ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය: ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ මානසික සෞඛ්‍යය ගැන අභියාචනාධිකරණයට පෙත්සමක්

Image copyright Getty Images

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ මානසික සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා නඩු කටයුත්තක් ආරම්භ කරන ලෙස පොලිස්පතිවරයාට නියෝග කරන මෙන් ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වී තිබේ.

තක්ෂිලා ලක්මාලි ජයවර්ධන නමැති කොළඹ 12, ශාන්ත බස්තියන් ප්‍රදේශයේ පදිංචිකාරියක විසින් අදාළ පෙත්සම ඉදිරිපත් කරනු ලැබ ඇති අතර කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයා, පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා එහි වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ ඇත.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 140 වෙනි වගන්තිය යටතේ අභියාචනාධිකරණය වෙත මන්ඩමුස් රිට් ආඥා පෙත්සමක් ගොනු කළ බව පෙත්සම්කර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින නීතිඥ සිසිර සිරිවර්ධන මාධ්‍ය හමුවේ පැවසීය.

කෙසේ නමුත් ඉහත කී කරුණ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හෝ ජනාධිපති මාධ්‍ය ඒකකය මේ දක්වා ප්‍රතිචාර දක්වා නොමැත.

ජනපතිට මුක්තියක් තිබේද?

මානසික සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයෙකුට එරෙහිව පියවර ගැනීමට අධිකරණයට හැකියාව තිබෙන්නේ ද?

Image copyright Getty Images

බීබීසී සිංහල සේවය ඒ සම්බන්ධයෙන් විමසීමක් කළ අවස්ථාවේ කරුණු පැහැදිලි කළ නීතිවේදිනී අචලා සෙනෙවිරත්න, ශ්‍රී ලංකාවේ කිසියම් රජයේ සේවකයෙකුට මානසික ව්‍යාකූලතාවක් පැවතීම හේතුවෙන් ඔහු/ඇය අදාළ ධුර දැරීම මගින් මහජනතාවට හානියක් සිදුවෙන්නේ දැයි විමසා බැලීම පිණිස අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමට ඕනෑම පුරවැසියෙකුට හැකියාව පවතින බව ප්‍රකාශ කළාය.

විශේෂයෙන්ම 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය මගින් විධායක ජනාධිපතිවරයා සම්බන්ධයෙන් පැවති මුක්තිය ඉවත් කොට ඇති බැවින් ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ද එවැනි ආඥාවක් ඉල්ලා සිටීමට හැකියාව තිබෙන බව නීතිවේදිනී අචලා සෙනෙවිරත්නගේ ස්ථාවරය වී තිබේ.

කිසියම් රජයේ නිලධාරියෙකු සම්බන්ධයෙන් එවැනි ආඥාවක් නිකුත් කිරීමට අභියාචනාධිකරණයට බලය තිබෙන බව පිළිගන්නා ජ්‍යෙෂ්ඨ නීතිවේදී ලාල් විජේනායක පවසන්නේ, විධායක ජනාධිපතිවරයාට එරෙහිව එවැනි පෙත්සමක් ඉදිරිපත් කළ හැකි දැයි යන්න ගැටලුවක් බවය.

පොලිසිය බැඳී සිටින කටයුත්තක් සම්බන්ධයෙන් පියවර ගන්නා මෙන් පොලිසියට නියෝග කිරීමට අධිකරණයට බලය තිබෙන නමුත්, ඒ සඳහා මුලින්ම පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ යුතු බව ද ජ්‍යෙෂ්ඨ නීතිවේදියා සඳහන් කළේය.

"නමුත් අවසානයේදී මේක ජනාධිපතිවරයාට විරුද්ධ පෙත්සමක්. එයාට විරුද්ධව අධිකරණයට පියවර ගන්න බෑ. ජනාධිපතිවරයාට මුක්තියක් තියෙනවා."

19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපතිවරයාගේ මුක්තිය ඉවත්කරනු ලැබ තිබෙන්නේ මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් පමණක් බව ද ජ්‍යෙෂ්ඨ නීතිවේදී ලාල් විජේනායක බීබීසී සිංහල සේවය සමග කියා සිටියේය.

කෙසේ වුවත්, මන්ඩමුස් ඇතුළු රිට් ආඥා යනු "ඉතා පුළුල් පරාසයක් පුරා විහිදෙන" මහජන යහපතට අදාළ ක්‍රියාදාමයක් වන අතර ජනාධිපතිවරයා ද රජයේ සේවකයෙකු බැවින් සහ අදාළ ප්‍රශ්නය මහජන යහපත සම්බන්ධ ගැටලුවක් බැවින් ජනාධිපතිවරයාට එරෙහිව ද මන්ඩමුස් රිට් ආඥා පෙත්සමක් ඉල්ලා සිටිය හැකි බව නීතිවේදිනී අචලා සෙනෙවිරත්නගේ ස්ථාවරය වී තිබේ.

"රිට් ආඥාවකින් විමසා බලන්නේ රජයේ සේවකයෙකුගේ ක්‍රියාවකින් මහජනතාවට හානියක් වෙනවද, නැද්ද කියන එක. ඒක ජනාධිපතිවරයාටත් අදාලයි."

පැහැදිලිවම අධිකරණයේ දී එම තර්කය මතුවනු ඇති අතර, පෙත්සම විභාග කළ යුතු ද, නැද්ද යන්න සම්බන්ධයෙන් අභියාචනාධිකරණය තීන්දු කරනු ඇති බව ද ඇය සඳහන් කළාය.

එය විභාග කළ යුතු යයි අභියාචනාධිකරණය තීන්දු කළහොත් එවිට මූලික විභාගය දිසා අධිකරණය වෙත පැවරිය හැකිය.

මානසික රෝගී ආඥා පනත

මානසික රෝගී ආඥා පනතේ දෙවන වගන්තිය යටතේ යම් කිසි තැනැත්තෙකුට මානසික රෝගයක් වැළඳී තිබේ නම්, එම තැනැත්තා වාසය කරන අධිකරණ බල ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරයා විසින් දිසා විනිසුරුවරයා වෙත වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බව, ඉහත කී පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටින නීතිඥ සිසිර සිරිවර්ධන පවසයි.

Image caption ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 140 වෙනි වගන්තිය

ජනාධිපතිවරයාට මානසික රෝගී තත්ත්වයක් ඇත්නම් ඔහුට මුක්තිය බලනොපාන බව කී නීතිඥ සිසිර සිරිවර්ධන, ජනාධිපතිවරයාගේ මානසික තත්ත්වය බිඳ වැටීමට කරුණු කීපයක් බලපා ඇතැයි සිතිය හැකි බව පවසයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කොළඹ දිසා විනිසුරුවරයා වෙත ඉදිරිපත් කර මානසික වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය ද නැද්ද යන්න පිළිබඳ වාර්තාවක් ලබා දෙන ලෙස පෙත්සම්කාර පාර්ශ්වය වැඩිදුරටත් ඉල්ලා සිටී.

"යම් හෙයකින් මේ තත්ත්වය දිගින් දිගටම පැවතියහොත් ඔහුගේ ශාරීරික ආරක්ෂාවටත් මේක තර්ජනයක්. පුරවැසියන්ගේ ශාරීරික ආරක්ෂාවටත් තර්ජනයක්," නීතිඥවරයා සඳහන් කළේය.

වර්තමානයේ මතුව ඇති දේශපාලන අර්බුදය දේශපාලන පක්ෂ අතරේ තිබෙන ප‍්‍රශ්නයක් මෙන් ම තමා සහ රනිල් වික‍්‍රමසිංහ අතර ප‍්‍රශ්නයක් ලෙස විග‍්‍රහ කිරීමට ඇතැමුන් උත්සාහ දරන බව ජනාධිපතිවරයා ඉරිදා (දෙසැ 09) පොළොන්නරුවේ දී පවසා තිබිණි.

"එහෙත් එය ස්වදේශීය චින්තනය සහ විජාතික චින්තනය අතර ගැටුමක් බවත විජාතික බලවේගවලට යටනොවී ස්වාධීනව සහ ස්වශක්තියෙන් නැගි සිටිය යුතුයි යන දර්ශනය කි‍්‍රයාත්මක කරන විට විජාතික බලවේග ඊට අභියෝගයක්ව ඇති බවත්" ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ යයි ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයක දැක්වේ.