ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය: මහින්ද රාජපක්ෂ ඇතුළු කැබිනට් මණ්ඩලයට අතුරු තහනමක්

Image copyright Getty Images

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පත්කරන ලද අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් 49 දෙනෙකුට එම තනතුරු දැරීම වළක්වාලමින් අභියාචනාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කළේය.

අභියාචනාධිකරණ සභාපති ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරුවරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ල මෙම නියෝගය ලබා දුන්නේ දීර්ඝ කරුණු විමසීමකින් අනතුරුවය.

ඒ අනුව, පෙත්සම විභාග කිරීම සඳහා අවසර ලබා දුන් විනිසුරු මඬුල්ල ඒ සම්බන්ධයෙන් ලබන 12 වෙනි දින අධිකරණය හමුවේ කරුණු දක්වන්නැයි වගඋත්තරකරුවන් වෙත නොතීසි නිකුත් කළේය.

පාර්ලිමේන්තුවේ සමස්ත සාමාජිකයින් 225 දෙනාගෙන් එකසිය විසි දෙදෙනෙකු මෙම පෙත්සමේ පැමිණිලිකරුවන් යැයි තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන අධිකරණය හමුවේ පැවසුවේය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු වගඋත්තරකාර අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්ට එරෙහිව විශ්වාසභංග යෝජනා දෙකක් සම්මත වී ඇති බවට අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් වී ඇති හෙයින්, තවදුරටත් ඔවුන් එම තනතුරු දරන්නේ කුමන පදනමක් යටතේ ද යන්න පිළිබඳව ගැටලු මතු වී ඇති බව විනිසුරුවරයා පැවසීය.

මෙම තත්වය හමුවේ දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් රටකට සිදුවිය හැකි අගතිය නඩු විභාගයේ දී අධිකරණය සැලකිල්ලට ගනු ඇති බව සඳහන් කළ විනිසුරු සුරසේන, අතුරු තහනම් නියෝගය ප්‍රකාශයට පත් කළේය.

එමෙන්ම, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් සිය තනතුරු දරන්නේ කුමන නීතිමය බලාධිකාරියක් යටතේ ද යන්න අධිකරණය හමුවේ පැහැදිලි කළ යුතු බව විනිසුරුවරු සඳහන් කළහ.

නඩු විභාගය අවසන් වනතුරු තහනම් නියෝගය බලපාන බව ද නියෝගයේ සඳහන් වී තිබේ.

එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, සමස්ත ලංකා මහජන කොංග්‍රසය යන පක්ෂවලට අයත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 122 දෙනෙකු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

ජනාධිපතිවරයා විසින් අගමැති පදවියට පත්කරන ලද මහින්ද රාජපක්ෂට පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ සහයෝගය නොමැති බව කතානායක කරු ජයසූරිය විසින් ද තහවුරු කර ඇතැයි පෙත්සම්කාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පෙන්වා දී තිබුණි.

Image copyright Getty Images
Image caption නඩු විභාගය අවසන් වනතුරු තහනම් නියෝගය බලපාන බව ද නියෝගයේ සඳහන් වී තිබේ

එබැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වෙනි සංශෝධනය ප්‍රකාරව මහින්ද රාජපක්ෂට අග්‍රාමාත්‍ය ධූරය දැරීමට නීත්‍යානුකූල හිමිකමක් නොමැති බව පෙත්සම්කරුවෝ කියා සිටිති.

මේ හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ප්‍රකාරව මහින්ද රාජපක්ෂට අග්‍රාමාත්‍ය ධුරය දැරීමට නීත්‍යානුකූල හිමිකමක් නොමැති බවට තීන්දු කොට ඔහුගේ සහ ඔහුගේ අමාත්‍ය මණ්ඩලයේ පත්වීම බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන මෙන් ද පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටිති.

පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන ඉකුත් සිකුරාදා කරුණු දක්වමින්, පෙත්සම්කරුවන් විසින් සඳහන් කරනු ලබන විශ්වාසභංග යෝජනාව විධිමත් ආකාරයට සම්මත වී නොමැති බව කියා සිටියේය. එබැවින්, මෙම පෙත්සම් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන මෙන් ජනාධිපති නීතිඥ මාරපන අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මුලින්ම ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව කටහඬ පදනම් කරගෙන සම්මත වී ඇති බව කතානායකවරයා නිවේදනය කළ බව කී ජනාධිපතිවරයා, ස්ථාවර නියෝග 47(1) යටතේ කතානායකවරයා එම යෝජනාව අති බහුතරයකින් සම්මත කර ඇති බව නිවේදනය කළේ යයි ද සඳහන් කළේය.

අදාළ විශ්වාසභංග යෝජනාව විවාදයට ගනු ලැබුවේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අත්හිටුවීමෙන් පසුව බව සඳහන් කළ ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන, ස්ථාවර නියෝග අත්හිටුවා තිබියදී ස්ථාවර නියෝග 47(1) යටතේ කටහඬ පදනම් කරගෙන ඡන්ද විමසීම සිදු කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කළේය.

පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙන අවස්ථාවක මෙවැනි යෝජනාවක් සම්මත කිරීමට හැකියාවක් නොමැති බවට තර්ක කළ ඔහු, ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නීත්‍යානුකූල භාවය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයක් පැවැත්වෙන හෙයින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීරණයක් ලැබෙන තුරු මෙම පෙත්සම් සලකා නොබලන මෙන් ද අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

මහින්ද රාජපක්ෂ ඇතුළු හතළිස් නව දෙනෙකු පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.

තවත් කියවන්න:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර