිබූ බවත් මහින්ද දේශප්‍රිය පැවසීය.

මේ දරුවන්ට වැටහෙන දේ රටේ දේශපාලඥයන්ට නොවැටහීම කනගාටුදායක බව ද ශ්‍රී ලංකා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර