ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය: ජනපතිගේ ප්‍රකාශ නොතකා 'අගමැති ලෙස රනිල් වික්‍රමසිංහට විශ්වාසය පළ කිරීමේ යෝජනාවක්'

Image copyright Getty Images

ජනාධිපතිවරයා, ඔක්තෝබර් 26 වෙනි දින ධූරයෙන් නෙරපන ලද රනිල් වික්‍රමසිංහට, 'අගමැතිවරයා වශයෙන් කටයුතු කිරීමට පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති බවට' යෝජනාවක් පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට එක්සත් ජාතික පක්ෂය සුදානම් වේ.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස ඇතුළු එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ මන්ත්‍රීවරුන් 8 දෙනෙක්, 'දින නියමයක් නොමැති යෝජනාවක්' ලෙස එය පසුගිය සතියේ පාර්ලිමේන්තුවට භාරදී තිබේ.

ලබන 12 වෙනිදා රැස්වෙන පාර්ලිමේන්තු දිනයේදී එය සම්මත කිරීමට එක්සත් ජාතික පක්ෂය බලාපොරොත්තු වනබව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා බීබීසී සිංහල සේවයට පැවසීය.

තවදුරටත් කියවන්න:

ජනතා විමුක්ති පෙරමුණ දැනටමත් රනිල් වික්‍රමසිංහ අගමැති කිරීමේ යෝජනාවට සහය පළ නොකරන බව පවසා තිබේ. ඒ අනුව දැනට එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ මන්ත්‍රීවරු 103 දෙනා සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු 14 දෙනෙකුගේ සහය ඇතුව මෙම යෝජනාව ජන්ද 117කින් සම්මත කරගැනීම එක්සත් ජාතික පෙරමුණේ අරමුණවී තිබේ.

"පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 ම සහය පළ කළත් රනිල් වික්‍රමසිංහට අගමැතිධුරය ලබා නොදෙන බව", ජනාධිපතිවරයා පවසන අවස්ථාවේ මෙවන් යෝජනාවක් එක්සත් ජාතික පෙරමුණ පාර්ලිමේන්තුවට යොමුකිරිම මෙම දේශපාලන අර්බුදය තවත් තීව්‍ර කිරීමට බොහෝ විට ඉඩකඩ තිබේ.

බදාදා (දෙසැම්බර් 05) කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ කියා සිටියේ, ජනාධිපතිවරයා කළ ප්‍රකාශය, ඔහුගේ ප්‍රශ්නයක් මිස තමන්ගේ ප්‍රශ්නයක් නොවන බවය.

මේ තොරතුරුද කියවන්න:

ශ්‍රී ලංකාව පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක් පවතින රාජ්‍යයක් බව පැවසූ රනිල් වික්‍රමසිංහ, ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව නොතකා හැර ව්‍යවස්ථාව කඩ කරමින් කටයුතු කරන බවට චෝදනා කළේය.

තවත් පුවත්:

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින්, එක්සත් ජාතික පක්ෂය රනිල් වික්‍රමසිංහට සහය පළකිරීමේ මෙම යෝජනාව ඊයේ දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැළසුම් කර තිබුණත් පසුව ඔවුන් එම අදහස වෙනස් කරගත් බව ප්‍රකාශ කළේය.

"ඔවුන්ට තේරුණා රනිල් වික්‍රමසිංහට ඔවුන්ගේම පිරිසක් විරුද්ධ බව, ඒකයි මේ යෝජනාව ඊයේ ඉදිරිපත් නොකළේ," පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන කියා සිටියේය.

"ඒක හරියට දික්කසාද නඩුවක් වගේ"

දේශපාලන අර්බුදය දිනෙන් දින දිග්ගැස්සෙමින් යන වාතාවරණයක් තුළ, ශ්‍රී ලංකා පාර්ලිමේන්තු වෙබ් අඩවිය, නොවැම්බර් 15 වෙනිදා සිට ශ්‍රී ලංකාවේ අගමැතිවරයෙක් නොමැති බව තහවුරු කර තිබේ.

බදාදා (දෙසැම්බර් 05) දින තෙක් ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ධූරය මහින්ද රාජපක්ෂ දරන බවට එහි සඳහන් වුවත්, දෙසැම්බර් 06 බ්‍රහස්පතින්දා දිනයේ එහි සඳහන් වන්නේ, නොවැම්බර් 14 වෙනි දින මහින්ද රාජපක්ෂගේ අගමැති ධූරය අවසන් වූ බවය.

Image copyright SLP

රනිල් වික්‍රමසිංහගේ අගමැති ධූරය ඔක්තෝබර් 26 වැනි දින අවසන්වූ බව ද පාර්ලිමේන්තු වෙබ් අඩවියේ සඳහන් කර තිබේ.

ජනාධිපතිවරයා පත් කළ රාජපක්ෂ අගමැතිවරයාට එරෙහි පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනාවක් නොවැම්බර් 14 වෙනිදා සම්මත වී තිබියදීත්, පාර්ලිමේන්තු වෙබ්අඩවිය මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ලෙස හැඳින්වීම දෙසැම්බර් 05 වෙනි දින පාර්ලිමේන්තුවේ අවධානයට ලක්විය.

Image copyright SLP

මේ ගැනත් දැනගන්න:

කෙසේ වෙතත් රාජපක්ෂ පාර්ශ්වය පවසන්නේ තවමත් රටේ අගමැතිවරයා මහින්ද රාජපක්ෂ බවය.

අභියාචනාධිකරණ තීන්දුවෙන් රාජකාරි තහනම් කර තිබුණත් ඔහුගේ ධූරය එලෙසම පවතින බව මන්ත්‍රී උදය ගම්මන්පිළ කියා සිටියේය.

"ඒක හරියට දික්කසාද නඩුවක් වගේ. ස්වාමි පුරුෂයාට නිවසට එන්න බැහැ. නමුත් ඔහු තවමත් ස්වාමිපුරුෂයා," ඔහු මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර