ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය: ආණ්ඩුවක් නෑ, මීළඟ පියවර කුමක්ද?

Image copyright Getty Images

මහින්ද රාජපක්ෂ ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් 49 දෙනෙකු අගමැති සහ අමාත්‍ය තනතුරු දැරීම වළක්වාලමින් අභියාචනාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කිරීමත් සමග මේ වනවිට ශ්‍රී ලංකාවේ ආණ්ඩුවක් නැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද පිළිගෙන තිබේ.

මේ අතර ඇතැම් නීති විශාරදයන්ගේ මතය වී තිබෙන්නේ පාර්ලිමේන්තුව විශ්වාසභංග යෝජනාව සම්මත කළ නොවැම්බර් 14 වෙනි දින සිටම රට තුළ නීත්‍යානුකූල ආණ්ඩුවක් නොමැති බවය.

කෙසේ වුවත් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ අගමැති පදවියට පත්කිරීම ජනාධිපතිවරයා යළිත් වරක් ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ අනුව අඟහරුවාදා (දෙසැම්බර් 04) අමාත්‍යාංශ ලේකම්වරුන් කැඳ වූ ජනාධිපතිවරයා, "පවත්නා නීතියට අනුකූලව මහජන සේවාවන් කිසිඳු බාධාවකින් තොරව අඛණ්ඩව ඉටු කිරීම සඳහා අවශ්‍ය උපදෙස් හා නියෝග," සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත නිකුත් කළ බව ජනාධිපති කාර්යාලය නිවේදනය කළේය.

ඇත්තෙන්ම සිදුවෙමින් පවතින්නේ කුමක්ද? සිදුවිය හැක්කේ කුමක්ද?

මතු වී පවතින තත්වය ගැන බීබීසී සිංහල සේවය විමසීමක් කළ අවස්ථාවේ කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ කථිකාචාරිනී ආචාර්ය දිනේෂා සමරරත්න සහ කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ කථිකාචාර්ය ජනාධිපති නීතීඥ ප්‍රසන්ත ලාල් ද අල්විස් කියා සිටියේ, මීට පෙරාතුව ශ්‍රී ලංකාවේ මෙවැනි වාතාවරණයක් මතු වී නොමැති බැවින් මෙවැනි අවස්ථාවක් සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සුවිශේෂී ප්‍රතිපාදන නොමැති බවය.

Image copyright Getty Images

කැබිනට් මණ්ඩලයක් සහ අගමැතිවරයෙකු නොමැති තත්වයක් තුළ ජනාධිපතිවරයාට සියලු විධායක බලතල පැවරෙන නමුත්, ඔක්තෝබර් 26 වෙනි දිනට පසුව සිදු කෙරුණු පත්වීම් ව්‍යවස්ථාවට අනුකූලව සිදු නොවුණු බැවින් එවක පැවති අගමැති සහ කැබිනට් මණ්ඩලය මේ වනවිටත් බලාත්මක වී තිබෙන බවට මතයක් ඉදිරිපත් වී තිබෙන බව ආචාර්ය දිනේෂා සමරරත්න පෙන්වා දෙන්නීය.

"ඉතින් එහෙම තර්කයක් කළොත් අපිට කියන්න පුළුවන් තාම අගමැති ධුරයේ කෙනෙක් ඉන්නවා, තාම කැබිනට් මණ්ඩලයක් තියෙනව කියල."

අතුරු තහනම් නියෝගයෙන් අනතුරුව ජනාධිපතිවරයාට ගත හැකි ක්‍රියාමාර්ග කිහිපයක් පවතින අතර, රටේ අගමැතිවරයෙකු සහ කැබිනට් මණ්ඩලයක් නොමැති බැවින් නව අගමැතිවරයෙකු සහ අමාත්‍ය මණ්ඩලයක් පත්කිරීම ඒ අතරින් පළමුවැනි විකල්පය බව ජනාධිපති නීතිඥ ප්‍රසන්ත ලාල් ද අල්විස්ගේ මතය වී තිබේ.

අමාත්‍යාංශ ලේකම්වරුන් මාර්ගයෙන් ජනාධිපතිවරයා ටික කලක් රටේ පාලනය පවත්වාගෙන යාම ඔහු පෙන්වා දෙන දෙවෙනි විකල්පයය.

"මම ජනාධිපතිතුමා නම් මම කියනව එක එක අමාත්‍යාංශවලට විශේෂඥයෝ ගෙනල්ල, ඒගොල්ල මාර්ගයෙන් ප්‍රතිපත්ති හදාගෙන මාසයක් දෙකක් රට පාලනය කරනවා. මම කියන්නේ ජනාධිපතිතුමාට කරන්න පුළුවන් දේවල්."

නොඑසේනම් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත්කළ ගැසට් නිවේදනය ඉවත්කරගැනීම ජනාධිපතිවරයාට ගත හැකි තවත් ක්‍රියාමාර්ගයක් බව කථිකාචාර්ය ප්‍රසන්ත ලාල් ද අල්විස් සඳහන් කළේය.

Image copyright Getty Images

අගමැති රනිල් වික්‍රමසිංහ පදවියෙන් පහකොට මහින්ද රාජපක්ෂ අගමැති පදවියට පත්කිරීම සහ ඉන් අනතුරුව ඔහුට එරෙහිව පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනා දෙකක් සම්මතවීම යන කරුණු සලකා බැලුවහොත්, මේ අවස්ථාවේ විධායක බලතල ජනාධිපතිවරයාට පැවරෙන බව ද ආචාර්ය දිනේෂා සමරරත්න ද සඳහන් කළාය.

ජනාධිපතිවරයා විසින් අගමැති රනිල් වික්‍රමසිංහ පදවියෙන් පහකිරීම අභියෝගයට ලක්කරමින් ද ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සම් කිහිපයක් ඉදිරිපත් වී තිබේ.

19 වෙනි සංශෝධනය

විධායක ජනාධිපතිවරයාට දැරිය හැක්කේ ආරක්ෂක, මහවැලි සහ පරිසර අමාත්‍යාංශ බව 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ සඳහන් වේ.

එවැනි ගැටලුවක් පවතින බව පිළිගන්නා ජනාධිපති නීතිඥ ප්‍රසන්ත ලාල් ද අල්විස් සහ ආචාර්ය දිනේෂා සමරරත්න දෙදෙනාම පවසන්නේ, වර්තමානයේ මතු වී පවතින තත්වය සම්බන්ධයෙන් පූර්වාදර්ශ නොමැති බවය.

මෙවැනි අවස්ථාවක ජනාධිපතිවරයාට විධායක බලතල ක්‍රියාත්මක කළ හැකි බවට තර්කයක් නැගිය හැකි වුවත්, මෙය කිසිසේත්ම "දිගින් දිගටම පැවතිය යුතු තත්වයක් නොවන" බව පෙන්වා දෙන ආචාර්ය දිනේෂා සමරරත්න, ඒ සඳහා ඉක්මන් දේශපාලන විසඳුමක් ලබාදීමේ අවශ්‍යතාව අවධාරණය කරන්නීය.

'ජනාධිපතිට බලයක් නෑ'

මේ අතර නිවේදනයක් නිකුත්කරන එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේසී අලවතුවල, අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත නියෝග, විධාන හා උපදෙස් ලබා දීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු වගන්තියකින් ජනාධිපතිවරයා වෙත කිසිදු බලයක් පවරා නොමැති බව සඳහන් කර තිබුණි.

"එහෙයින් ජනාධිපතිතුමා, මේ අයුරින් අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත බලපෑම් කිරීම ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවකි," යනුවෙන් ද එම නිවේදනයේ සඳහන් වේ.

අමාත්‍යාංශ ලේකම්වරයා ඔහුගේ අමාත්‍යවරයා භාරයේ ඇති ආණ්ඩුවේ දෙපාර්තමේන්තු ද, වෙනත් ආයතන ද මෙහෙයවිය යුත්තේ සිය අමාත්‍යවරයාගේ විධානයට හා පාලනයට යටත්වය යන්න සඳහන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 52 (2) වගන්තිය සම්බන්ධයෙන් කරුණු විමසූ අවස්ථාවේ ජනාධිපති නීතිඥ ප්‍රසන්ත ලාල් ද අල්විස් කියා සිටියේ මේ අවස්ථාවේ ඇමති මණ්ඩලයක් නොමැති බැවින්, අදාළ අමාත්‍යාංශය භාර ඇමතිවරයා වශයෙන් නොව විධායකයේ ප්‍රධානියා වශයෙන් ඔහුට ලේකම්වරුන් මාර්ගයෙන් අදාළ අමාත්‍යාංශ පාලනය කළ හැකි බවය.

"නඩු තීන්දුව සුපරීක්ෂාකාරීව බැලුවොත් පේනවා ඇමති මණ්ඩලයක් නොමැතිවීම නිසා වන හානියට වඩා, පවතින ඇමති මණ්ඩලය දිගටම කටයුතු කරගෙන ගියොත් වන හානිය වැඩි නිසා මේ අතුරු තහනම් නියෝගය නිකුත්කරන බව," යනුවෙන් ඔහු පෙන්වා දුන්නේය.

විශේෂයෙන්ම අමාත්‍යාංශ ලේකම්වරුන් පත්කිරීමේ බලය පවතින්නේ ජනාධිපතිවරයාට බැවින් එහි මුඛ්‍ය පරමාර්ථය (purposive interpretation), රටේ පවතින්නේ "ජනාධිපතිතුමාගේ පාලනය තියෙන රාජ්‍ය තන්ත්‍රයක්," බව ද ජනාධිපති නීතිඥ ප්‍රසන්ත ලාල් ද අල්විස් පැවසීය.

කෙසේ වුවත් අදාළ වගන්තිය සලකා බලන විට වෙනත් අමාත්‍යාංශවල කටයුතු මෙහෙයවීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති බව ආචාර්ය දිනේෂා සමරරත්න ද පෙන්වා දෙන්නීය.

"මගේ මතය තමයි, දේශපාලන නායකයන් එකතුවෙලා ඔක්තෝබර් 26 වෙනිදා තිබුණු තත්වයට ආයෙත් යන්න ඕන. එතනින් එහාට තමයි ඉස්සරහට යන්න ඕන. මොකද ව්‍යවස්ථාවට අනුකූලව ගත්ත තීරණ ඔක්කොම තියෙන්නේ ඔක්තෝබර් 26 වෙනිදට කලින් නිසා," යනුවෙන් ද ඇය කියා සිටියාය.

මේ අතර ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් මංගල සමරවීර මන්ත්‍රීවරයා පවසන්නේ පවතින දේශපාලන අර්බුදයෙන් ගොඩ ඒමේ එකම විසඳුම ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝගයක් පමණක් විය හැකි බවය.

අතුරු තහනම් නියෝගය

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පත්කරන ලද අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් 49 දෙනෙකුට එම තනතුරු දැරීම වළක්වාලමින් සඳුදා (දෙසැම්බර් 03) අතුරු තහනම් නියෝගයක් නිකුත්කළ අභියාචනාධිකරණ සභාපති ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරුවරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ල, ඒ සම්බන්ධයෙන් ලබන 12 වෙනි දින අධිකරණය හමුවේ කරුණු දක්වන්නැයි වගඋත්තරකරුවන් වෙත නොතීසි නිකුත් කළේය.

පාර්ලිමේන්තුවේ සමස්ත සාමාජිකයින් 225 දෙනාගෙන් එකසිය විසි දෙදෙනෙකු මෙම පෙත්සමේ පැමිණිලිකරුවන් බව තීන්දුව ප්‍රකාශයට පත්කරමින් සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන පෙන්වා දුන්නේය.

මහින්ද රාජපක්ෂ ඇතුළු වගඋත්තරකාර අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්ට එරෙහිව විශ්වාසභංග යෝජනා දෙකක් සම්මත වී ඇති බවට අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් වී ඇති හෙයින්, තවදුරටත් ඔවුන් එම තනතුරු දරන්නේ කුමන පදනමක් යටතේ ද යන්න පිළිබඳව ගැටලු මතු වී ඇති බව ද විනිසුරුවරයා පැවසීය.

එමෙන්ම, මහින්ද රාජපක්ෂ ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් සිය තනතුරු දරන්නේ කුමන නීතිමය බලාධිකාරියක් යටතේ ද යන්න අධිකරණය හමුවේ පැහැදිලි කළ යුතු බව ද විනිසුරුවරු සඳහන් කළහ.

මෙම තත්වය හමුවේ දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් රටකට සිදුවිය හැකි අගතිය නඩු විභාගයේ දී අධිකරණය සැලකිල්ලට ගනු ඇති බව සඳහන් කළ විනිසුරු සූරසේන, අතුරු තහනම් නියෝගය ප්‍රකාශයට පත් කළේය.

නඩු විභාගය අවසන් වනතුරු තහනම් නියෝගය බලපාන බව ද නියෝගයේ සඳහන් වී තිබේ.

තීන්දුවට එරෙහිව පෙත්සමක්

අභියාචනාධිකරණය විසින් පනවනු ලැබ තිබෙන තහනම් නියෝගය ඉවත් කරන මෙන් ඉල්ලා සිටිමින් මහින්ද රාජපක්ෂ විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත විශේෂ අභියාචනයක් ඉදිරිපත් කොට තිබේ.

අදාළ පෙත්සම ඉදිරිපත් කළ එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ ශ්‍රී ලංකා මහජන කොංග්‍රසය යන පක්ෂවල මන්ත්‍රීවරුන් 122 තිදෙනා එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.

තම තනතුරුවල කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය නිකුත් කර ඇති තහනම් නියෝගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව සිය පෙත්සමේ සඳහන් කරන මහින්ද රාජපක්ෂ, මෙවැනි නියෝග නිකුත් කිරීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බව ද තර්ක කරයි.

මේ හේතුවෙන් සිය අභියාචනය පිළිබඳ විභාගයක් පවත්වා අභියාචනාධිකරණය විසින් සඳුදා නිකුත් කළ තහනම් නියෝගය නීති විරෝධී බවට තීන්දුවක් ලබාදෙන මෙන් සහ අභියාචනය විභාග කොට අවසන් තීන්දුවක් ලබාදෙන තුරු අභියාචනාධිකරණ තීන්දුව ක්‍රියාත්මක කිරීම වළක්වාලීමේ අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් ද පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත භාර දී ලියාපදිංචි කර තිබුණද එය විභාගයට ගන්නා දිනයක් අධිකරණය විසින් මෙතෙක් ප්‍රකාශයට පත් කර නැත.